ජීවිතය කියන්නේ ෆැන්ටසියක්. ඔව්, දියවෙන්න කලින් රසවිඳිය යුතුම ෆැන්ටසියක්. මේ දිනවල දකින දකින අත දිය වෙන්නට කලින් නැරැඹිය යුතුම සිනමාපටයක් ගැන කතාබහක් ඇති වෙලා. අද අපේ කතාබහ ඒ සිනමාපටයේ නිර්මාණකරුවා සමඟයි. ඔහු රංගනයෙන්ද, තිරපිටපත් රචනයෙන්ද, අධ්‍යක්ෂණයෙන්ද ප්‍රේක්ෂක සිත් වෙනත් මානයකට කැඳවාගෙන ගිය කලාකරුවෙක්. තම නිර්මාණවලින් ත්‍රෛලෝකයම කැලඹූ ඔහු තාරුණ්‍යයේ සැබෑ රිද්මය හඳුනාගත් මිනිසෙක්. අද හදගැස්ම හා එක් වන්නේ අධ්‍යක්ෂ ප්‍රදීප් ධර්මදාස.
මේ දවස් ගෙවී යන්නේ කෙසේද?
මේ දවස් මගේ කුලුඳුල් සිනමාපටය වන අයිස්ක්‍රීම් සිනමාපටයේ වැඩකටයුතු සමඟ ගෙවී යනවා. ඉතින් පූර්ණකාලීනවම මේ සිනමාපටයේ ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් කැපවෙනවා. මේ දවස් ගෙවී යන්නේ ඒ විධියට.
ඔබේ කුලුඳුල් සිනමාපටය වන අයිස්ක්‍රීම් නිර්මාණය වූ අයුරු ගැන කියමු?
ඒ කාලයේ පටන්ම මට සිනමා අධ්‍යක්ෂවරයෙක් වීමේ සිහිනයක් තිබුණා. මට සිනමාව සම්බන්ධයෙන් විශාල කැමැත්තක් තිබුණා. අපිට එක්වරම සිනමාපටයක් නිර්මාණය කරන්න හැකියාවක් නැහැ. මූල්‍යමය දේවල් සහ එයට අවශ්‍ය අනෙකුත් සම්පත් අපි සොයා ගන්න ඕන. ඉතින් සිනමාවට පිවිසෙන්න පෙර මම ටෙලි නාට්‍ය කලාවට පිවිසුණා. මම ටෙලි නාට්‍ය 13ක් පමණ නිර්මාණය කළා. ඒ කාලය තුළ මම සිනමා සිහිනය අමතක කළේ නැහැ. ඒ කාලේ තමයි මම අයිස්ක්‍රීම් සිනමාපටය නිර්මාණය කළේ. මේ සිනමාපටය නිර්මාණය කරලා මම තව සිනමාපටයක් නිර්මාණය කරන්න ගියේ නැත්තේ මේ සිනමාපටය නිකුත් නොවුණු නිසා. ඒ කාලය තුළ මම තව ටෙලි නාට්‍ය කිහිපයක් කළා. ලංකාවේ සිනමාව ඒ කාලේ කලාත්මක සහ වාණිජමය වශයෙන් අන්ත දෙකකට බෙදී තිබුණා. මම පෞද්ගලිකව එයට කැමැති නැහැ. මට අවශ්‍ය වුණේ මේ දෙකම එකතු කරලා බයිස්කෝප් එකක් නිර්මාණය කරන්න. ඒ නිසා තමයි අයිස්ක්‍රීම් එකට බයිස්කෝප් හැඩයක් ආවේ.
මෙහි තිරපිටපත රචනා කරන්නේ ප්‍රවීණ රංගන ශිල්පී කළණ ගුණසේකර ඒ ගැන කියනවා නම්?
