ජන සංගීතය මගේ ජීවිතයට ආගන්තුක දෙයක් නෙමෙයි – අමන්ද්‍යා උත්පලී

 


ප්‍රවීණ සම්මානනීය සිනමාකරුවකු, තිරපිටපත් රචකයකු වගේම රංගන ශිල්පියකු වන ගිරිරාජ් කෞෂල්‍යගේ දියණිය වන අමන්ද්‍යා උත්පලී පසුගිය කාලයේ අතිශය කතාබහට ලක්වන චරිතයක් බවට පත්වුණා. උපතින්ම ගායනය, රංගනය කියන හැකියාවන් උරුමකරගත් අමන්ද්‍යා අපේ කාලයේ දක්ෂ කලාකාරිනියක්. පසුගිය කාලයේ ඇය සංවිධානය කළ ‘රැජිනට ඇන්දා’ ප්‍රසංගය පවා අතිශය ජනාදරයට පත්වුණා.
මේ දවස්වල ඇයව අපට යළිත් මුණගැසෙනවා ආචාර්ය සෝමරත්න දිසානායකයන් අධ්‍යක්ෂණය කළ රේණුකා බාලසූරිය නිෂ්පාදනය කළ ‘කපුටු කොහෝ’ සිනමා නිර්මාණයෙන්. ඉතිං මේ බක්මහේ ඇගේ කලා ජීවිතය මොනවගේ ගෙවිලා යනවා ද වගේම ‘කපුටු කොහෝ’ සිනමා නිර්මාණයෙන් ලද අත්දැකීම් දැනගන්නත් එක්කම අපි අමන්ද්‍යාව මුණගැසුණා.
අමන්ද්‍යා මෙදාපාර අවුරුද්දට කොහොමද සූදානම?

ඉතාම හොඳයි. අවුරුද්දට වැඩ කිහිපයක්ම රට ඇතුළේ වගේම රටින් පිටතදීත් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ලංකාව ඇතුළේ විවිධ පෞද්ගලික ආයතන පවත්වන අවුරුදු වැඩසටහන් වගේම රූපවාහිනි නාළිකා පවත්වන අවුරුදු වැඩසටහන්වලටත් සහභාගිවෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මෙදාපාර අවුරුද්ද සතුටින් ගත කරන්න සූදානමින් ඉන්නවා.

ඔබ රංගනයෙන් දායක වුණු ‘කපුටු කොහෝ’ සිනමා නිර්මාණයත් මේ බක්මහේ තිරගත වෙනවා නේද?

මෙහි මංගල දර්ශනය පැවැත් වුණේ පසුගිය මාර්තු මාසේ 27 වැනිදා. ඉතිං එදා ආපු ප්‍රවීණයන් ඇතුළු සියලුම දෙනා මේ වැඩේ අගය කරලා කතාබහ කළා. ඒ ගැන හරිම සතුටුයි. තවම තිරගත වෙලා දින කිහිපයක් හින්දා ප්‍රේක්ෂකයන්ගෙනුත් මොනවගේ ප්‍රතිචාරයක් ලැබේවිද කියලා දැනගන්න බලාගෙන ඉන්නවා.

ජන සංගීතය මගේ ජීවිතයට ආගන්තුක දෙයක් නෙමෙයි - අමන්ද්‍යා උත්පලී
‘කපුටු කොහෝ’ ජන සංගීතයත් සමග බද්ධ වුණු සිනමා නිර්මාණයක්. මෙය ඔබේ ජීවිතයට වඩාත්ම සමීපබවක් තිබෙනවා නේ?

ඔව් ජන සංගීතය මගේ ජීවිතයට ආගන්තුක දෙයක් නෙමෙයි. ඒ හින්දාම මේ නිර්මාණයට තව තවත් ආසකරන්න මම සමීප වුණා. සෝමේ මාමා කියන්නේ මම පුංචි කාලේ ඉඳලම දන්න කෙනෙක්. සෝමේ මාමාගේ නිර්මාණයකට සම්බන්ධ වෙන්න, නිළියක් වෙන්න පුංචි කාලේ ඉඳලම ආශාවක් තිබ්බා. ඉතිං ඔය සියලුම දේවල් එක්ක මේ නිර්මාණය සාර්ථක කරගන්න පුළුවන් වුණා. මට හරි සතුටුයි. ඒ වගේම මම හරි වාසනාවන්තයි කියලත් හිතනවා. මොකද සෝමේ මාමා වගේ කෙනෙකුගේ නිර්මාණයකට දායක වෙන්න ලැබීම ගැන.

