
ඉලංගෝ කියන්නේ මේ දවස්වල හැමෝගෙම අවධානය දිනාගත්ත කෙනෙක්. ඔබේ කුලුඳුල් සිනමා නිර්මාණය ගැන මේ තරම් කතාබහට ලක්වෙද්දි මොකද හිතෙන්නේ?
අපේ නිර්මාණයක් ජාත්‍යන්තරයේ ඇගැයීමට ලක්වෙනවා වගේම වෙනත් රටක ප්‍රතිනිර්මාණය වෙනවා කියන්නේම ලොකු සතුටක්. මේක මගේ පළමු සිනමා අධ්‍යක්ෂණය වුණාට මං ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 15කට වැඩියි. මේ වෙද්දි ටීවී කොමර්ෂල් 450ක් විතර කරලා තියෙනවා. ශ්‍රී ලංකා එයාර් ලයින්, මොබිටෙල් උපහාර ඇතුළුව මහා පරිමාණයේ වෙළෙඳ සන්නාම සියල්ලම වගේ ඊට ඇතුළත්. මීට කලින් කෙටි චිත්‍රපට ගණනාවක් කරලා තියෙනවා. 2014 වසරේ කළ මගේ පළමු කෙටි චිත්‍රපටය ජාත්‍යන්තර සම්මාන උලෙළ 28ක් නියෝජනය කරලා සම්මාන 19ක් දිනාගෙන තියෙනවා. නමුත් මගේ පළමු දිගු වෘත්තාන්ත චිත්‍රපටය වෙන්නෙ නෙළුම් කුළුණ.
ලංකාවෙ හැදෙන බොහෝ චිත්‍රපට ඉන්දියානු කොපි කියලා කියන්න දැන් දැන් ප්‍රේක්ෂකාගාරයත් හුරුවෙලා. බොහෝදෙනා හිතුවේ නෙළුම් කුළුණත් ඉන්දියාවේ කොපියක් කියලා නේද?
ඔව්. බොහෝදෙනෙකුට එහෙම ගැටලුවක් තිබුණා. මෙතෙක් කල් ඔවුන් දැකලා තිබුණේ එහෙම දේවල් නිසා ඔවුන්ට වැරැද්දක් කියන්න බෑ. ඒ වගේම අපේ තිරපිටපතක් ඉන්දියාවෙ ප්‍රතිනිර්මාණය කළා කියන එක ගොඩක් දෙනෙකුට අදහගන්නත් බෑ. මේ වෙද්දි නම් ගොඩක් අය ඒක දන්නවා. සමාජ මාධ්‍යවල මේක ඉන්දියාව කොපියක් කියල දාන අයට විරුද්ධව කතා කරන්නත් බොහෝ දෙනෙක් ඉන්නවා. එහෙම දැම්ම ගමන් ඒ ගැන මට කියන පිරිසකුත් ඉන්නවා. ඒ ගැන නිහතමානී සතුටක් තියෙනවා. නෙළුම් කුළුණ මේ වෙද්දි PERUSU නමින් දමිළ බසින් ප්‍රතිනිර්මාණය වෙලා ඉන්දියාවේ තිරගත වෙනවා. ඒකත් මගේම අධ්‍යක්ෂණයක්. අපිට ඕන වුණේ නෙළුම් කුළුණත් එක්කම PERUSU රිලීස් කරන්න. ඒ වගේම ඉන්දියාවේ ප්‍රවීණ අධ්‍යක්ෂවරයකු යටතේ එය හින්දි බසින් නිර්මාණය කරන්නත් සූදානමක් තියෙනවා. තවත් භාෂා කිහිපයකින්ම කරන්න රටවල් කිහිපයක්ම ඉදිරිපත් වෙලා තියෙනවා.
මෙය රූගත වෙන්නෙත් අභියෝගාත්මක කාලයක. මෙහි නිෂ්පාදිකාව විදිහට ඔබේ බිරිය හිරණ්‍යාගෙන් ලැබුණු සහයෝගය ගැන කතා කළොත්?
