සරෝජා, පුංචි සුරංගනාවි, සූරිය අරණ, සමනල තටු වැනි අපේ ළමා කාලය සුන්දර කළ සිනමාපට ඔබට මතක ඇති. ඉතින් ඒ සුන්දර කාලය කොහොම අමතක කරන්නද? කලා ක්ෂේත්‍රයේ නව මං සොයා යමින් සිය ප්‍රතිභාව විදහා දැක්වූ එම විසල් සිනමාකරුවාගේ නවතම සිනමා නිර්මාණය වන ‘කපුටු කොහෝ’ පසුගියදා තිරගත වීම ඇරඹුණා. එක තැනැක ඉපදුණු උන් ජාතිය සහ භාෂාව අනුව විරසක විය යුතුද? යන ගැටලුව මේ සිනමා කෘතිය තුළ ඉතා ගැඹුරින් සාකච්ඡාවට බඳුන් වෙනවා. ආදි කාලයේ පටන් ගලාගෙන එන කපුටාගේ සහ කොහාගේ ගැටුම මේ නිර්මාණයට පාදක වී තිබෙනවා. මේ කතාන්දරය පිළිබඳව කතාබහ කිරීමට අද හදගැස්ම හා එක් වන්නේ ප්‍රවීණ අධ්‍යක්ෂ ආචාර්ය සෝමරත්න දිසානායක.
කපුටු කොහෝ සිනමාපටයට ලැබෙන ප්‍රතිචාර ගැන කියමු?
කපුටු කොහෝ නැරැඹූ ප්‍රේක්ෂකයන්ගෙන් බොහෝ ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. අධ්‍යාපන දෙපාර්තමේන්තුවට සම්බන්ධ අධ්‍යාපන නිලධාරීන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන් වගේ අයගෙන් ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සමස්තයක් ලෙස ගත්කල මගේ අනෙක් සිනමාපට මෙන් මෙහි ප්‍රචාරක කටයුතු සිදු කරන්න හැකියාවක් ලැබුණේ නැහැ. මේ නිසා තවමත් මේ ගැන ප්‍රේක්ෂකයා දැනුවත් නැති බවක් පෙනෙන්න තිබෙනවා. බෙදාහැරීමේ ක්‍රමවේදයේ තිබෙන ගැටලුවක් නිසා තමයි අපි මෙම තත්ත්වයට මුහුණ දුන්නේ. ඊ.ඒ.පී. මණ්ඩලයෙන් මෙය ප්‍රචාරය කිරීමට කටයුතු කර තිබුණත් යම් ගැටලුකාරී තත්ත්වයන් නිසා එය සිදු කළ නොහැකි වුණා. කෙසේ හෝ අවසානයේදී අපි සංස්ථා මණ්ඩලයෙන් මෙහි කටයුතු සිදු කරගෙන යනවා. මේ හේතුවෙන් අපිට අවශ්‍ය විධියේ සිනමාශාලා සහ දර්ශන වේලාවන් නැහැ. මෙය විශාල ගැටලුවක් ලෙස මම දකිනවා. නිසි දර්ශන වාරයන් නොමැති වීම හේතුවෙන් පවුල් පිටින් පැමිණ සිනමාපටය නැරඹීමේ සංස්කෘතියට අපිට තවමත් අවතීර්ණ වීමට හැකියාව ලැබිලා නැහැ.
සිනමාව යනු සකළ කලාවන්ගේ සුසංයෝගයෙන් නිර්මාණය වූවක් කපුටු කොහෝ කියන්නේ එහි කූටප්‍රාප්තියක් ලෙස පෙන්වා දෙන්න පුළුවන් මේ ගැන කියනවා නම්?
සිනමාව යනු සියලු කලා අංග එකතු වන තැනක්. සංගීතය, නර්තනය, වේශ නිරූපණය, පසුතල නිර්මාණය ආදී සෑම දෙයක්ම මීට එකතු වෙනවා. අපේ සිනමාව තුළ වේදිකාව කියන කලා මාධ්‍ය භාවිත කළේ අවම වශයෙන්. කපුටු කොහෝ ගත් විට එය වේදිකාවක්ම තමයි. මෙහිදී සිනමාශාලාව තුළ අසුන්ගෙන තිරය මත නරඹන්නේ වේදිකා නාට්‍යයක්. මෙය ශ්‍රී ලාංකේය සිනමා රසිකයන්ට නවමු අත්දැකීමක්. වෙනත් රටවල මෙවැනි නිර්මාණ අපිට දකින්න පුළුවන්. මගේ ශාස්ත්‍රපති උපාධිය සඳහා මම මේ විෂය පිළිබඳව හැදෑරුවා. එහිදී වේදිකා කලාව සිනමා තිරයට ගෙන එන්නේ කෙසේද කියන දෙය මම හැදෑරුවා. මෙය අපේ ප්‍රේක්ෂකයන්ට නුහුරු ගතියකුත් පෙනෙන්න තිබෙනවා. ඇතැම් පිරිස මෙය වේදිකා නාට්‍යයක් ලෙසත් හඳුන්වනවා. මෙය ප්‍රේක්ෂකයාට කැමැති විධියට රසවිඳින්න පුළුවන්. මෙය අපිට හුරුපුරුදු සාම්ප්‍රදායක සිනමාව නොවේ ඊට වඩා වෙනස් දෙයක්.
මේ සිනමාපටය තුළ සංගීතමය සිනමා ශානරයේ ලක්ෂණ බෙහෙවින් අඩංගු වී තිබෙනවා ඒ ගැන කතා කරමු?
