මම තෝරාගත් ජීවිතයට මිලක් ඇති බව දන්නවා -රශ්මිකා මන්දනා

 



අනේක විද දුක් කම්කටොළු දරාගෙන උපේක්ෂාවෙන් ජීවිතය ජය ගත් ඇය‍, අද වන විට දකුණු ඉන්දීය සිනමාවේ වැඩිම වැටුපක් ලබන නිළිය වී හමාරය.


හොඳම නිළිය සඳහා ෆිල්ම් ෆෙයාර් විචාරක සම්මානය – තෙළිඟු‍, ලබා බොක්ස් ඔෆිස් හි රුපියල් බිලියන 1 (ඇමරිකානු ඩොලර් මිලියන 13) ඉක්මවා ගිය පළමු චිත්‍රපටය බවට පත් වූ ‘ගීතා ගෝවින්දම්’ තෙළිඟු චිත්‍රපටයෙන්, සිනමා ජීවිතයේ විශාල ඉදිරි ගමනකට පා තබන ඇය‍, ‘කිරික් පාර්ටි‘ (KIRIK PARTY) නම් කන්නඩි චිත්‍රපටයෙන් තම රංගන ජීවිතය ආරම්භ කරනවා. කන්නඩ, දෙමළ, තෙළිඟු සහ හින්දි චිත්‍රපටවල රංගනයේ නියැළී සිටින සහ සේවය කරන ඉන්දියානු නිළියක් වන ඈ ‍නමින් රශ්මිකා මන්දනා. ඇය ‘පෑන් – ඉන්දියා නිළිය’ ලෙස නම් දරා‍, රට පුරා විශාල රසික පිරිසක් ආකර්ෂණය කර ගනිමින් ‘ජාතික ක්‍රෂ් ඔෆ් ඉන්දියා’ යන නාමය හිමි කර ගන්නවා.


බැංගලෝරයේ එම්. එස්. රාමයියා කලා, විද්‍යා හා වාණිජ විද්‍යාලයෙන් මනෝවිද්‍යාව, ජනමාධ්‍යවේදය සහ ඉංග්‍රීසි සාහිත්‍යය පිළිබඳ උපාධියක් හදාරා කෙටි කලකට නිරූපණ වෘත්තීයකට පිවිසෙනවා. ඒ රංගන ක්ෂේත්‍රයට පිවිසීමේ අපේක්ෂාවෙන්.


1996 අප්‍රේල් මස 05 වන දින කර්ණාටක ප්‍රාන්තයේ විරාජ්පෙට් නම් නගරයක සුමන් සහ මදන් මන්දනා යන දෙදෙනාට දාව මධ්‍යම පාන්තික දුගී පවුලක වැඩිමහල් දියණිය ලෙස ඈ උපත ලැබුවාය. එතැන් පටන් ජීවිතයේ අපමණක් කඨෝර කාල පසුකරමින් විඳ දරා ගනිමින් ජීවිතය හැදෑරූ ඈ‍, විටෙක තම නැඟණියට මවක වූවාය.


ඇය 2014දී, ටයිම්ස් ඔෆ් ඉන්ඩියා හි‍ ‘ක්ලීන් ඇන්ඩ් ක්ලියර් ෆ්‍රෙෂ් ෆේස්‘ සම්මානයෙන් පිදුම් ලැබුවාය. පසුව ඈ ‘ක්ලීන් ඇන්ඩ් ක්ලියර් ‘හි සන්නාම තානාපතිවරියක් ලෙස කටයුතු කළාය. ඇය රංගනයට අමතරව


වෙළඳ නාම සහ නිෂ්පාදන කිහිපයක තානාපතිවරිය ලෙස ද සේවය කරයි.


බොක්ස් ඔෆිස් වාර්තා රැසක් පිහිටුවමින් ලොව පුරා රුපියල් බිලියන 18 කට වඩා (ඇ‍ෙමරිකානු ඩොලර් මිලියන 210) උපයමින්, ඉන්දියානු සිනමාවේ තුන්වන විශාලතම ආදායම් උපයාගත් චිත්‍රපටයට රශ්මිකා රංගනයෙන් දායක වූවාය. එය ඇගේ ජීවිතයේ වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපටය වූවාය.