ඇත්තටම ඇය තමයි මගේ පිටුපසින් ඉඳන් මට ලොකුම ශක්තිය වුණේ. රූගත කළේ වාද්දුව ප්‍රදේශයේ. ඇය මට නිතරම කිව්වේ ඔයා ක්‍රියේටිව් පැත්ත බලාගන්න මම ප්‍රඩක්ෂන් පැත්ත බලාගන්නම් කියලා. ප්‍රඩක්ෂන් මැනේජර් මංජුල වගේම නිරෝෂනුත් අපට ලොකු සහායක් දුන්නා. දවස් 19ක් ෂූට් කළා. රංගන ශිල්පීන්ගේ පැත්තෙනුත් ලොකු සහායක් ලැබුණා. ඒ වගේ අමාරු කාලෙක ෂූට් කළ එකේ ක්‍රෙඩිට් එක ලැබෙන්න ඕන ප්‍රඩක්ෂන් ටීම් එකට. නෙළුම් කුළුණ ඉවර වෙනවත් එක්කම මම PERUSU නිසා ඉන්දියාවේ කාර්යබහුල වුණා. නෙළුම් කුළුණ රිලීස් කරන වැඩ ඔක්කොම බලාගත්තේ හිරණ්‍යා තමයි. එයාගෙන් තමයි ලොකුම සපෝට් එක මට ලැබෙන්නේ.
ආදරණීය බැල්මකින් ඉලංගෝ දෙස බැලූ හිරණ්‍යා ද අප හා කතාබහට එක්වූවාය.
සිනමාශාලාවලට ප්‍රේක්ෂකයින් ගෙන්වා ගන්න අසීරුම කාලයක තමයි නෙළුම් කුළුණ හවුස්ෆුල් ලේබලයෙන් දුවන්නේ. නිෂ්පාදිකාව විදිහට ඔබටත් ඒ ගැන සතුටක් ඇති?
ඇත්තටම ඔව්. අපි දැනගෙන හිටියා මේක මිනිස්සු අතරට යයි කියලා. මේකෙ අන්තර්ගතය වගේම මේක හදල තියෙන විදිහටත් මිනිස්සු කැමැති වෙයි කියලා. ඒත් මේ තරම් ලොකු ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලැබිලා මේ වගේ හවුස්ෆුල් වෙයි කියලා නම් හිතුවේ නැහැ. එක දවසක හවුස්ෆුල් ෂෝස් 82ක් තිබුණා. ඒක ලංකාවේ රෙකෝඩ් එකක්. අපි මේකට ගොඩක් සල්ලි වියදම් කරගෙන, දඟලලා ලොකු කැම්පේන් එකක් කළෙත් නැහැ. හරිම බේසික් දෙයක් විතරයි කළේ. ගොඩක් අය අපට කිව්වා ෆිල්ම් එක තියටර් එකට දාන්න කලින් කැම්පේන් කරන්න සති හතරක් හයක් වගේ කාලයක් ඕනවෙනවා කියලා. ඒකට අපට ලොකු කාලයක් තිබුණෙත් නැහැ. ඉන්දියාවේ දමිළ බසින් කළ PERUSU සිනමාපටයත් එක්ක සමගාමීව නෙළුම් කුළුණත් රිලීස් කරන්නයි අපිට ඕන වුණේ. අපිට තිබුණෙත් සති දෙකක් වගේ කාලයක්. රිලීස් වුණු දවසේ ඉඳලා මිනිස්සුම තමයි මේක කටින් කට අරගෙන යන්නෙ. ඒකයි වැදගත්.
PERUSUට ඉන්දියාවේ ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ලංකාවේ තරම්ම නැතත් ඉන්දියාවේත් ගොඩක් මිනිස්සු කැමැතියි. PERUSU හොඳ මට්ටමක තියෙනවා. විචාරක කැමැත්ත ලැබීමත් සතුටක්. එහෙත් දැන් සති තුනක් විතර සාර්ථකව තිරගත වුණා. බොහෝදෙනාගේ බලාපොරොත්තුව ඉටු කරමින් පහුගිය 11 වැනිදා ඉඳන් PERUSU නෙට්ෆික්ස් ඔස්සේ බලාගන්නත් පුළුවන්.
