පුංචි තිරෙන් රටම දන්න කෝපි කඩේ හාමිනේ රත්නා සුමනපාල

 



පොඩිරත්න මැණිකේ අබේගුණසේකර කිව්වාම හඳුනනවා නම් ඒ ඇයගේ පවුලේ අයයි. එහෙත් රත්නා සුමනපාල නාඳුනන පිරිස ඉතා සුළු පිරිසකි. තවදුරටත් ඇයට සමීප වීමට නම් “කෝපි කඩේ හාමිනේ” මතකයට නඟාගත යුතු ය. රත්නා සුමනපාල නම් වූ ඇය මෙරට සිනමාවේ, ගුවන්විදුලියේ, වේදිකාවේ, රූපවාහිනියේ රංග ප්‍රතිභාව ප්‍රකට කළ විශිෂ්ට ශිල්පිනියකි. ස්වාධීන රූපවාහිනිය ඔස්සේ දීර්ඝ වශයෙන් විකාශය වූ “කෝපි කඩේ” ටෙලි නාට්‍ය නිසා ඇය අතිශය ජනාදරයට පත් වූවාය. නොයෙකුත් බාධා පැමිණි නමුත් අදටත් ඇය “කෝපි කඩේ” හාමිනේ ලෙස රඟපාන්නීය. ආරම්භයේ සිට මේ දක්වා ඇය එහි අඛණ්ඩව රඟපාන්නීය. මේ වනවිට එහි කොටස් දෙදහස ද ඉක්මවා ඇත. කොතෙක් ටෙලි නාට්‍ය තිබුණත් අදටත් ඒ නාට්‍ය කෙරෙහි ඇති ප්‍රේක්ෂක ආකර්ෂණය බිඳ වැටී නැත.


“ඒකට ප්‍රධානම හේතුව මං හිතන්නේ අපේ රටේ ගැමි සංස්කෘතිය, අපේ අනන්‍යතාව රැඳුණු නාට්‍යයක් වශයෙන් විතරක් නෙවෙයි අපේ රටේ ගැමි ජනතාව තමන්ගේ කියන හැඟීමකින් “කෝපි කඩේ” නාට්‍ය කෙරෙහි අදටත් බැඳී සිටිනවා. සමහර පැරණි උදවිය ඔය විච්චූරණවලට කැමති නැහැනේ. තමන්ගේ ජීවිතයේ සැඳෑ සමය ගතකරන වැඩි දෙනෙක් බොහොම කැමැත්තෙන් මේ නාට්‍ය අදටත් නරඹනවා. නාගරික සංකීර්ණ ජීවිත හරිම ටිකයිනේ අපේ රටේ ජීවත් වෙන්නේ. බහුතරයක් ජනතාව මධ්‍යම පාන්තිකයි. ඒ අයට මේ නාට්‍ය ගැළපෙනවා. අපි ගැන කතා කරන නාට්‍යයක් වගේම එදිනෙදා ජීවිතයට යම් වටිනා දෙයක් මෙයින් ලබා දෙනවා. හාස්‍ය, විනෝදයත් තියෙනවා. ඕනෑම තරාතිරමක කෙනෙකුට ගැළපෙනවා. තේවිස් ගුරුගේ මහතා ආරම්භ කළ මේ නාට්‍යයට මුල සිට මේ දක්වාම සම්බන්ධ වෙන්න ලැබීම ගැන මම ගොඩාක් සතුටු වෙනවා නොයෙකුත් බාධා ආවා තමයි. මේ නාට්‍යය නතර කරන්න විවිධ අය සූදානම් වුණා. සමහර ශිල්පීන් ඉවත් වුණා. මගෙනුත් සමහරු ඇහුවා ඉවත් වෙනවා ද කියලා. මම හැමදාම කිව්වේ ‘තේවිස් ගුරුගේ මහතාට ගෞරවයක් පිණිස මම මේ නාට්‍යයේ තවම රඟනවා.’ කියලා. ඒ කිව්වාවම මං තාමත් කෝපි කඩේ ඉන්නවා. මට තවමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මට ආදරය කරන රසික පිරිසක් ඉන්නවා. ඒ ගැන මට පුදුමාකාර සතුටක් දැනෙනවා. අපි සමහර දවස්වලදී මේ නාට්‍යයේ රූගත කිරීම් කරද්දි නොයෙකුත් ගැටලුවලට මුහුණ දුන්නා. ඒ කාලේ බොහෝ කැලෑ ප්‍රදේශවල තමයි මේ නාට්‍ය රූගත කෙරුණේ. කෝපි කඩේ කටුමැටියෙන් හදලා ඒ අවටත් කැලෑව තිබුණා. රූගත කිරීම්වලදි අපට ඒ හරියෙදි හරියට සර්පයෝ හමුවෙලා තියෙනවා. දවසක් කෝපි කඩේ ඇතුළේ තියලා තිබුණු පැදුරක් අස්සේ පොළ‍ඟෙක් හිටියා. එදා නම් අපි ගොඩාක් බයෙන් බයෙන් තමයි රඟපෑවේ. අපි හැමෝගෙම එකමුතුකමක්, මේ නාට්‍ය කෙරෙහි ළැදියාවක් අදට වඩා ඒ කාලේ තිබුණා. සමහර අධ්‍යක්ෂවරු කෝපි කඩේ නාට්‍යයේ දිගටම මම ඉන්න නිසා ඔවුන්ගේ නිර්මාණවලට මට ආරාධනා කළේ නැහැ. සමහරු කිව්වා කෝපි කඩේ නාට්‍යයෙන් ඉවත් වෙලා එන්න කියලා. මම ඒකට කැමති වුණේ නැහැ. නමුත් සුමිත්‍රා පීරිස් මැතිණිය, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිඳුන් වැනි විශිෂ්ටයින් මට ඔවුන්ගේ නිර්මාණවලට සම්බන්ධ වෙන්න අවස්ථා ලබා දුන්නා.”


