මම කිසිම ගුරුවරයෙක්ව අනුකරණය කරන්නේ නෑ-විශ්ව කොඩිකාර

 




උපතින්ම  රැගෙන ආ උරුමය අනුව කලාවට පිවිසි ඔහු ගෙවුණු දශකයේ ටෙලි තිරයේ ජනප්‍රියම පෙම්වතා වූයේ දහස් සංඛ්‍යාත වූ ප්‍රේක්ෂක හදවත් දිනා ගනිමිනුයි. මේ දිනවල මාස්ටර් සර් සමඟින් නැවත වතාවක් කතාබහට බඳුන්ව සිටින ඔහු නමින් විශ්ව කොඩිකාරයි.


මාස්ටර් සර්ට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


මෙතෙක් මම කරපු නිර්මාණවලින් මට වෙනස් ප්‍රතිචාර ලැබෙන නිර්මාණයක් විධියට මාස්ටර් සර් හඳුන්වන්න පුළුවන්. හොඳ නරක දෙකම ප්‍රතිචාර විධියට ලැබෙන ඒ නාට්‍යයේ එක තැනක පන්තියේ ඉගෙන ගන්න දරුවෙක් සර්ව වැලඳගන්න අවස්ථාවක් තිබෙනවා. ඒ දර්ශනයේදී පිරිසක් එයාට බැණලා තිබුණා. කොහොම වුණත් මම හිතනවා මේ වගේ නාට්‍යයක් කෙරෙන පළමු වතාව මේක. විශාල පිරිසක් නාට්‍යය එක්ක එකතු වෙලා ඉන්නවා. ඒ ගැන බොහොම සතුටුයි.


ඇතැමුන් සිතනවා ඔබ මේ නිරූපණය කරන්නේ ඇත්තම ටියුෂන් ගුරුවරයෙක්ව කියලා?


අපි මෙතැනදි  කිසිම ගුරුවරයෙක්ව අනුකරණය  කිරිමක් කරන්නේ නැහැ. මම මෙතැනදි නිරූපණය කරන්නේ සිංහල ගුරුවරයෙක්ගේ පොදු භූමිකාව. එතැනදි කිසිම කෙනෙක්ගේ චරිතයක් ඇසුරෙන් මේ නිර්මාණය සිදු වෙන්නේ නැහැ. මේ චරිතය හරහා මම නිරූපණය කරන්නේ දරුවන්ට ඉගැන්වීම ජීවිතය කරගත්ත ගුරුවරයෙක්ගේ චරිතයක්.  මේ චරිතය පන්ති කාමරය තමන්ගේ ජීවිතය කරගත්ත, දරුවන්ට ඉගැන්වීම් සිදු කරලා සතුටක් ලබන, තමන්ගේ බිරිය සල්ලි පස්සේ යද්දි දරුවන්ට ෆ්‍රී කාඩ් දෙන විධියේ ගුරුවරයෙක්ගේ චරිතයක්. එතැනදි කිසිම ගුරුවරයෙක්ව පෞද්ගලිකව අනුකරණය කරන්නේ නැහැ. නමුත් මේ රටේ ඉන්න කෝටි දෙක ඇතුළේ මේ වගේ ගුරුවරු ඉන්න පුළුවන්.


අද වෙද්දි සමාජ මාධ්‍ය කියන කාරණය ටෙලි නාට්‍ය සඳහා ප්‍රේක්ෂකාගාරයක් හදන වේදිකාවක් බවට වෙලා මේ ගැන කතා කළොත්?


ඇත්තටම අපි ඉස්සර එක ටෙලි නාට්‍යයක් ඉවර වෙද්දි ඊළඟට යන කතාව ගැන දැන ගත්තේ එක්කෝ කටවුට් එකකින් නැත්තම් ටීවී එකේ රේඩියෝ එකේ යන ඇඩ් එකකින්. නමුත් අද වෙද්දි සමාජ මාධ්‍ය හරහා මේ සියල්ල ප්‍රේක්ෂකයාට ඉතාමත් සමීප වෙලා. එය ඉතාමත් හොඳ කාරණයක්.


කාලෙකට පෙර විදෙස් නාට්‍ය වෙනුවෙන් හැදිලා තිබුණු මෙරට ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකාගාරය නැවතත් අපේ නිර්මාණ දෙසට හැරිලා තිබෙනවා, මේ තත්ත්වය දිගටම පවතියිද?


ඇත්තටම අද වෙද්දි මෙරට ටෙලි නාට්‍ය ගැන ප්‍රේක්ෂකයන්ගේ ලොකු උනන්දුවක් ඇති වෙලා තිබෙනවා. කාලයකට කලින් ඉන්දියානු නාට්‍ය ගිලගෙන හිටපු අපේ ප්‍රේක්ෂකාගාරය නැවත අපි දෙසට හරවගත්තේ පබා සහ බට්ටි වැනි ටෙලි නාට්‍ය හරහා. එදා සාන්ත සොයිසා, මහේෂ් සත්සර මද්දුමආරච්චි වගේ පිරිස ස්වාධීන රූපවාහිනිය සමඟ ඇති කරපු මේ රැල්ල ආපහු කාලෙකදි බිඳ වැටිලා නැවතත් ඉන්දියානු ටෙලි නාට්‍යවලට අවධානය වැඩිවනවා. කොහොම වුණත් නැවත වතාවක් මෑතකාලීනව අපේ නිර්මාණවලට ප්‍රේක්ෂකයන්ගේ වැඩි අවධානයක් ලබාදෙන තත්ත්වයක් පේන්න තිබෙනවා. ඒක ඉතාම හොඳ තත්ත්වයක්. මොකද අපේ රටේ ඉතාම හොඳ අධ්‍යක්ෂවරු, තිර පිටපත් රචකයන්, නිෂ්පාදකයන්, දක්ෂ ශිල්පීන් මේ සියල්ල ඉන්නවා. ඒ වගේම අපේ හොඳ නිර්මාණ කෙරෙනවා. මෙතැනදි නාළිකා සියල්ල අපේ රටේ නිර්මාණවලට මුල් තැන දෙනවා නම් ඒක මේ රටේ කලාවේ දියුණුවට විශාල උපකාරයක් වෙයි.


