සමහරු පිටකවරය බලලයි කතා කියන්නේ- සවිනි යකුපිටිය

 



සවිනි යකුපිටිය නම් නවක සුරූපී රංගන ශිල්පිනිය මේ දිනවල නැවතත් පුංචි තිරය හරහා දකින්න ලැබෙනවා. ප්‍රේක්ෂක ආදරය නොඅඩුව දිනාගත් ඇය පණ පොවන ”මාස්ටර් සර්” ටෙලි නාට්‍යයේ ”අසිනිගේ” චරිතය ගැන නොදන්නා කෙනකු නම් නැති තරම්. ඉතින් මෙවර හදගැස්මට ඇය එක් කළ සොඳුරු කතාබහයි මේ.


මේ දිනවල ඔබේ කාලය ගෙවී යන්නේ කොහොමද? 


මේ දවස්වල මගේ කාලය වැඩිපුරම ගෙවෙන්නේ මාස්ටර් සර් ටෙලි නාට්‍යයේ වැඩකටයුතුත් එක්ක තමයි. ඒ ටෙලි නාට්‍ය හිරු නාළිකාව ඔස්සේ නරඹන්න පුළුවන්. ඊට අමතරව වෙළෙඳ දැන්වීම්වල වැඩකටයුතුත් කරනවා. ඒ වගේම ෆිල්ම් එකකත් ෂූටින් පටන් අරගෙන තිබෙනවා. ඒ වැඩ කටයුතුත් එක්ක තමයි ඉතින් ඉන්නේ.


ඔබ ටික කලක් ක්ෂේත්‍රයේ නිර්මාණ තුළ දකින්නට ලැබුණේ නෑ. ඊට විශේෂ හේතුවක් තිබුණාද?


මම නිර්මාණයකට දායක වෙද්දී චරිත තෝරා බේරා ගැනීමේදී ටිකක් වැඩිපුර හිතනවා. ඒත් එක්ක මට ලැබුණු නිර්මාණවල ආරාධනා බලාපොරොත්තු වුණ විධියේ චරිත නෙවෙයි. ඒ නිසා මම පසුගිය කාලයේ ගොඩක් නිර්මාණ ප්‍රතික්ෂේප කළා. ඒ හේතු එක්ක තමයි පහුගිය කාලයේ නිර්මාණ තුළ මාව වැඩිපුර දකින්න නොලැබුණේ. 


සාර්ථක රංගනයකට පසු එවැනිම චරිතවලට රංගන ශිල්පීන් කොටුවන ස්වභාවයක් තිබෙනවා නේද?


ඔව්. අපේ ලංකාවේ ඒ දේ කොහොමත් දකින්න ලැබෙන දෙයක්. එක චරිතයක් හොඳින් සාර්ථකව කළාම දිගටම ලැබෙන්නේ ඒ වගේම චරිත. ඒ වගේම චරිත එකදිගටම භාර ගැනීමෙන් ප්‍රේක්ෂකයන් වුණත් හිතන්නේ ඇය වැඩිපුර දක්ෂ මේ වගේ චරිතවලට විතරයි කියලා. නමුත් ඔවුන්ගේ තවත් දක්ෂ පැති තිබෙන්න පුළුවන්. එකම වගේ චරිත ලැබීමෙන් වෙනත් දක්ෂ පැති පෙන්වන්න විධියක් නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි විවිධාකාර වෙනස් විධියේ චරිතවලට රංගන දායකත්වය දෙන්න උත්සාහ කරන්න ඕනෑ. ඒ හේතුව නිසාම තමයි මමත් කාලයක් නිහඬව ක්ෂේත්‍රයේ හිටියේ.


මාස්ටර් සර් ටෙලි නාට්‍යයේ අසිනිගේ චරිතය මේ දිනවල කතාබහට ලක්වන චරිතයක් නේද?


ඇත්තටම මාස්ටර් සර් ටෙලි නාට්‍යයේ තිබෙන්නේ උසස් පෙළ පන්තිවල ඉගෙන ගන්න ළමයකුගේ කතාවක්නේ. අසිනි කරන්නේ ඒ වයසේ ඉන්න ළමයකු කරන වැඩවලට වඩා ගොඩක් වෙනස් ඍණාත්මක විධියේ දේවල්නේ.ඒවත් එක්ක සමාජයෙන් මේ කැරැක්ටර් එකට බැණුම් අහන්න වෙලා තිබෙනවා. නමුත් මේ කැරැක්ටර් එකෙන් ඒ වයසේ ළමයන්ට ආදර්ශ ගොඩක් ගන්න පුළුවන්. 


ප්‍රවීණ රංගන ශිල්පීන් හා එකට වැඩ කිරීමේදී ගොඩනැඟෙන අන්‍යෝන්‍ය බැඳීම කොහොමද?


ඇත්තටම ප්‍රවීණ රංගන ශිල්පීන්ගෙන් අපට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඔවුන් සමඟ එකට වැඩ කිරීමේදී ඔවුන් දිහා බලලා ඉගෙන ගන්න පුළුවන් දේවල් තිබෙනවා. ඒ වගේම ඔවුන් අපට උගන්වන දේවලුත් තිබෙනවා. ඔවුන්ගේ අත්දැකීම්, මුල් කාලයේ වුණු සිදුවීම් වගේ දේවල් අපිත් එක්ක බෙදා ගන්නවා. ඒ දේවල් ගොඩක් වටිනවා. ඇත්තටම ලොකු සහයෝගයක් ඔවුන්ගෙන් ලැබෙනවා. 