‍ඇය නම් රඟපෑමටම උපන් හපන්කම් දක්වන්නියකි. 1940 ජුනි 10 වැනිදා රත්නපුර ලෙල්ලෝපිටියේ දී උපන් ඇය පවුලේ දෙවැනියා වූවාය. ඇයට වැඩිමහල් සහෝදරයෙක්, බාල සහෝදරියක් සහ බාල සහෝදරයෙක් සිටි අතර පියා ලෙල්ලෝපිටිය ගමට පාසලක් තනා දුන් සත් ගුණවත් තැනැත්තෙකි. රත්නා සිය පාසල් ගමන ආරම්භ කරන්නේ රත්නපුර බැරැන්දූව කනිටු විදුහලෙනි. පසුව ඇය පැල්මඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වූවාය.


“පාසල් කාලයේ ඉඳලාම මම රඟපානවා. මුලින්ම ‘අන්දරේ’ කියලා පාසල් නාට්‍යයක අන්දරේට රඟපෑවා. එතකොට මම තුනේ පන්තියේ ඉගෙන ගන්නවා. ඒ නාට්‍යයේ රඟපෑවාට පස්සේ පාසලේ නාට්‍ය කිහිපයකටම රඟපෑමෙන් සම්බන්ධ වුණා. පාසලේ නැටුම්වලටත් සම්බන්ධ වුණා. සරත් ලාල් මහතා යටතේ මම උඩරට නර්තනයත්, විනීතා පෙරේරා ගුරුතුමියගෙන් ඉන්දියානු නර්තනයත්, කරුණාරත්න බණ්ඩාර මහතාගෙන් නාට්‍ය රංගනයත් ඉගෙන ගත්තා. පාසලේ ඉන්න කාලේ පැල්මඩුල්ල කලා සංසදය මඟින් කළ ‘පින් බත්’ නාට්‍යයේ රඟපාන්න මාව තෝර ගත්තා. පී. වැලිකල මහතා ඒ නාට්‍ය පිටපත ලියා තිබුණා. ඒ නාට්‍යයයෙන් පස්සේ පැල්මඩුල්ල කලා සංසදය නිර්මාණය කළ සෑම නාට්‍යයකම ප්‍රධාන චරිතය රඟපාන්න ලැබුණා. පාසල් අධ්‍යාපනය අවසන් වුණාට පස්සේ පැල්මඩුල්ල කලා සංසදයේ සංගීත අංශයට මම සම්බන්ධ වුණා. මට ඒ සංගමයෙන් රුපියල් තුන්සීයක දීමනාවකුත් ඒ කාලේ ලැබුණා. ඒ සංගමයේ සභාපති සුගතපාල සෙනරත් යාපා මහතා. රාජා සුමනපාල එහි ලේකම් ලෙස කටයුතු කළා. ඒ දෙදෙනාම අපේ පාසලේ වැඩිහිටි පන්තිවල ඉගෙන ගත් අය. මගේ රඟපෑම් එයාලා පාසලේදිත් දැකලා තිබුණු නිසා ‘පින් බත්’ වේදිකා නාට්‍යයට මාව තෝරා ගත්තා. හැට ගණන්වල මට හොඳම රංගන ශිල්පිනිය ලෙස රාජ්‍ය සම්මානය හිමි වුණා. ඒ ‘සුදෝ සුදු’ නාට්‍යයේ මැණිකෙගේ චරිතය රඟපෑම වෙනුවෙනුයි. ‘කුණ්ඩලකේශි’ නාට්‍යයේ මම රඟපෑවේ ඊට පස්සෙයි. ඒ නාට්‍ය, නූර්ති, නාඩගම් ශෛලීන් මිශ්‍ර වුණු නාට්‍යයකත් රඟන්න වාගේම ගයන්නත් තිබුණා.”