මම ඒ දවස්වල සිනමාපටයක් කරන්න තිරපිටපතක් සොයමින් සිටි කාලයේ තමයි කලණව මුණගැසෙන්නේ. ඔහු සහ මම මේ ගැන බොහෝ දේ කතා කළා. ඉන්පසුව අපි තිරපිටපතක් රචනා කළා. ඒක ඒ තරම් සෙට් වුණේ නැහැ. ඊට පස්සේ තමයි අයිස්ක්‍රීම් ලිව්වේ. මේක කළණ ගුණසේකරගෙත් පළමුවැනි සිනමා තිරපිටපත. අපි දෙන්නගේ එකතුවෙන් තමයි මේ සිනමාපටය නිර්මාණය වුණේ. ලංකාවේ ඒ කාලේ බයිස්කෝප් හැදුණේ අඩුවෙන්. තිබුණෙම රජ කතා සහ බොදු කතා. ඉතින් අපිට ලොකු වෙනසක් කරන්න අවශ්‍ය වුණා. අයිස්ක්‍රීම් නිර්මාණය කළේ ඒ නිසා.
මේ සිනමාපටය ඉතා වේගවත් රිද්මයකින් ගලාගෙන යන්නේ. ඇයි මේ තරම් වේගවත් සිනමාපටයක් නිර්මාණය කරන්න සිතුවේ?
මේ සිනමාපටය තුළ සිදුවීම් වේගවත්ව සිදු වෙනවා. මම ටිකක් වේග රිද්මයේ වැඩවලට කැමැතියි. ත්‍රෛලෝකා වැනි නිර්මාණවලත් ඒ රිද්මය තිබුණා. සමහර අය මේ සිනමාපටය දුවනවා වැඩියි කියලත් තිබුණා. ජීවිතය කියන්නෙත් දිවිල්ලක්. නාගරික පැල්පත් ආශ්‍රිත ජනතාවගේ ජීවිතත් මේ විධියට වේගයෙන් ගලා ගෙන යනවා. ඔවුන් කොපමණ දිව්වත් අන්තිමේදී වත්ත තුළටම කොටු වෙනවා. අපිට හැම වෙලාවෙම මේ සිනමාපටයේ වේගය පවත්වාගෙන යන්න අවශ්‍ය වුණා. මේ සිනමාපටයේ එක රූපරාමුව රූගත කරන්න ඇතැම් විට දවසක් ගෙවුණු අවස්ථා පවා තිබුණා. සමහර අය මේ සිනමාපටය ගැස්සෙනවා වැඩියි කියලත් තිබුණා. ජීවිතය කියන්නෙත් එහෙම තමයි ගැස්සෙන දෙයක්. අපේ ප්‍රේක්ෂකයාට මේ දේවල් හුරු පුරුදු නැහැ. යම් සිනමාපටයක රිද්මය හෝ ශෛලිය අපි නිර්මාණය කරන්නේ ඒ චිත්‍රපටයට උචිත වන ආකාරයට. අයිස්ක්‍රීම් සිනමාපටයට අවශ්‍ය රිද්මය තමයි මේ රිද්මය. මට මේ සිනමාපටයේ වේගය මදි කියලත් හිතුණා.
අයිස්ක්‍රීම් කියන්නේ ෆැන්ටසි ශානරයේ සිනමාපටයක්ද?
අයිස්ක්‍රීම් කියන්නෙත් ෆැන්ටසියක්. බාල, මහලු, පොඩිහිටි, වැඩිහිටි හැමෝගෙම ෆැන්ටසියක්. නාගරික වතු සංස්කෘතිය ආශ්‍රිතව දිවි ගෙවන සිනමාවට ප්‍රේම කරන තරුණයෙක්ගේ නළුවෙක් වීමට තිබෙන කැමැත්ත තමයි මේ සිනමාපටයේ තිබෙන්නේ. අපි හැමෝටම ෆැන්ටසියක් තිබෙනවා. අපි හැමෝම සිහින දකින්න මිනිස්සු. ඒ සිහින සැබෑ වෙන්න පුළුවන් වගේම සැබෑ නොවෙන්නත් පුළුවන්. දුදූ කියන්නේ හීන ලෝකයක ජීවත්වන හාදයෙක්. මේ සිනමාපටය ෆැන්ටසිද, ඩ්‍රාමාද කියා ශානරගත කිරීම ගැන මට කියන්න තිබෙන්නේ මෙහෙම අදහසක්. අයිස්ක්‍රීමුත් විවිධ රසයන්වලින් තිබෙනවා. නමුත් අයිස්ක්‍රීම් කන පුද්ගලයා මත අයිස් ක්‍රීම්වල රසය වෙනස් වෙනවා.