ඔබේ රංගන කුසලතා වැඩිදියුණු කර ගැනීමට ස්වයං අභ්‍යාස කරනවාද? 


ඔව්. අනිවාර්යෙන්ම ස්වයං අභ්‍යාස කරන එක රංගන ශිල්පියකුට හෝ ශිල්පිනියකට ගොඩක් වැදගත්. කාර්යබහුලත්වයත් එක්ක රංගන පාඨමාලා වගේ දේවල්වලට සම්බන්ධ වෙන්න අමාරුයි. නමුත් ඒ වගේ වෙලාවට ස්වයං අභ්‍යාස කරන එක රංගන ශිල්පියකුට හෝ ශිල්පිනියකට තමන්ගේ රංගන කුසලතා වැඩිදියුණු කර ගැනීමට ගොඩක් වැදගත් වෙනවා. 


සමාජ මාධ්‍යය තුළ දැන් දැන් කලා නිර්මාණ විචාරය මෙන්ම විවේචනයත් සිදුවෙනවා ඔබේ අදහස?


සෝෂල් මීඩියාවල දැන් දැන් බොහෝවිට අදහස් ප්‍රකාශ කරන්නේ නිර්මාණයක ඇතුළාන්තය බලලා නෙවෙයි. නිර්මාණයක පිටකවරය බලලා, වචනයක් අල්ලාගෙන සමහර දේවල් කියනවා. පහුගිය කාලයේ මාස්ටර් සර් ටෙලි නාට්‍යයේ මගේ පොඩි වීඩියෝ කොටසක් වයිරල් වුණා. ඒ කොටසේ ක්ලාස් එකේදී සර්ව වැලඳගැනීමක් තමයි තිබුණේ. ඒ සිදුවීම සමාජ මාධ්‍ය හරහා ඒ තරම් පැතිරී ගියේ එතැන සිදුවුණේ සිසුවියක් සර්ව වැලඳ ගැනීමක් කියන කාරණය නිසා. නමුත් ඒ සිදුවීම ඇතුළේ ලොකු කතාවක් තිබෙනවා. ඒ ළමයා සර්ව වැලඳගැනීමට, ඒ විධියට හැසිරීමට හේතු වුණ ලොකු කතාවක් එහි තිබෙනවා. නමුත් පිටකවරය බලලා තමයි සමහරු අදහස් දක්වන්නේ සහ ඒ දේවල් මාර්කට් කරන්නේ. සෝෂල් මීඩියා තුළ පළවන දේවල් දෙස සමබරව බලලා හොඳ දේ ගන්න අපි දැනගන්න ඕනෑ.


නව පරපුරේ බොහෝ රංගන ශිල්පීන් කෙටි කලකින් ජනප්‍රිය වුවද ක්ෂේත්‍රයේ රැඳෙන්නේ නෑ නේද?


ඉස්සර කාලයේ කලා ක්ෂේත්‍රයට එන්න හරිම අමාරුයි. ඒ කාලයේ ක්ෂේත්‍රය තුළ හරි සීමිත රංගන ශිල්පීන්, ශිල්පිනියන් ප්‍රමාණයක් තමයි හිටියේ. දැන් ක්ෂේත්‍රයට ඒමට ගොඩක් දොරටු විවර වෙලා තිබෙනවා. ටික් ටොක් වීඩියෝ එකක් වයිරල් වුණත් ෆීල්ඩ් එකට එන්න අවස්ථාවක් ලැබෙන්න පුළුවන්. නමුත් එහෙම ආවත් එතැන රැඳෙනවාද කියන එක තීරණය වෙන්නේ තමන්ගේ හැකියාව සහ අත්දැකීම් මතයි. එහෙම එකපාර ක්ෂේත්‍රයට ආපු අයත් ඉන්නවා. නමුත් ක්ෂේත්‍රයේ රැඳෙන අය තමයි අපේ ක්ෂේත්‍රයට ඕනෑ. රංගනය ගැන හැදෑරීමක් කරලා ක්ෂේත්‍රයට ආවොත් තමන්ට ගමනක් යන්න පුළුවන්.


ඔබ රංගනයෙන් දායක වී තිබෙන දමිළ චිත්‍රපටය ගැනත් කියමු?


ඒ නිර්මාණයේ ෂූටින් ගිය අවුරුද්දේ කළේ. දැන් සංස්කරණ කරමින් තමයි තිබෙන්නේ. ඒ ගැන ලොකු විස්තරයක් දෙන්න අමාරුයි. ඒ නිසා ඒ ගැන දැන්ම වැඩිපුර කතා නොකර ඉමු. 


ඔබේ ඉදිරි නිර්මාණ වැඩකටයුතු ගැනත් මතක් කරමු? 


ඉදිරියේදී නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබිලා තිබෙනවා. චිත්‍රපටයක වැඩකටයුතු මේ දිනවල කරගෙන යනව. ඊට අමතරව මාස්ටර් සර් ෂූටින්වලට යනවා. ඒ වැඩ කටයුතු තමයි. 


රුවිනි අමරකෝන්



Previous Post Next Post