රත්නා විවාහ වන්නේ ඇයගේම පාසලේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයකු මෙන්ම පැල්මඩුල්ල කලා සංසදයේ ලේකම් වූ රංගන ශිල්පී රාජා සුමනපාල සමඟයි. විවාහයෙන් පසු කොළඹ පදිංචියට පැමිණි මේ දෙදෙනාට වරුණි, මංජුලා දියණිවරුන් දෙදෙනාත්, ප්‍රභාෂ් හා මහේෂ් පුතුන් දෙදෙනාත් ලැබිණි. එ් අතරතුර දී ඇයට කොළඹ නාට්‍යවල ද රඟපාන්නට අවස්ථා උදා වූයේ රා‍ජා ටී. බස්නායකගේ ‘වප්මගුල’ නාට්‍යයට සම්බන්ධ වීමෙනි. එවකට ප්‍රවීණ නාට්‍යවේදී දයානන්ද ගුණවර්ධනයන්ගේ නාට්‍යයක පුහුණු වීම් සුදර්ශියේ තිබූ අතර ඇය ද ඒ සඳහා සම්බන්ධ වූයේ පිටපත් සංශෝධන කටයුතු සඳහා යතුරු ලියනය කර දෙමිනි. ඒ අතරතුර ඇය‍ගේ රංගනයන් හඳුනාගෙන සිටි ජයසේකර අපොන්සු ‘සීමා බන්ධන’ නාට්‍යයටත්, ජෝර්ජ් සිල්වා ‘සීලවතී’ නාට්‍යයටත් ඇයව සම්බන්ධ කර ගැනීමත් සමඟ ඇයගේ රංගන ජීවිතය බොහෝ කාර්ය බහුල ද විය. වේදිකා නාට්‍යය සියයකට ආසන්න සංඛ්‍යාවකට ඇය රංගනයෙන් දායක වී ඇත. මුල් කාලයේ සිටම ඇයගේ කලා කටයුතු ඔප් නංවා ගැනීමටත්, කලා ක්ෂේත්‍රයේ විවිධ අවස්ථාවන් ළඟා කර ගැනීමටත් සුවිශේෂ සහායක් දුන් ඇයගේ සැමියා වූ ප්‍රකට කලාකරු රාජා සුමනපාල 2003 වසරේදී මිය ගියේය. ජීවන අත්වැල බිඳී ගියත් දුෂාන්ත, දුල්හාන්, බිසන්දි, දුලාන්, ඩිලානි, බිහඳු සහ විදූෂා යන මුනුපුරු මිනිබිරියන් පිරිවරාගත් ඇය මේ වනවිට වයස අවුරුදු 84 ඉක්මවූ වාසනාවන්ත අත්තම්මා කෙනෙකි.


