අරුන්දතී රෝයි කිව්වා මගේ හඬ භාවනාවක් වගේ කියලා-උපුල් ගුරුගේ

 



කලාවේ සකල විධ මානයන් සොයා යමින් තම නිර්මාණ හරහා ජන මනස ස්පර්ශ කරන්නට උත්සාහ දරන ඔහුගේ නවමු වෑයම වන්නේ ගීත ගායනයයි. රචකයෙක්, පූරකවරයෙක් හා මාධ්‍යවේදියෙක් වශයෙන් කටයුතු කරන උපුල් ගුරුගේ නම් වූ ඔහු හදගැස්ම සමඟින් කළ කතාබහයි මේ.


කලාව ඇතුළේ ඔබේ භූමිකාව බොහොම පුළුල්. ඔබ ඔබව හඳුන්වනවට කැමැති කොයි ආකාරයෙන්ද?


මම කලාවේ විවිධ ඉසව් ස්පර්ශ කරන්න කැමැති කෙනෙක්. පූරකවරයෙක්, පිටපත් රචකයෙක්, දරුවන්ට කතන්දර කියා දෙන්නෙක්, දරුවන්ට ළමා සාහිත්‍ය කෘති රචනා කරන්නෙක්, නවකතාකරුවෙක්, චරිතාපදාන ලියන්නෙක්, මාධ්‍යවේදියෙක්, රංගන ශිල්පියෙක්, ගායකයෙක් වගේ මේ කලාවේ විවිධ ඉසව් හඹා යමින් නිර්මාණාත්මක සන්නිවේදනය සොයා යන්නෙක් විධියට තමයි මම මාව හඳුන්වන්න කැමැති.


ඔබේ අලුත්ම නිර්මාණ වෑයම ගැන කතා කරමු?


ඇත්තටම මම මේ දිනවල ගායනයට යොමුවෙලා ඉන්නවා. ඒ අනුව මගේ  අලුත්ම ගීතය වන “කාගේ හරි හිතක අපි කාන්දම් නොකියාම” ගීතය මේ දිනවල නිකුත් කරන්න සූදානමින් ඉන්නවා. මෙහි පද රචනය ගවේශ් කලරු කියලා කැලණි සරසවියේ විද්‍යාර්ථයෙක්. තනුව මගේ. මෙහි සංගීතය තරිඳු ජයතිලකගේ. මම මේ ගීතය  දකින්නේ  මිනිසුන්ගේ හදවතට ගයන ගීතයක්  විධියට. අපේ ජීවිත කාලය තුළ අපි එක් වතාවකට හෝ කාට හරි පුද්ගලයෙක්ට කාන්දමක් වගේ සිතින් ඇලෙනවා. අන්න ඒ ජීවිත යථාර්ථය තමයි මේ ගීතයේ තියෙන්නේ.


මේ විධියට ගායනයට යොමු වෙන්නේ  මහා ලේඛිකා අරුන්දතී රෝයිගේ ඉල්ලීමකට අනුව කියන්නේ ඇත්තද?


ඇත්තටම මට අවස්ථාව ලැබුණා සාර්ක් ලේඛක සමුළුවට සහභාගි වෙන්න. එහිදී පැවැති විවිධ වැඩසටහන්වලදී මම අපේ ජන ගී, සීගිරි ගී වගේ ඒවා ගායනා කළා. ඔන්න ඔය විධියට මම ගායනා කරනවා අහගෙන හිටපු බොහෝ දෙනා මගේ ගායනය බොහොම ඇගයුමට පත් කළා. මට බෙංගාලි, උර්දු වගේ විදෙස් භාෂා පුළුවන්, එක්තරා අවස්ථාවකදී හද්‍රාබාද් ප්‍රදේශයේදි උර්දු ගීතයක් ගායනා කරලා මට බොහොම ප්‍රතිචාර තිබුණා. ඔන්න ඔය වගේ මම ගායනා කරනවා අහගෙන හිටපු එක්තරා අවස්ථාවකදි තමයි මහා ලේඛිකා අරුන්දතී රෝයි මට “ඔයාගේ හඬ භාවනාවක් වගේ ඔයා ඔය ලියන එක නතර කරලා ගායනයට යොමු වෙන්න” කියලා සඳහන් කළේ. ඉතිං ඒ වගේ ලැබුණු ප්‍රතිචාර බොහොමයක් මම නැවත වතාවක් සංගීතයට යොමු වෙන්න බලපෑවා.


අතරමඟදී මඟහැරුණත් කලාවේ ඔබේ ආරම්භය සංගීතය නේද?