මෙම සිනමාපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ හේමල් රණසිංහ ඔහු මේ සිනමාපටයට ලබාදුන් දායකත්වය ඔබ දකින්නේ කෙසේද?
මේ සිනමාපටයේ සිටින දුදූගේ චරිතයට රංගන ශිල්පියෙක් තෝරා ගැනීමේදී අපි අභියෝග රැසකට මුහුණදුන්නා. මේ චරිතය නිකන් සිටින දුවන, පනින, ගහ ගන්න චරිතයක්. ඉතින් මම මේ සඳහා හේමාල්ව තෝරා ගත්තා. හේමාල් මේ චරිතය වෙනුවෙන් විශාල කැපකිරීමක් කළා. මෙහි ඇති ඇතැම් සිදුවීම් රූගත කරන්න දවසක් ගෙවී ගියා. ගිනි දවාලේ දුවනවා කියන එක ලෙහෙසි නැහැ. හේමාල් සමඟ වැඩකරන එක මටත් ප්‍රියජනක අත්දැකීමක් වුණා. ඔහු ඕනෑම අභියෝගයක් භාරගැනීමට හැකි රංගන ශිල්පියෙක්. බෘෘස්ලී සටන් කරන ආකාරය, ලං චක්කු හැසිරවීම පවා ඔහු මේ සඳහාම පුහුණු වුණා. මේ සිනමාපටයේ ඇතැම් චරිත සඳහා හේමල්ට පැය හත අටක මේකප් දාන්න වුණා. පාන්දර 1ට විතර පටන් ගත්තම මේකප් දාලා ඉවර වෙන්නේ උදේ 9.00ට විතර. මේ නිකන් හේමාල්ගේ සිනමාපටයක් වගේ. ඔහු ඉතා සාර්ථක ලෙස චරිතයට පණ පෙව්වා කියා මම සිතනවා.
මෙම සිනමාපටයේ සංගීතය සහ ගීත වෙනස් හැඩයකින් යුතු වෙනවා ඒ ගැන කියනවා නම්?
අයිස් ක්‍රීම් වගේ සිනමාපටයකට ගීතයක් තුළින් දේශපාලනය ගෙන ඒම, ඒ වැඩේ රහ කිරීම වගේ දේවල් ලෙහෙසි වැඩක් නෙවෙයි. මම මංජුල වෙඩිවර්ධනට මෙහි ගීත ලියන්න දුන්නේ ඒ නිසා. වෙඩ්ඩගේ ලිවීමට මම හරිම කැමැතියි. ඒක වෙන ලෙවල් එකක්. අයිස්ක්‍රීම් සිනමාපටයට වෙඩිවර්ධන සිදුකළ මැදිහත් වීම වෙනම ආකාරයකින් දැනෙනවා. ඒ වචනවල අපේ වැඩේට අවශ්‍යම දේවල් ටික තිබෙනවා. කසුන් කල්හාරගේ සංගීතයත් මේ දේවල් එක්ක මනාව ගැළපුණා. ඔහු සාම්ප්‍රදායික බවින් මිදුණු වෙනත් තලයක සංගීතයක් මේ වෙනුවෙන් නිර්මාණය කළා. මේ මුසු වීමෙන් වෙනම ආකාරයක මියුසිකල් ආතල් එකක් නිර්මාණය වුණා කියන්න පුළුවන්. මම හැම විටම පර්යේෂණාත්මක වැඩ කරන්න කැමැතියි. එතකොට තමයි අපිට නිර්මාණයක් ඇතුළේ අලුත් දෙයක් කරන්න පුළුවන් වෙන්නේ.
ඉදිරි වැඩකටයුතු ගැන කියමු?
මම සිනමාපට කිහිපයක්ම නිර්මාණය කරන්න අදහස් කරගෙන සිටිනවා. ඒ සඳහා මූලික වැඩකටයුතු මේ වන විට සිදු කරගෙන යනවා. ටෙලි නාට්‍ය නම් කරන්න අදහසක් නැහැ. මේ වැඩේ අවසන් වුණාම ඉක්මනින්ම මගේ නවතම සිනමාපටයේ වැඩකටයුතු පටන් ගන්නවා.
ගිහාන් සචින්ත