රශ්මිකා තෙළිඟු හා හින්දි චිත්‍රපටවල වැඩි වශයෙන් දකින්නට ලැබෙන ඉන්දියානු නිළියකි. ඇය ලැබූ අතිමහත් සම්මාන අතරට SIIMA සම්මාන හතරක් සමඟ දකුණු ෆිල්ම් ෆෙයාර් සම්මානයද අයත්වේ.


‘චාලෝ’ නම් විකට නාට්‍යයෙන් තෙළිඟු සිනමාවට පිවිසි ඇය වඩාත් පිළිගැනීමට පාත්‍ර වූයේ. ‘පුෂ්පා’ නම් තෙළිඟු චිත්‍රපටය තුළිනි. එය සුකුමාර් විසින් අධ්‍යක්ෂණය කරන ලද අතර මයිත්‍රි චිත්‍රපට නිෂ්පාදකයින් විසින් මුත්තම්සෙට්ටි මාධ්‍ය සමඟ එක්ව නිෂ්පාදනය කරන ලදී.


ඇය රංගනයෙන් දායකවූ තෙළිඟු කතා මාලාවක් වටා ගෙතුණු චිත්‍රපටයක් වන පුෂ්පා ද රයිස් හි, ඉන්දියානු – සංස්කෘතික සාර්ථකත්වයත් සමඟ පුළුල් පිළිගැනීමක් ලබා ගත්තාය. ඇය සීතා රාමම් හි සහය චරිතයක් රඟපෑ අතර‍, හින්දි සිනමාවට පිවිසීමට පෙර දෙමළ චිත්‍රපටයක් වන “වරිසු “හි කාන්තා ප්‍රධාන චරිතය රඟපෑවාය. ඇනිමල් සහ පුෂ්පා 2, ද රූල් සහ ඓතිහාසික කතාවක් පසුබිම් කොට ගෙතුණු චිත්‍රපටයක් වන චාවා (CHHAAVA) ඇය වැඩිම ආදායමක් උපයාගත් චිත්‍රපට විය.


ඇය ඉදිරියේදී තෙළිඟු චිත්‍රපට දෙකක සහ හින්දි චිත්‍රපට දෙකක දැකගත හැකි වනු ඇත. ඊට අමතරව සේඛර් කම්මුලාගේ තෙළිඟු – දෙමළ – හින්දි ත්‍රිභාෂා චිත්‍රපටයක් වන ‘කුබෙරා‘ හි ධනුෂ් සමඟ රඟපාන අතර‘ද ගර්ල් ෆ්‍රෙන්ඩ්‘හි ප්‍රධාන චරිතය රඟපානු ඇත. ඇය ඒ. ආර්. මුරුගදාස්ගේ චිත්‍රපටයක් වන ‘සිකන්දර්‘ හි සල්මන් ඛාන් සමඟ රඟපානු ඇති අතර ‍ආදර ත්‍රාසජනක චිත්‍රපටයක් වන ‘තක්මා‘ හි ආයුෂ්මාන් කුරානා සමඟ දැකගත හැකි වනු ඇත.


ඇය මානුෂීය හදවතක් හිමි දානපතිනියකි. හැමවිටම ඈ මනුෂ්‍යයන් කෙරෙහි දක්වන අනුකම්පාව‍, ත්‍යාගශීලී බව ඇගේ මානුෂීය ගුණාංග පෙන්නුම් කරයි. නර්තනය‍, කියැවීම‍, හා පිංතාරු කිරීම ඇගේ විනෝදාංශ හා රුචිකත්වයන් වන අතර චිත්‍රපට ව්‍යාපාරයේ දීප්තිය ඉක්මවන සංකීර්ණ පෞරුෂයක් ඈ වෙතින් පිළිඹිබු වෙයි.


ජයග්‍රහණ හා දුෂ්කරතාවලින් පිරි රශ්මිකා මන්දනාගේ පෞද්ගලික ජීවිතය ඇගේ ධෛර්යය හා අනුකම්පාව පිළිබදව කදිම නිදසුනකි. ලෝකය වෙනස් කිරීමෙහිලා ඇයගේ විවිධාකාර රුචිකත්වයන් හා කැපවීම ඇයට වඩාත් සියුම් මහජන පෞරුෂයක් ලබාදෙයි. එබැවින් දිනෙන් දින ඈ වටා තව තවත් රසිකයන් රොක් වෙයි. ඇයට ආදරය කරයි. ඇය සිනමාවේ තිරසර ඉදිරි ගමනකට සූදානම් බව නොරහසකි.


ශ්‍යාමා දේවිකා දමයන්ති



Previous Post Next Post