“මම මුලින්ම සිනමාවට සම්බන්ධ වුණේ 1977 දී. ඒ සුගතපාල සෙනරත් යාපා අධ්‍යක්ෂණය කළ “පෙම්බර මධූ” චිත්‍රප‍ටයට. මට තිබුණේ පාර දිගේ දුවගෙන ගිහින් ඒ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ විජය කුමාරතුංගයන්ව අල්ලා ගන්නා පිස්සු ගැහැනියකගේ චරිතය රඟපාන්නයි. ඒ චරිතය බොහෝම පුංචි වේලාවක් පමණක් දර්ශනය වුණු චරිතයක් වුණත් ඒ කාලේ ඒ රංගනය පිළිබඳ මට බොහෝ අයගේ ප්‍රසංශා ලැබුණා. ඊට පස්සේ ‘අධිෂ්ඨාන, බිනරි සහ සුදු බණ්ඩා, මංගල තෑග්ග, ගුරුගෙදර, ඉන්දුට මල් මිටක්, විරාගය’වැනි චිත්‍රපටවල සහාය චරිත රඟපාන්න මට අවස්ථාව ලැබුණා. රඟපෑ චරිතවලින් වැඩි ප්‍රමාණයක් මම රඟපෑවේ අම්මාගේ චරිතයයි. ‘උතුර දකුණ’ චිත්‍රපටයේදී මම නැන්දම්මා වුණා. ආච්චි ලෙසත් මම රඟපාලා තියෙනවා. ‘හායි හූයි බබි ආච්චි, පාලිමන්ට් ජෝක්ස්, ගින්දරී, සුහද කොකා’යන චිත්‍රපටවල හාස්‍ය චරිත රඟපෑවා. කොහොම හරි මේ වනවිට චිත්‍රපට 40ක විතර රඟපාලා තියෙනවා. 1979දී තමයි මම ‘දිමුතු මුතු’ ටෙලි නාට්‍යයේ රඟපාමින් රූපවාහිනියට සම්බන්ධ වුණේ. ඒ ආරම්භයෙන් ටෙලි නාට්‍ය තුන්සිය පනහකට වැඩිය මම රඟපාලා තියෙනවා. ළා හිරු දහසක්, දූ දරුවෝ, ගිරය, නිදිකුම්බා මල්, සඳගලතැන්න, ආටක නාටක වගේ නාට්‍ය ඒ අතර ජනප්‍රිය වුණා. කෝපි කඩේ නාට්‍යයේ කොටස් දෙදහසකට ආසන්න සංඛ්‍යාවක් කරලා තියෙනවා. ඒ අතරින් කොටස් එක්දහස් පන්සීයකට වැඩි සංඛ්‍යාවක මම රඟපෑවා. අනෙකුත් ටෙලි නාට්‍ය පන්සීයකට වැඩිය රඟපා තියෙනවා. තවමත් මම කෝපි කඩේ රඟපානවා. මෙහෙම බලද්දි ටෙලි නාට්‍ය වැඩිම සංඛ්‍යාවක රඟපාලා තියෙන්නේ මම ද කියලාත් එක වෙලාවකට මට හිතෙනවා. ගුවන්විදුලියේත් නාට්‍ය සහ විවිධ වැඩසටහන්වලදී මගේ හඬ දායකත්වය ලබා දී තිබෙනවා. ඒ සඳහා ඇග්නස් සි‍රිසේන තමයි මට සහාය ලබා දුන්නේ. මට රංගනයෙන් දායක වෙන්න ලැබුණු ‘හන්දියේ ගෙදර’, ‘මුවන්පැලැස්ස’ වගේ ගුවන්විදුලි නාට්‍ය බෙහෙවින් ජනප්‍රිය වුණා. ඔෂින්, කූබිච්චි, කුසුමලතා, කණාමැදිරි රාත්‍රිය වැනි වැඩසටහන්වලත් මම හඬකැවීම් කළා. මේ දවස්වලත් මම වේදිකා නාට්‍ය දෙකක රඟපානවා. දැනුත් නිර්මාණ කිහිපයකට ඇරයුම් ලැබිලාත් තියෙනවා.”


ප්‍රධාන චරිත, අතුරු චරිත, සුළු චරිත, විකට චරිත යැයි භේද දුරැර ඇය සිය රංග ප්‍රතිභාව විවිධ පැතිකඩ ඔස්සේ ප්‍රේක්ෂකයින් වෙතටත්, අසන්නන් වෙතටත් ලබා දී තිබීම විශේෂත්වයකි. මේ වනවිට කලා භූෂණ, විශ්ව කලා භූෂණ, කොළොම්තො‍ට සම්මාන, දේශමාන්‍ය ආදි වශයෙන් සම්මාන ඇගයුම් බොහෝමයක් ලබා ඇති ඇය ගද්‍ය සාහිත්‍යකරණයෙහි ද දස්කම් පාමින් විවිධ අවස්ථාවලදී සම්මාන, ත්‍යාග, සහතික දිනාගත් කලාකාරිනියකි. නුදුරේදී ඇය වෙත තවත් වටිනා ගෞරව සම්මානයක් පිරිනැමීමට නියමිත ව ඇති අතර ඇය ඒ සඳහා දැනටමත් ඇරයුම් ලබා සිටින්නී ය.


 


Previous Post Next Post