මේ සිංහල අවුරුද්දේ කෙවිළිය වුණා-අමන්ද්‍යා උත්පලී

 



අමන්ද්‍යා උත්පලී කියන්නේ කලා ක්ෂේත්‍රයට පායපු වටිනාම සම්පතක් කියලා කිව්වාට කිසිසේත්ම වරදක් නැහැ. ගායනය, නර්ථනය හා රංගනයෙන් උපරිම දක්ෂතා දක්වන ඇය දැන් කලා ලොව නැතිවම බැරි චරිතයක් වෙලා. මේ දිනවල සාර්ථක ලෙස තිරගත වෙන සෝමරත්න දිසානායකගේ ‘කපුටු කොහෝ’ චිත්‍රපටයේ කෙවිලියගේ චරිතය නිරූපණය කරන්නෙත් අමන්ද්‍යා උත්පලී. මේ නිසාම මේ සිංහල අලුත් අවුරුද්දේ පිනිපලස කතාබහට සුන්දර හඬක් ඇති කෙවිලියට ආරාධනා කළා...




අලුත් අවුරුද්දේ කෙවිලිය වෙන්න ලැබුණු ආරාධනය ගැන සිහිපත් කරමින්ම ඇය කතාව ආරම්භ කළා.


සෝමේ මාමා ‘කපුටු කොහෝ’ ගැන මට කිව්වේ මීට අවුරුදු තුනකට විතර කලින්. සෝමේ මාමාගේ චිත්‍රපටයක රඟපාන්න අවස්ථාවක් උදාවෙනවා කිව්වාම මට පුදුමාකාර සතුටක් දැනුණා.




‘‘වේදිකාවේ අලුත් වැඩක් කරන්න හිතාගෙන ඉන්නවා පුතේ’’ කියලා කියනකොට මම හිතුවේ වේදිකා නාට්‍යයක් කියලා. අවසානයේ වේදිකා නාට්‍යයක් වෙනත් විදියට සිනමාවට නැගෙනකොට පුදුමාකාර සතුටක් හිතට දැණුනේ. රේණු නැන්දයි සෝමේ මාමයි එක්ක අලුත් වැඩකට අතගහන්න ලැබීම ගැන ඇත්තටම පුදුමාකාර සතුටක් තියෙන්නේ.




‘කපුටු කොහෝ’ තුළ තමාට ලැබුණ භූමිකාව ගැන උත්පලීට තිබෙන්නේ පුදුමාකාර සතුටක්.


කපුටු කොහෝ තුළ මට ලැබෙන්නේ කෙවිලියගේ චරිතය... මේ කතාවේ තිර රචනයක් කලින් ලැබුණේ නැහැ. මුලින්ම අපි රිහසල් එකක් කෙරුවා. චන්දන වික්‍රමසිංහ සර්ගේ ඇකඩමියේ තමයි වැඩේ ආරම්භ කළේ. රිහසල් එක කරන අතරේ සෝමේ මාමා අපිට දෙබස් හා කතාව කියෙව්වා. ඔහු රඟපාන අතරේ ඩයලොග් කියවන නිසා ඩයලොග් කටපාඩම් කරන්න ඕනෙත් නැහැ.




මේක මහ ලොකුවට ඔළුවට දාගන්න එපා. අපි රඟපාන ගමන් ඩයලොග් කියමු. වෙනස් කරගන්න දේවල් වෙනස් කරමු. කිසිම දෙයක් ඔළුවට දාගෙන හිතන්න එපා. උපරිම සැහැල්ලුවෙන් ඉන්න.




ඔන්න ඔය විදියට තමා රූපගත කිරීම් සිද්ධ වුණේ. ඇත්තටම මේක සිනමාවේ අත්හදා බැලීමක්. කෙවිලියගේ චරිතය කරන ගමන් මම ගීත ගායනා කරන්නත් ඕනේ. නටන්නත් ඕනේ. දෙබස් කියන්නත් ඕනේ. හැම තැනදිම නිවැරැදි අංග චලන භාවිත කරන්න ඕනේ. මම හිතන්නේ ඉතා ප්‍රබල පැකේජ් එකක් මට ලැබුණේ. කෙවිලියගේ චරිතය තුළින් උපරිම දක්ෂතා පෙන්නන්න මට අවස්ථාව ලැබුණා.




අනික් කාරණාව තමා ‘කපුටු කොහෝ’ තුළ මම රඟපාන්නේ හර්ෂණ දිසානායකත් එක්ක. හර්ෂණ කියන්නේ පුංචි කාලේ ඉඳන්ම මගේ යාළුවෙක්. හර්ෂණගේ බිරිඳ අපේ ඉස්කෝලේ මගේ යෙහෙළියක්. අපේ පවුල් අතරත් ලොකු බැඳීමක් තියෙනවා. අනික් අයත් ඒ වගේම හිතවත් නිසා බොහෝම සතුටින් සැහැල්ලුවෙන් කරපු නිර්මාණයක් හැටියට ‘කපුටු කොහෝ’ හඳුන්වන්න පුළුවන්.