ඒක අවාසියක් කියලා හිතෙන්නෙ නැද්ද?
මෙහෙමයි. ඉන්දියාවේ වසරකට චිත්‍රපට විශාල ප්‍රමාණයක් නිපදවෙන නිසා ලංකාවේ වගේ දිගු කාලයක් දුවන්නෙ නෑ. කොහොමත් සුමාන තුන හතරකින් වගේ ඕ. ටී. සී. වලට දානවා. සාමාන්‍යයෙන් ලංකාවේ චිත්‍රපටයක් හිට් වෙන්න සුමාන දෙකක් විතර ගියත් ඉන්දියාවේ මුල් දින දෙක තුන ඇතුළත ඒක පීක් වෙනවද නැද්ද කියන එක තීරණය කරන්න පුළුවන් මට්ටමට ප්‍රේක්ෂකාගාරය හැදිලා තියෙනවා. නෙළුම් කුළුණ පළමු සතියේම පීක් වුණා. ඒක සිනමාවේ ඉදිරිය ගැන හොඳ පෙර ලකුණක් කියන්නත් පුළුවන්. PERUSUත් සති තුන හතරක් ගිහිල්ලත් තවමත් ප්‍රදර්ශනය වෙනවා.
මේක ටිකක් වෙනස් සිනමා අත්දැකීමක්. ඉලංගෝගේ මේ කතා සංකල්පය ගැන ඔබ දැනගෙන හිටියද?
කොහෙත්ම නැහැ. මට අයිඩියා එකක් ආවා මං ලියලා දෙන්නම් කියලා දවසක් උදේ ලියන්න පටන් අරන් පැය දෙකකින් විතර මට බලන්නත් දුන්නා. බලපු ගමන්ම මට පොඩි ෂොක් එකක් ආවා. මොකද ඉලංගෝගෙන් මං මේ වගේ දෙයක් බලාපොරොත්තු වුණේ නෑ. ඉලංගෝගේ ස්ටයිල් එක මං දැනන් හිටියා. එයා ලියන්නේ ගොඩක් සීරියස්, ඉමෝෂනල් සබ්ජෙක්ට්. මේ වගේ බ්ලැක් කොමඩි එකක් මීට කලින් කරල තිබුණෙ නෑ. මුලින්ම මට හොඳටම හිනා ගියා. පස්සේ මං එයාට කිව්වා මේක හොඳ වැඩක් කියලා. සුමාන දෙකකින් වගේ ස්ක්‍රිප්ට් එක ලියලා ඉවර කළා.
ඉන්දියාවෙන් ලොකු මුදලකට තිරපිටපත ඉල්ලලත් ඔබ දෙදෙනාම නෑ මේක අපිම කරනවා කියන තීරණයෙ හිටියා. අද මොකද හිතෙන්නේ?
පිටපත ලියලා අපි මේක ෆිල්ම් බසාර්කෝ ප්‍රඩක්ෂන් මාකට් එකට ඉදිරිපත් කළේ 2018දී. අයදුම්පත් 1500-2000ක් අතරින් අවසන් ප්‍රොජෙක්ට් 15 අතරට අපේ එකත් තේරුණා. එතැන හැමෝගෙම කතාබහට ලක්වුණේ අපේ ප්‍රොජෙක්ට් එක. ඒ අතරේ ඉන්දියාවේ ලොකු ප්‍රඩක්ෂන් කම්පැණි එකක් සම්පූර්ණ වියදම දරලා ඉලංගෝගේ අධ්‍යක්ෂණයෙන්ම මේක ඉන්දියානු චිත්‍රපටයක් විදිහට කරන්න කතා කළා. අපිට ලොකු මුදලක් දෙන්නත් ඇහුවා. ඒත් මුදලට වඩා මේක ලංකාවේ ෆිල්ම් එකක් විදිහට කරලා පිටරටකට දුන්නොත් ඒකෙ අගය වැඩිවෙනවා කියන එක තීරණය කරලා අපි ලංකාවේ එකක් විදිහට කරන්න තීරණය කළා. ඊට පස්සේ බූසාන් ජාත්‍යන්තර සිනමා සම්මාන උලෙළටත් ඉදිරිපත් කළා. එතනදිත් ලොකු කොරියන් කම්පැණි එකක් කොරියාවේ සහ දකුණු, නැඟෙනහිර ආසියාවේ මේක ප්‍රතිනිර්මාණය කරන්න කැමැත්ත ප්‍රකාශ කළා.