ජන සංගීතය මගේ ජීවිතයට ආගන්තුක දෙයක් නෙමෙයි - අමන්ද්‍යා උත්පලී
පිටපත අතට ලැබුණහම මොකද හිතුණේ?

සෝමේ මාමා මීට අවුරුදු තුනකට හතරකට උඩදී මාව හම්බවුණ වෙලාවක කිව්වා “පුතේ මම මෙහෙම වැඩක් කරන්න හිතාගෙන ඉන්නවා කියලා.” මේ වැඩේ ගැන පොඩි අදහසක් දීලා තිබුණේ. ඉතින් සෝමේ මාමා පිටපත අතට දීලා අපිට ඒක කියවන්න කියලා කිව්වේ නැහැ. කියවන්න එපා කටපාඩම් කරන්න එපා මාත් එක්ක මේක කියවමු කියලා තමයි කිව්වේ. සෝමේ මාමාත් එක්ක තමයි අපි ස්ක්‍රිප්ට් රීඩින් එක කළේ. ඒක වෙන්නේ චිත්‍රපටයේ පුහුණුවීම්වලට චන්දන වික්‍රමසිංහයන්ගේ රංගායතනයට පුහුණුවීම්වලට ගියාට පසුවයි. ඒ වෙලාවේ තමයි හිතුනේ මේක හිතනවාට වඩා ලොකු බරපතළ වැඩක්, මහන්සි වෙලා කරන්න ඕනෑ වැඩක් කියලා. අපි හිතනවාට වඩා මහන්සිවෙලා කරන්න ඕනෑ බැරෑරුම් වැඩක් කියන එක තේරුණා.

රූගත කිරීම්, අත්දැකීම් එහෙමත් හරි වෙනස් ඇති නේද?

වේදිකාවේ නම් අපි ටිකක් ලොකුවට අතපය විසුරුවලා ඉරියව් වැඩිපුර පෙන්වලා තමයි රංගනයේ යෙදෙන්නේ. නමුත් කැමරා කාචයට රූගත කරන කොට ඊට වඩා හාත්පසින්ම වෙනස්. සියුම් සියුම් ඉරියව්වලට සහ අංගචලනවලට තමයි යන්නේ. අපි වේදිකාවේ රඟපෑවාට කැමරා කාචයකට තමයි හසුකර ගන්නේ. ඔය දෙක අතර මධ්‍යස්ථව රඟපාන්නේ කොහොමද කියන කාරණාව අපිට අභියෝගයක් වුණා. මම හිතන්නේ මට විතරක් නෙමෙයි සියලුම දෙනාට. ඒ ගැන අපි අධ්‍යක්ෂවරයා සමග සාකච්ඡා කරමින් තමයි නිර්මාණයට දායක වුණේ.

කොහොමද අවුරුද්දට රන්වල බළකායේ වැඩකටයුතු?

රන්වල බළකායෙන් පසුගිය අවුරුද්දේ කරපු ලස්සන වැඩක් තිබ්බා කොළඹ ගම කියලා. ගම ඇතුළේ අපිට නැතිවෙලා තිබ්බ දේවල් කොළඹට ගෙනාවා. අනික කොළඹත් ගමක් නේ. සහන් රන්වල සර්ගේ අදහසින් ලස්සන වැඩක් කෙරෙනවා. අවුරුදු සමරනවා කොළඹ. ඊට පසුව මේ වැඩසටහන නුවර කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.

රන්වල බළකායත් සමග යන ගමනේදී ලබන අත්දැකීම් මොනවගේද?