මෙම නිර්මාණය සංගීතමය නිර්මාණයක් කියන්න පුළුවන්. එපමණක් නොවේ නර්තනයත් මෙහි විශාල අංගයක්. මෙය මගේ අත්හදා බැලීමක් ඒ වගේම පර්යේෂණයක්. මෙහි ගීත 26ක් තිබෙනවා. ගීත 26ක් තිබෙන සිනමාපටයක් ලාංකේය ඉතිහාසයේ නැහැ. මේ සිනමාපටය එවැනි සංගීතයක් ඉල්ලා සිටිනවා. එය තමයි මගේ රටාව. ඒ ගීත සඳහා පාදක කරගෙන තිබෙන්නේ වන්නම්, ශාන්තිකර්ම, බඹර කවි, වැලපුම් කවි, කරත්ත කවි වැනි දේවල්. මෙහි සංගීත කටයුතු මට විශාල අභියෝගයක් වුණා. රූගත කිරීම්වලටත් වඩා එය මට විශාල අභියෝගයක් වුණා. මෙය වෙනුවෙන් අපි විශාල කැප කිරීමක් සහ පිරිවැයක් දැරුවා.
මෙහි රංගන ශිල්පි, ශිල්පිනියන්ට රංගනයට එහා ගිය දායකත්වයක් ලබා දීමට සිදු වුණා ඒ ගැන කියනවා නම්?
මේක අපි එකවරම දර්ශන තලයට ගිහින් මේ විධියට රඟපාන්න කියලා උපදෙස් දෙන ආකාරයේ වැඩක් නෙවෙයි. මෙහිදී එම රංගන ශිල්පී ශිල්පිනියන් ගායනය සහ නර්තනය සම්බන්ධයෙන් පෙර පුහුණු වීම් සිදු කිරීම අනිවාර්ය කාරණාවක්. අපි මුලින්ම ගීත පටිගත කිරීම සිදු කළා. ඉන් අනතුරුව අපි අනෙක් කටයුතු සිදු කළේ.
මෙම සිනමාපටයෙහි යටිපෙළ තුළ විසල් දේශපාලන කතිකාවක් තිබෙනවා ඒ පිළිබඳව ඔබේ අදහස?
මේ පිළිබඳව කතා කිරීම තමයි මගේ ප්‍රධානම ඉලක්කය වුණේ. අපි මීට පෙර කතා කළ දේවල් වගේම මෙහි තිබෙන යටි පෙළ තමයි මට වැදගත්ම දෙය වෙන්නේ. වර්ග වාදය කියන දෙය අපේ රටේ විශාල ව්‍යසනයක් බවට පත් වෙලා. ජාතිය, ආගම, භාෂාව, දේශපාලන පක්ෂය අනුව අපි එකිනෙකා ඇන කොටා ගන්නවා. මේ දේවල් තුළින් මිනී මරා ගෙන යුද්ධ කරන සමාජයක් තමයි අපිට පුරුදු වෙලා තිබෙන්නේ. මේ දේවල් දේශපාලනඥයන්ගේ ආත්මාර්ථකාමී අවස්ථාවාදී අවශ්‍යතා මිස අපේ මිනිසුන්ට වුවමනා කළ දේවල් නෙවෙයි. අපි සියවස් ගණනාවක් එක්ව ජීවත් වුණා. දශක ගණනාවකට පෙර තමයි අපිව බෙදලා වෙන් කළේ. අපි මෙය වටහා ගත යුතුයි. අපි එක තැනක ඉපදුණා නම්, එක තැනක හැදුණා නම් ඇයි අපිට එකට ඉන්න බැරි. අපි අතර වෙනස්කම් තිබෙනවා. කැලෑවක වුණත් පිපෙන මල් එක වගේ නැහැ. ඒ මල්වල විවිධ පැහැයන්, විවිධ සුවඳවල්, විවිධ හැඩ තිබෙනවා. අපිට මේ හැම මලම අවශ්‍යයි. අපි ඔක්කොම එකාවන්ව සිටින්න අවශ්‍යයි. අපි ඇන කොටා ගන්න අවශ්‍ය නැහැ.
විසිපස් වසරක සිනමා ගමන ගැන ආපසු හැරී බලන විට සිතෙන්නේ කුමක්ද?
මම සිනමාව ආරම්භ කළේ 2000 වර්ෂයේදී. ඒ යුගයේදී මිනිසුන් සිනමාවෙන් ඈත් වෙමින් සිටියා. වර්ගවාදී යුද්ධය නිසා සිනමාශාලා විශාල වශයෙන් වැසී ගියා. දමිළ සිනමා නිෂ්පාදකවරු, සිනමාශාලා හිමියන් අපිට නැති වුණා. සිනමාශාලා ගිනි තබලා, සිනමාශාලා වසා දමලා, සිනමාශාලාවලට මිනිසුන් ආපු නැති නිසා සිනමා කර්මාන්තය කඩා වැටුණා. සිනමා ශිල්පීන් මේ යුගයේදී සිනමාවෙන් ඈත් වුණා. ඒ කාලේ මම සරෝජා කරනකොට මගෙන් ඇහුවා ඇයි ඔය වගේ දේවල්වලට සල්ලි යොදවන්නේ කියලා. කොහොම හරි සිනමාශාලා විවෘත වෙලා, සිනමාශාලාවල අසුන් ප්‍රේක්ෂකයන්ගෙන් පිරෙන්න ගත්තා. ලාංකේය සිනමාව වෙනුවෙන් මම කළ කැපකිරීමට රටේ ප්‍රේක්ෂකයන්ට යම් දෙයක් ලැබී තිබෙනවා කියන දෙය ඔවුන්ට මම යම් දෙයක් දායාද කර තිබෙනවා කියන දෙය මට වැටහී තිබෙනවා.