මේ දිනවල සිනමාවේ වැඩකටයුතු සිද්ද වෙන්නේ කොයි ආකාරයෙන්ද?


මම මේ දිනවල ”සිහින සේයා” කියලා චිත්‍රපටයකට දායක වුණා. අජිත් ධර්මසූරියගේ දෙවැනි සිනමා නිර්මාණය. මේ අවුරුද්දේ බොහෝදුරට එය තිරගත වෙයි කියන බලාපොරොත්තුව තියෙනවා.


ඔබේ පියා ප්‍රකට සිනමා අධ්‍යක්ෂවරයෙක්, එහෙම තත්ත්වයක් මත ඔබ සිනාමාවේ සක්‍රිය වුණු ප්‍රමාණය මදි කියලා හිතෙන්නේ නැද්ද?


ඇත්තටම ගොඩක් අය කැමැති සිනමා නිර්මාණවලට සම්බන්ධ වෙන්න. නමුත් මගේ තාත්තා මට කියලා තියෙනවා. ඔයාට රඟපාන්න ආසයි නම්, මිනිස්සු අතරට යන්න අවශ්‍ය නම් සිනමා නිර්මාණ අඩුවෙන් සිදුවෙන කාලෙක ටෙලි නාට්‍යවලට දායක වෙන්න පැකිළෙන්න එපා කියලා. නමුත් කිසිම නිර්මාණයකට වෙනස් වෙනස් ආකාරයට සලකන්න එපා කියන දේත් ඔහු මට කිව්වා. සිනමා නිර්මාණයකට වේවා, ටෙලි නාට්‍යයකට වේවා මොන නිර්මාණයක් වුණත් එකම විධියට කැපවීමෙන් දායකත්වය දෙන්න කියන දේ තමයි ඔහු කිව්වේ.


නවක රංගන ශිල්පීන්, ශිල්පිනියන් තුළ කැපවීම අඩුයි කියන චෝදනා එල්ල වනවා, මේ ගැන ඔබේ අදහස මොකක්ද?


මගේ පියා, කලාවේ මගේ ගුරුවරු මේ හැමෝම මට කියලා දීපු දෙයක් තියෙනවා. ඒ තමයි වෙලාවට වැඩ කරන්න, නිර්මාණයේදී තමන්ගේ සහාය සම්පූර්ණයෙන් ලබා දෙන්න සහ මොනයම් හෝ ගැටලුවක් තිබෙනවා නම් අදාළ පාර්ශ්ව කල් ඇතුව දැනුවත් කරන්න කියන දේ. එතැනදි පළමුවැනි කාරණය විනය, ඒ වගේම වැදගත්ම දේ තමයි ප්‍රේක්ෂකයන්ට ආදරය කරන්න කියන දේ. ප්‍රේක්ෂකයන් තමයි කලාකරුවාව ආරක්ෂා කරන්නේ. කලාකරුවා හා දේශපාලකයා  කියන දෙන්නම රැකෙන්නේ මහ ජනතාව නිසා. ඒ නිසා ඔවුන්ව සතුටු කරන එක තමයි පළමු වගකීම.


මේ අලුත් දේශපාලන රටාව ඇතුළේ කලාවට යහපතක් වෙයිද?


කවුරු කොතැනට ආවත් අපේ බලාපොරොත්තුව රටට යහපතක් වේවා කියන එක. මේ ආණ්ඩුව බලයට පත්වෙලා තවම වැඩි කාලයක් නැහැ. ඒ වගේම මේ ඔවුන් බලයට පත්වුණු පළමු අවස්ථාව. මගේ සිතුවිල්ලට අනුව එක රැයින් වෙනසක් දකින්න බැරි නිසා ඔවුන්ට තව කාලයක් යන්න දෙන්න ඕනෑ. අවුරුද්දක් දෙකක්වත් ගියාට පස්සේ තමයි අපිට වෙනසක් දකින්න වෙන්නේ. 


අවසන් වශයෙන් ආදරණීය බිරිය සහ දරුවන් ළඟ නැතිව ගෙවෙන ජීවිතේ ගැනත් මතක් කරමු?


ඇත්තටම මාරම දුකක් ඒක. දැන් මේ ටිකකට කලිනුත් එයාලා මට කතා කළා. අඩුම ගානේ දවසට හය වතාවක් විතර ඔවුන් මට කතා කරනවා. රටේ තිබුණු අයහපත් තත්ත්වයත් එක්ක දරුවන්ගේ අධ්‍යාපනය සඳහා තමයි ඔවුන් විදෙස්ගත වුණේ. මොකද බිරියට  ඕස්ට්‍රේලියානු පුරවැසි භාවය තියෙනවා. ඒ අනුව තමයි ඔවුන් එහි ගියේ. මමත් ඉතින් වසරකට වරක් දෙවරක් එහේ ගිහින් ඔවුන් සමඟ කාලය ගත කරනවා.



Previous Post Next Post