ඒක ඉතින් දවසින් දවස වෙනස් වෙනවා. අතීතයේ ඉඳලා රන්වල බළකාය කරගෙන ආපු දෙයට වඩා අපි නිර්මාණ අතිනුත් සියලුම දේවලිනුත් වෙනස්වෙලා තියෙනවා. අපේ ගමන අපේ ජනගායනා, සම්ප්‍රදායික නැටුම් ඉහළට අරගෙන ගිහිල්ලා අන්තර්ජාතික මට්ටමට මේ වෙනකොට ගෙනිහිල්ලා තිබෙනවා. ලෝකය පුරා අපේකම කියන එක අරගෙන යන ගමන් ඉන්නේ.

අපේ කම ජන ගීයට, ජන සංගීතයට අලුත් පරපුරේ මොනවගේ පිබිදීමක් තිබෙනවා කියලා හිතනවාද?

මම හිතනවා හොඳ ආකර්ෂණයක් තිබෙනවා කියලා. ජනගීය පදනම් කරගෙන නිර්මාණ බිහිවෙනවා මම දැකලා තියෙනවා. කොටින්ම කියනවා නම් ‘කපුටු කොහෝ’ චිත්‍රපටයෙනුත් මහාචාර්ය සමන් මනම්පිටිය මහත්මයා සංගීතය අධ්‍යක්ෂණය කරන්නේ සියලුම ජනගීත, ජන නාදරටා ආශ්‍රය කරගෙනයි. ඒ වගේම ජනනාදමාලා ප්‍රායෝගිකව විවිධ විදිහට එතෙර ආශ්වාදය සඳහා යොදාගත්ත අවස්ථා බොහොමයක් අපිට දකින්න පුළුවන්. මට හිතනවා මේ වෙනකොට හොඳ ප්‍රවණතාවයක් තිබෙනවා කියලා.

අපේකම, ජන සංගීතය, ජනතාව අතරට ගෙනියන්න අලුත් පරපුරේ ඉන්න අලුත්ම පුරුක අමන්ද්‍යා කියලත් ගොඩක් දෙනෙක් කියනවා. මොකද ඒ ගැන හිතන්නේ?

මම ඒ කියන එකට හරි ආසයි. ඒක වගකීමක් විදිහට මම අරගෙන තිබෙනවා සහ මගේ ප්‍රසිද්ධ වුණ ගීත දෙකම ජනනාදමාලා ආශ්‍රිතව තමයි නිර්මාණය වුණේ. ඉතින් ඉදිරියට කරන නිර්මාණත් ඒ වගකීම සහිතව කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

‘කපුටු කොහෝ’ නිර්මාණයත් එක්ක ඔබට පුංචි දරුවන් එක්කත් වැඩකරන්න හම්බවුණා නේද?

ඉගැන්වීම් කටයුතු කරනකොට වගේම විදෙස් සංචාර සඳහා යනකොට, වැඩමුළු පවත්වනකොටත් මම පුංචි දරුවන් සමග වැඩකරනවා. එතකොට මට පුංචි දරුවන් එක්ක වැඩකරන එක නුහුරු නුපුරුදු අත්දැකීමක් නෙමෙයි. ඒ අයත් එක්කත් වැඩකරන්න ඉතාම පහසු වුණා. කපුටු කොහෝ චිත්‍රපටය සඳහා තෝරාගෙන තිබුණු දරුවෝ ඉතා දක්ෂ දරුවෝ. ඔවුන් රංගනය විතරක් නෙමෙයි ගීත ගායනයට, නර්තනයට කියන අංශ තුනටම දක්ෂ දරුවන්. ඒ හින්දා අපිට ගොඩක් ලේසි වුණා ඔවුන් සමග වැඩකටයුතු කරන්න.

සෝමරත්න දිසානායකයන් චිත්‍රපටය නැරඹුවාට පස්සේ ඔබේ රංගනය ගැන මොනවාද කිව්වේ?