අමන්දා කියන්නේ උපතින්ම දක්ෂතා ගොඩක් අරගෙන ආපු අති දක්ෂයෙක්. මේ නිසාම ඇය ගායිකාවක්, රංගන ශිල්පිනියක් හා නර්ථන ශිල්පිනියක් හැටියට ක්ෂේත්‍රයේ රැඳී සිටිනවා. මේ හැඳින්වීම්වලින් ඇයත් කැමැති හැඳින්වීමක් ඇති කියලා මට හිතුණා.




රංගන හා ගායනය කියන වෘත්තින් දෙකටම මම හුඟාක් ආදරෙයි. පුංචි කාලේ ඉඳලම මම මේ අංශ දෙකෙන්ම උන්නා. හැබැයි පුංචි කාලේ ඉඳන් සිහින දැක්කේ පෙරුම්පිරුවේ ගායිකාවක් වෙන්න. නිළියක් වෙන්නත් ඕන කියලා හැඟීම හිතේ කොනක තිබුණා. ගායිකාවක් හැටියට මට සතුටුයි. නමුත් නිළියක් හැටියට තාම ලොකු දුරක් යන්න තියෙනවා. විශ්වාස කරනවා ඉදිරියේදී හොඳ නිර්මාණවලට දායක වෙන්න අවස්ථාව ලැබෙයි කියලා.




අමන්ද්‍යාගේ හඬත් එක්ක ඇය වේදිකාවට උචිත නිළියක් ලෙස බොහෝ දෙනා නිර්දේශ කළත් තවමත් ඇය ඒ සම්බන්ධයෙන් ලොකුවට හිතලා නැහැ.




ඉස්කෝලේ යන දවස්වල නම් වේදිකාව නුපුරුදු තැනක් වුණේ නැහැ. පාසල් වේදිකාවේ සමස්ථ ලංකා හොඳම නිළිය හැටියටත් සම්මාන දිනා ගත්තා. නමුත් මෑත කාලයේ රූපවාහිනියේ සිනමාව හා ගායනයේ තිබුණ කාර්ය බහුලත්වය එක්ක වේදිකාවෙන් ආරාධනා ලැබුණත් සම්බන්ධ වෙන්න කාලයක් තිබුණේ නැහැ. මේ නිසාම වේදිකාවට පුංචි විරාමයක් දීලා තිබුණේ. හැබැයි මේ දවස්වල ‘අන්දරේලා’ වේදිකා නාට්‍යයට සම්බන්ධ වෙලා කටයුතු කරනවා. අන්දරේවතීගේ චරිතය තමයි රඟපාන්න ලැබුණේ. හිස්තැනක් වෙලා තිබුණ වේදිකාවේ මගේ හිඩැස පුරවන්න ලැබීම මා පෞද්ගලිකවම සතුටක් හැටියට දකිනවා.




ගිරාගේ දෝනි හැටියට තමයි අමන්ද්‍යාව බොහෝ දෙනා අතර ජනප්‍රිය. ගිරාට කොල්ලෙක් නැති වුණාට කෙල්ල වැඩේ හොඳට කරගෙන යනවා කියන ප්‍රශංසාව අමන්ද්‍යා උපරිමයෙන් බුක්ති විඳිනවා. පියාව සතුටු කරන්න ලැබීම ඇය දකින්නේ වාසනාවක් හැටියට.




අපේ තාත්තා නම් මගේ හැකියාවන් දැකලා උපරිම සතුටුයි. තාත්තා හැම වෙලාවකම කියන්නේ මම තාත්තට වඩා ඉස්සරහින් ඉන්නවා කියලා.




තාත්තා ක්ෂේත්‍රයේ ආපු මුල් කාලේ රඟපාන්න ලැබුණු චරිතවලට වඩා හොඳ චරිත මට ලැබිලා තියනවා කියලයි එයා කියන්නේ. ඒ වගේම තාත්තාගේ කාලේ සන්සන්දය කරන කොට මම හොඳ තැනක ඉන්නවා කියන විශ්වාසය එයාට තියෙනවා. මගේ අඩුපාඩු මට පෙන්නලා කලා ක්ෂේත්‍රයේ මම මේ යන ගමන දිහා බලලා වැඩියෙන්ම සතුටු වෙන්නේ මගේ තාත්තා.




අමන්ද්‍යා රට පුරා රැගෙන ගිය රැජිනට ඇන්දා ප්‍රසංග මාලාවට ඉතා ඉහළ ප්‍රතිචාර ලැබුණා. ගායිකාවක් නර්තන ශිල්පිනියක් ලෙස පැය දෙකහමාරක ප්‍රසංගයක් තනිවම පැවැත්වීමට තරම් ශක්තියක් හිතට ආවේ කොහොමද කියන ප්‍රශ්නය ඇයගෙන් ඇහුවේ නැත්නම් එය ඇයට කරන අසාධාරණයක් කියලා හිතනවා.




