හිතෛෂී නිසා මට ලොකු කැපකිරීමක් කරන්න වුණා -එමාෂා සෙනෙවිරත්න

 



එමාෂා සෙනෙවිරත්න යනු ප්‍රේක්ෂක ඔබ බොහෝ සෙයින් ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පිනියකි. දෙවනි ඉනිම සහේලී ලෙසින් ඇයටම ආවේණික ප්‍රේක්ෂකාගාරයක් නිර්මාණය කරගත් ඇය මේ දිනවල බොහෝ දෙනා අතර කතාබහට ලක්ව සිටින්නේ සිරස නාළිකාවේ විකාශය වන මායාවී ටෙලි නිර්මාණයත් සමඟිනි. දුශේනිගේ රුවින් හැඩවුණු හිතෛෂීගේ භූමිකාව මේ දිනවල එමාෂාගේ රුවින් හැඩවීම පිළිබඳව බොහෝ දෙනාට ගැටලුවක් වී ඇති බව ද පැහැදිලිය. ඒ ගැන විමසීමේ අදහසින් අද අපි ඇය හා කතාබහට එක්වීමු.


මායාවී ටෙලි නිර්මාණයේ ප්‍රධාන භූමිකාවට හදිසියේම ආරාධනා ලැබීම ගැන මොකද හිතෙන්නේ?


ඇත්තම කිව්වොත් මේක මට හදිසියේම ලැබුණු ආරාධනාවක්. ආරාධනාවක් කියනවට වඩා බලවත් ඉල්ලීමක් කිව්වත් හරි. මහේෂ් රත්සර අයියා දවසක් මට කතා කරලා නංගි මෙහෙම වැඩක් තියෙනවා ඔයා මොකද කියන්නෙ කියලා ඇහුවා. මුලින්ම මං හිතුවේ අලුත් වැඩකට කියලා. මොකද කලින් දවසේ නිෂ්පාදකතුමාත් මට කතා කරලා ඇහුවා. ඒත් මහේෂ් අයියා මට කාරණය පැහැදිලි කළේ මේ නාට්‍ය නවත්තන තැනටම ලොකු අර්බුදකාරී තත්ත්වයක තියෙන්නේ, මේ වෙද්දිත් මේකට ලොකු මුදලක් යටකරලා වගේම මේකෙන් යැපෙන ලොකු පිරිසකුත් ඉන්නවා කියලා කිව්වා. ඔයා මායාවී බලල තියෙනවද? මොකද කියන්නේ කියලා ඇහුවා. ඇත්තම කතාව ඒ වෙද්දි මං මායාවී බලලවත් තිබුණෙ නැහැ. මං කල්පනා කරලා බලලා කියන්නම් කිව්වට මට ගොඩක් හිතන්න කාලයක් තිබුණෙත් නැහැ. විකාශය කරන්න කොටස් තිබුණෙ නැති නිසා ඊළඟ දවසෙ ඉඳන්ම ෂූටින් දාල තිබුණා. ඒ වෙලාවෙ ඔවුන්ට කරන උදවුවක් විදිහට තමයි මං ඒක භාර ගත්තේ.


ඒ වෙද්දිත් ප්‍රේක්ෂක ආදරය දිනාගෙන හිටිය ජනප්‍රිය නිළියක් වෙනුවට ඒ චරිතය රඟපාන එක අභියෝගයක් කියල හිතුණෙ නැද්ද?


මීට කලිනුත් මට මෙහෙම ආරාධනා ලැබිල තිබුණට වෙන කවුරුත් කරපු චරිතයක් මං කවදාවත් භාර ගත්තෙ නැහැ. මේක මට අභියෝගයක් කියල හිතුණෙත් නැහැ. මොකද මහේෂ් අයියා විස්තර කරපු විදිහට ගමේ ඉඳන් නගරෙට ආපු අහිංසක කෙල්ලෙක් මුහුණ දෙන අත්දැකීම් මේ තුළ තිබුණේ. මහේෂ් අයියත් එක්ක මං මීට කලින් කිහිප වතාවක්ම වැඩ කරලා තිබුණා. හිතුවක්කාරී, හිත ළඟ හිනැහුණා වගේම ටෙලි ෆිල්ම් කිහිපයකත් වැඩ කළා. ඒවා ගොඩක් සාර්ථක වුණා. හිතුවක්කාරී කියන්නේ අදටත් අඩුවක් නැතුව ප්‍රතිචාර ලැබෙන නිර්මාණයක්. ඒ නිසා මං බය නැතුව භාර ගත්තා. ඊළඟ දවසෙම ෂූටින් පටන් අරන් දවස් කිහිපයක් එක දිගටම ෂූට් කළා. මායාවී රඟපාලත් ඉවර වෙලා තමයි මට මායාවී බලන්න අවස්ථාවක් ලැබුණේ.