සෝමේ මාමාට මාව කාලයක ඉඳන් වැඩකට ගන්න වුවමනාව තිබ්බත් ඒක කරගන්න වුණේ නැහැ. නමුත් මේ වැඩේ කළාට පස්සේ කිව්වා “මට මිස් වෙලා තිබ්බේ ඔයාව’ ඉස්සරහට අපි වැඩ ගොඩක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. අපි අනිවාර්්‍යයෙන්ම එකතුවෙලා වැඩ කරමු. ඔයාගේ හැකියාවන් තව ඉදිරියට යන්න ඕනෑ නැතිනම් අපරාදේ වගේ මාමා කිව්වේ.

කපුටු කොහෝ ගැන ක්ෂේත්‍රයේ අයගෙන් ලැබුණේ මොනවගේ ප්‍රතිචාරද?

හොඳ ප්‍රතිචාර ලැබුණා. මම හිතන්නේ මට විශේෂයෙන් ලැබුණ හොඳම ප්‍රතිචාරය තමයි රවීන්ද්‍ර රන්දෙණිය මහත්මයාගෙන් ලැබුණ ප්‍රතිචාරය. රවීන්ද්‍ර රන්දෙණිය කියන්නේ අපේ තාත්තලටත් ගුරුහරුකම් දෙන්න පුළුවන් දැවැන්තයෙක් නේ. ශ්‍රේෂ්ඨ රංගධරයෙක්. ඔහු මට කියනවා මම ඔයාගේ ෆෑන් කෙනෙක් කියලා. කපුටු කොහෝ මංගල දර්ශනයේදී මම අහපු හොඳම ප්‍රතිචාරය ඒක තමයි. මගේ ජීවිතයට ලැබුණු හොඳම ප්‍රතිචාර දෙකක් තිබෙනවා. එකක් තමයි මගේ රැජිනට ඇන්දා ප්‍රසංගය නරඹලා රෝහණ වීරසිංහ සර් ලබාදුන්නු ප්‍රතිචාරය. රංගනය සම්බන්ධයෙන් කපුටු කොහෝ මංගල දර්ශනය දවසේ ලැබුණු ලොකුම සතුට තමයි ඒක. අපේ අංග චලනය, හඬ හැසිරවීම් ගැන හරියට කතාබහ කළා. අභිලාෂි ඇරෙන්න අපිමනේ මේ සඳහා ගීත ගායනයෙනුත් සම්බන්ධ වෙන්නේ. අනෙක් තුන්දෙනාම තමාගේ හඬට පණ දෙන්නේ ඒ අයමයි.

ඇත්තටම ගීත ගායනා කරන්නේ ඔබමද?

ඔව්. ඔව්. මම හර්ෂණ අයියා සහ ඩිලාන් අයියා. අපේ චරිතවලට හඬ පොවන්නේ අපි. අභිලාෂිගේ හඬට පණ පොවන්නේ ලක්‍ෂිතා ලක්මිණි අක්කා. ඒ කියන්නේ හර්ෂණ දිසානායක සහෝදරයාගේ ආදරණීය බිරිඳ.

ඒ අත්දැකීම මොනවගේද?

මම මුලින් කිව්වා වගේ එතැනදී සමන් පනාපිටිය සර් තමයි ගෞරවයෙන් ආදරයෙන් මතක් කරන්න ඕනෑ. සමන් සර් එක්ක වැඩ කරන එක ටිකක් ලේසි වැඩක් නෙමෙයි. අපේ හැකියාව ඉස්මතු කරන්න පුළුවන් තැනේ කොනටම සර් යනවා. ගායනය උපරිමයෙන්ම උකහාගන්න පුළුවන් කෙනෙක් තමයි සමන් පනාපිටිය සර් කියන්නේ. අපි ගත්තු උත්සාහයේ ප්‍රතිඵලය සාර්ථක වෙලා තිබෙනවා කියලා හිතනවා.

රැජිනට ඇන්දා ආපහු කොහේදී ද දකින්න හම්බවෙන්නේ?

අපි බලමු. තවම ඒ ගැන තීරණයක් නැහැ. මේ වසර අවසන් වෙන්න කලින් ඒ ගැනත් බලමු.

දිනේෂ් විතාන


Previous Post Next Post