ඇත්තටම ඔබ කියනවා වගේ ඒ ප්‍රසංග මාලාව මටත් විශේෂයි. මම කරන දේ ලොකු විශ්වාසයකින් කරනවා. ඒ වෙනුවෙන් කැප වෙනවා. ‘රැජිනට ඇන්දා’ ප්‍රසංගයක් මම මහන්සියෙන් කරපු ප්‍රසංගයක්. ඒ මම පවත්වපු ප්‍රසංග තුනටම ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා.




ඒ අතරින් රෝහණ වීරසිංහ සර් දුන්න ප්‍රතිචාරය කවදාවත් මට අමතක වෙන්නේ නෑ. රෝහණ සර් ඇමරිකාවේ ගිය වෙලාවේ කාන්තා සෝලෝ ආර්ටිස් කෙනෙක් ගේ ප්‍රසංගයක් නරඹලා තියෙනවා. ඇයත් රඟපාමින් ගයමින් ප්‍රසංගය ඉදිරිපත් කරලා තියෙනවා. මගේ ප්‍රසංග නරඹනකොට සර්ට මතක් වෙලා තියෙනවා මමත් ඇය වගේම මුළු වේදිකාවම භාවිත කරන ආකාරය. රෝහණ සර් එවැනි ප්‍රසංගයක් මුලින්ම දැකලා තියෙන්නේ ඇමරිකාවේදි එදාලු. දෙවැනියට එවැනි ප්‍රසංගයක් දැක්කානම් ඒ මගේ ප්‍රසංගයලු. ඇත්තටම සර් එහෙම කියනකොට මගේ ඇස්වලට කඳුළු පිරුණා. ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ දැවැන්තයා මගේ ප්‍රසංගය බලලා එතරම් රසක් වින්දා කියන්නේ මට ඊට වඩා තවත් දෙයක් නැහැ. රෝහණ සර් එදා ප්‍රසංගය බලලා ගෙදර ගිහින් මම වෙනුවෙන් ගීතයක් නිර්මාණය කරලා තියෙනවා. ඒ ගීතය වොයිස් කරන්න මම ආසාවෙන් මග බලාගෙන ඉන්නවා.




රංවල බලකාය කියන්නෙත් අමන්ද්‍යාගේ ජීවිතයේ කොටසක් වගේ. පුංචි කාලේ ඉඳලම ඇය රංවල බලකාය තුළද දක්ෂතා පෙන්නුම් කළා. කාර්ය බහුලත්වයත් එක්ක ඉදිරියේ ඇය රංවල බලකාය සමග කටයුතු කරන ආකාරය ගැනත් කතා කළා.




රංවල බලකාය කියන්නේ මගේ ජීවිතේ වගේ. කොච්චර කාර්ය බහුල වුණත් රංවල බලකාය මගෙන් අත්හැරෙන්නේ නැහැ. පසුගිය කාලේ රංවල බලකාය එක්ක යුරෝපයේ, ඔස්‍‍ට්‍රේලියාවේ හා ඇමරිකාවේ සංචාරය කළා. ඒ වගේම ‘NADRO’ සංගීත කණ්ඩායම එක්ක අලුත් වැඩක් කළා. කොහොමත් මේ අවුරුදු කාලේ රංවල බලකාය එක්ක කාර්යබහුල ජීවිතයක් ගත කරනවා.




බොහෝම ඉවසිලිවන්තව ක්ෂේත්‍ර කීපයකින්ම ඉදිරියට යන අමන්ද්‍යාට අභියෝගය තියෙන්නේ ඇයගෙන්ම කියලයි ඇය කියන්නේ. කා සමගත් තරගයක් නැති ඇය හැමදාමත් තරග කළේ තමා සමග කියලා කියන්නේ බොහෝම අහිංසක ආකාරයකට. ඉතා සෙමින් හා හරවත්ව යන ගමන සාර්ථක වෙන්න කියලා අපි හදවතින්ම ඇයට ප්‍රාර්ථනා කරනවා.




කොහොමත් මම වැඩ කරන්නේ තෝරා බේරාගෙන. මේ දවස්වල රවි රොයිස්ටර් එක්ක අලුත් ගීතයකට අත තියලා තියෙන්නේ. ඒ වගේම රෝහණ සර්ගේ ගීතයක් රෙකෝඩ් කරන්න තියෙනවා. ඒ වගේම ඉදිරියටත් ජනගීත නාද පදනම් කරගෙන ගීත කරන්න තමයි සූදානම තියෙන්නේ. ශිවා අංකල්ගේ අලුත් නාට්‍යයක රූපගත කිරීම් සඳහා සහභාගි වෙනවා. ඒ වගේම රාග නාට්‍යයේ තේමා ගීතයටත් හොඳ ප්‍රතිචාර තිබෙනවා. ‘කපුටු කොහෝ’ චිත්‍රපටයත් එක්ක මේ දවස්වල රට වටා යනවා. ඉදිරියටත් රඟපාන්න හොඳ නිර්මාණ පැමිණෙන තෙක් මගබලාගෙන ඉන්නවා කිව්වොත් නිවැරදියි. කලාත්මක නිර්මාණයකට දායක වෙන්න ලොකු ආසාවක් තිබෙනවා. කොහොමත් කලාව කියන්නේ මගේ ජීවිතයම තමයි.



Previous Post Next Post