ඔව් ඇත්තටම මම උසස් පෙළ අවසන් කරලා විශ්වවිද්‍යාලයට යන්න සූදානමින් ඉද්දි මම දකිනවා පත්තරේ දැන්වීමක් දාලා තියෙනවා කේමදාස පදනමට සිසුන් බඳවා ගන්නවා කියලා. ඒ වෙද්දි මම ඉන්දියානු ශාස්ත්‍රීය සංගීතය පමණයි හදාරලා තිබුණේ. මම ඒ වන විට භාත්කණ්ඩ, විශාරද වගේ විභාගවලට පෙනී ඉඳලා ඒ අවබෝධය ලබාගෙන සිටියේ. නමුත් කේමදාස මාස්ටර් ගාවට ගියාට පස්සේ එය වෙනස් ආකාරයක්. එහි තිබුණේ  අපි දන්න සාම්ප්‍රදායික සංගීතය නෙවෙයි. එහි ඉගැන්වීම් සිදුකළේ ව්‍යවහාරික සංගීතය පිළිබඳව, උදාහරණයක් විධියට අපේ ජන ගී ගත්තොත් ඒ ජන ගී කොහොමද ලෝකයට අරගෙන යන්නේ වගේ කාරණා තමයි එහි මම ඉගෙනගත්තේ. ඒ වගේම ගායනාවකට හැඟීම් මුසු කරන ආකාරය ඉගෙන ගත්තේ එතැනින්. ඔය අතරතුර කේමදාස මාස්ටර්ගේ  ඔපෙරා, කැන්ටාටා වගේ විවිධ නිර්මාණවලට දායක වුණා. ඒ ඇසුර සමඟින් තමයි ලෝකේ මෙහෙම දේවල් තිබෙන බව මම දැනගත්තේ.


එතරම් දේවල් හදාරලා ඇයි එකපාරම සංගීතයෙන් ලේඛනයට යොමු වෙන්නේ ?


ඔය අවස්ථාවේදී තමයි මම ආචාර්ය කේමදාසයන්ගේ සංගීත ජීවිතය පිළිබඳව සඳහන් වන ” සංගීතයේ හෙට දවස: කේමදාස” කියන මගේ පළමුවැනි කෘතිය රචනා කරන්නේ. එය රචනා කිරීමත් සමඟ ඇති වුණු උත්තේජනයෙන් මගේ ගමන් මඟ සංගීතයෙන් ග්‍රන්ථකරණයට යොමු වෙනවා, අද වෙද්දි මම ළමා, යොවුන්, නව කතා ආදී ග්‍රන්ථ විශාල ප්‍රමාණයක් රචනා කරලා තිබෙනවා.


ඔබ ළමා සාහිත්‍ය කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වන්නෙක්?


ඇත්තටම මම දරුවන් වෙනුවෙන් පොත් සැලකිය යුතු ප්‍රමාණයක් ලියලා තියෙනවා. ඒ වගේම අද වෙද්දි දරුවන්ට ගීත පෙළක් නිර්මාණය කිරීමේ කටයුත්තක නිරත වෙලා ඉන්නවා. මොකද අද වෙද්දි ළමා ගීත ඇහෙන්නේ නැති තරම්. අද වෙද්දි ළමා රියැලිටි තරගවල පවා දරුවන් ගායනා කරන්නේ වැඩිහිටි ගීත. මේ හේතුව නිසා තමයි මම ළමා සාහිත්‍යකරණයට යොමු වුණේ.


ලංකාවට සාපේක්ෂව ලෝකයේ වෙනත් රටවල දරුවන් වෙනුවෙන් පොත්, ගීත නිර්මාණය වනවා නේද?


ඔව් ඇත්තටම, අපිට එපිටින් ලෝකයේ බෙඩ් ටයිම් ස්ටෝරි සංකල්පය බොහොම හොඳින් ක්‍රියාත්මක වනවා. නමුත් අපේ දරුවන් බොහෝ විට ළමා සාහිත්‍යයෙන් ඈතට ගිහින් වැඩිහිටි කලා නිර්මාණ තමයි ඇසුරු කරන්නේ. අපේ දරුවන් මේ විධියට යාන්ත්‍රික වෙන්නත් වෙනත් රටවල දරුවන් නිර්මාණශීලී වන්නත් මේ පවතින තරගකාරී අධ්‍යාපන රටාව හේතුවක්. මම මේ නිසාම දරුවන් උදෙසා නිර්මාණ කුසලතා ඔප්නංවන විවිධ වැඩසටහන් පවත්වනවා. පවතින රටාව ඇතුළේ නිර්මාණය වන ආත්මාර්ථකාමී, හුදකලා වුණු දරුවන් ඉන් මුදා ගැනීම තමයි එහි අරමුණ.


අවසන් වශයෙන් ඔබේ මේ නව ගීතය කවදා වෙද්දි රසිකයන්ට අහන්න ලැබෙයිද කියන කාරණයත් සිහිපත් කරමු?


ඇත්තටම මට අවශ්‍ය සුපර්ස්ටාර් කෙනෙක් වීමට නෙවෙයි. මගේ තිබෙන හැකියාවන්ගෙන් කලාව පෝෂණය කිරීම තමයි මගේ අරමුණ. මේ වෙද්දි මගේ මේ ගීතය වගේම තවත් ගීත කිහිපයක් නිර්මාණය කෙරෙමින් පවතිනවා. නුදුරේදීම  මෙම ගීතය රසිකයන්ට අසන්නට හැකිවේවි.



Previous Post Next Post