ඔබට හිතෙනවද පරණ හිතෛෂී වගේම ප්‍රේක්ෂකයින් ඔබව පිළිගනීවි කියලා?


මමත් ගොඩක් කැමති අලුත් නිර්මාණවලට සම්බන්ධ වෙන්න. ඒත් ඒ අවස්ථාවේ ඔවුන් මගෙන් බලවත් ඉල්ලීමක් කළා. මට ඔවුන්ව ප්‍රතික්ෂේප කරන්න බැරි වුණා. හිතෛෂී සඳහා රංගන ශිල්පිනියන් හතර දෙනෙක්ට කතා කරලා තිබුණා. එයාලා සම්බන්ධ වෙන්න කැමැත්ත පළ කරලත් තිබුණා. ඒත් මහේෂ් අයියා, අධ්‍යක්ෂවරයා, නිෂ්පාදකවරයා වගේම සිරස නාළිකාවේත් කැමැත්ත මත මාව තෝරගෙන තිබුණා. මං හිතනවා ආදරණීය ප්‍රේක්ෂකයිනුත් මාව තේරුම් ගනීවි කියලා. පහුගිය ටිකේ නිදි නැතුව කොටස් ගණනාවක් එක දිගට ෂූට් කළේ විකාශය කරන්න කොටස් නැති නිසා. හිතෛෂී නිසා මටත් ලොකු කැපකිරීමක් කරන්න වුණා. කොහොම වුණත් මං භාර ගත්ත චරිතයට උපරිම සාධාරණයක් කරන්න මං උත්සාහ කරනවා.


චරිතයේ සාර්ථකත්වයට අධ්‍යක්ෂවරයාගෙන් ලැබෙන සහයෝගයත් වැදගත්?


අනිවාර්යයෙන්ම. අධ්‍යක්ෂ සඳුන් රාජකරුණා සමඟ මං වැඩ කරන පළමු අවස්ථාව මේක. මීට කලින් අවස්ථාවක් ලැබුණත් මට සම්බන්ධ වෙන්න බැරි වුණා. අපි ෆෝන් එකෙන් කතා කරලා තිබුණට මායාවී ලොකේෂන් එකේදි තමයි පළමු වරට මුණගැහුණේ. හරිම හොඳ සපෝටිව් අධ්‍යක්ෂවරයෙක්. මේකත් හිතුවක්කාරී චරිතය වගේ යන නිසා ඔයාට කරන්න පුළුවන් කියලා ඔවුන් හැමෝම මාව දිරිමත් කළා.


රුමේෂ්ගෙන් ලැබෙන සහයෝගය ගැනත් මතක් කරමු…


මං ගොඩාක් හිතන කෙනෙක්. රුමේෂ් තමයි මාව සැහැල්ලු කරන්නේ, මෝටිවේට් කරන්නේ. පහුගිය විසිපස් වැනිදා මගේ උපන්දිනය තිබුණා. මාව සප්‍රයිස් කරන්න අම්මලවත් ගෙන්නලා රෑ දොළහට කේක් එකක් කැපුවා. පහුවෙනිදා මටත් නොදන්වා මගේ සමීපතමයන්ටත් ආරාධනා කරලා පැරඩයිස් ඉන් එකේ හරිම ලස්සන රාත්‍රී සාදයක් සංවිධානය කරලා තිබුණා. සාමාන්‍යයෙන් මං කවදාවත් මේ වගේ ලොකුවට උපන්දිනයක් සමරලා තිබුණෙ නෑ. ගෙදර අයත් එක්ක කේක් එකක් කපලා තමයි හැමදාම සැමරුවේ. මේ පාර තමයි මෙහෙම ලොකුවට පාටියක් ගත්තේ. රුමේෂ් නිසා මේ පාර හරිම සතුටුදායක උපන්දිනයක් සැමරුවා.



Previous Post Next Post