රූගත කෙරෙන්නෙත් අභියෝගාත්මක කාල වකවානුවක නේද?
ඔව්. මාසයක් වගේ ඇතුළත අපි ෆ්‍රීප්‍රඩක්ෂන් කරලා රූගත කිරීම් ආරම්භ කළා. ඒ අරගලය පටන් ගත්ත කාලේ. ඩීසල් නෑ. පෙට්‍රල් නෑ. ගෑස් නෑ. දවසට පැය 10-12 ලයිට් කපනවා. හරිම දුෂ්කර කාලයක්. දර ළිපේ උයලා තමයි අපි කණ්ඩායමට කන්න දුන්නේ. ඒ වගේම ප්‍රවාහනයේදීත් අපහසුකම් ගොඩක් තිබුණා. බජට් එක ගැන බලන්නත් ඕන ඒ වගේම ශිල්පීන්ට හරියට සලකන්නත් ඕන. ඒ හැමදේම බැලන්ස් කරගෙන මේ දේවල් කරන්න නිරෝෂන් සහ මංජුලත් ගොඩක් ලොකු සහායක් දුන්නා.
කොහොමද ඔබ දෙදෙනාගේ හමුවීම සිදු වෙන්නේ?
අපි දෙන්නම එකම ක්ෂේත්‍රෙයේ වැඩ කළේ. මං මුලින්ම ඉගෙන ගත්තේ මාකටින් ඇන්ඩ් ෆයිනෑන්ස් පැත්ත. පස්සේ මට තේරුණා ඒක නෙවෙයි මගේ පාත් එක කියලා. ඊට පස්සේ සිරසට සම්බන්ධ වෙලා වැඩසටහන් කළා. ඒ අතරේ ටීවී වෙළෙඳ දැන්වීම් කරන්න අවස්ථාව ලැබුණා. එතැනදී තමයි මට ඉලංගෝ හමුවෙන්නේ. අපි දෙන්නම එකම දේ කරන නිසා හැමදේකදිම අපි දෙන්න හොඳට ගැළපුණා.
කලා කටයුතුත් එක්ක කාර්යබහුල වෙද්දි පෞද්ගලික ජිවිතේ බැලන්ස් කරගත්තේ කොහොමද?
සාමාන්‍යයෙන් ඕනෙම කාන්තාවක් විවාහ වුණාට පස්සේ සැමියා හෝ දරුවන් නිසා තමන්ගේ සිහිනවලට යන එක පස්සට දාන අවස්ථා තියෙනවා. නමුත් ඉලංගෝ, නෑ ඔයා ඔයාගේ හීනවලට යන්න කියලා හැමවේලේම මාව දිරිමත් කළා. අපි දෙන්නම එකම ක්ෂේත්‍රයේ නිසා එයාට මා ගැන හොඳ අවබෝධයක් තිබුණා. මම කොරියාවේ ගිහින් ප්‍රඩියුසින් ගැන ඉගෙන ගත්ත වෙලාවේ ඉලංගෝ තමයි සම්පූර්ණයෙන්ම ගෙදර බලාගත්තේ. අපිට දුවයි පුතයි දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නගෙනුත් අපේ වැඩවලට ලොකු සහායක් ලැබෙනවා. අපි දෙන්න වැඩ කරනවා කියලා ළමයි දෙන්නවත් පවුල් ජීවිතේවත් ගැටලුවක් කරගන්නෙ නෑ.
