
මේ දවස්වල හිනා සාගරයක් එක්ක කාලේ ගෙවනවා ඇති නේද…?
ඔව්, අනිවාර්යෙන්ම. මේ ටිකේම කාලේ ගෙවෙන්නෙ ෆිල්ම් හෝල්වලයි. මිනිසුන්ගේ ඇස්වල කඳුළු පිරෙනකන් හිනාවෙන හැටි අපි ආසාවෙන් බලන් ඉන්නවා. ඇත්තටම අපේ වැඩේ සාර්ථකයි කියල හිතෙන්නේ අන්නන එතකොටයි.
ඔබ නෙළුම් කුලුන චිත්‍රපටයට කොහොමද සම්බන්ධ වෙන්නේ. …
නිරෝෂන් එදිරිමාන්න කියන ප්‍රවීණ අධ්‍යක්ෂවරයා හරහායි මට මේ චරිතය ලැබෙන්නේ. මේ චිත්‍රපටය රූගත කරන්නේ අපේ රටේ අරගලය පැවති සමයේදීයි. ඒ කාලය ටිකක් කලබලකාරී සමයක්. එක් පැත්තකින් කොරෝනා පවතින විට තවත් පැත්තකින් අරගලේ පැවතුණා. ඒ නිසා යම් යම් දුෂ්කරතා මධ්‍යයේයි මෙය රූගත කිරීම් කළේ.
පිටපත කියවලා චරිත ස්වභාවය දැනගත්තම මොකද හිතුණේ…?
ඇත්තටම එක දෙබසක්වත් නැති නිසා මට පිටපතක් දුන්නේ නැහැ. චරිත ස්වභාවය මට විස්තර කළා. කිහිප දෙනෙක් මේ චරිතය සඳහා නිර්දේශ වී තිබුණත් අධ්‍යක්ෂවරයා තෝරගත්තේ මාවයි. මගේ ශරීර අංග චිත්‍රපටයේ නිරාවරණය වෙන්නේ නැහැ කියලා මං අධ්‍යක්ෂවරයාගෙන් කලින්ම අහල දැන ගත්තා. ඒ නිසා ඒ චරිතය සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් මට තිබුණේ නැහැ.
නරක ප්‍රතිචාර ලැබෙයිද? ආත්ම ගරුත්වයට හානියක් වෙයිද? කියලා චකිතයක් තිබුණෙ නැද්ද…?
අපේ ගමේ නෙළුම් කුලුන චිත්‍රපටය බලලා තියෙන්නේ ටික දෙනයි. බොහෝදෙනෙක් රස කරන්නේ ෆෝන් එකෙන් පුංචි ෆිල්ම් කෑලි බලලයි. මම කියන්නේ නිකන්ම ලුණු මිරිස් කනවට වඩා ආප්ප කෑල්ලක් එක්ක ලුණු මිරිස් කන්න කියලයි. ෆිල්ම් හෝල් එකකට ගිහිල්ලා ලබන සතුට වගේම වින්දනය ෆෝන් එකේ පුංචි තිරයෙන් විදින්න බැහැ. ඒ නිසා ෆිල්ම් හෝල් එකකට ගිහිල්ලා චිත්‍රපටය බලලා ඒකේ රස තැන් කතා කරන එකයි වඩාත් වටින්නෙ.
“මළ මිනියක් කියන්නේ කිරිකජුු චරිතයක්නේ. ” කියල කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඇත්තටම ඒ චරිතේ ඒ තරම්ම ලේසි වුණාද. ..?
කෙනෙක් මැරෙන්න ඕනෙ මේ විදිහටයි කියලා අධ්‍යක්ෂවරයාටත් පැහැදිලි කරන්න අපහසුයි. ඒ නිසා ඒ චරිතයට ආරූඪ වෙලා මගේම ස්වරූපයක් මම ගොඩනඟා ගත්තා. හිනා යන දෙබස් ඇහෙනකොට මළ මිනියක් වගේ ඉන්න එක ලේසි පහසු දෙයක් නෙමෙයි. මම රංගනයට පිවිසි මුල් අවදියේ එනම් එක්දහස් නවසිය හැත්තෑ ගණන්වල රංගන වැඩමුළු හුස්ම පාලනය කරගැනීමේ අභ්‍යාස බොහොමයක් කළා. මට මතකයි ඒ කාලෙදි කකුලක් උස්සන් සමබරව බොහෝ වෙලාවක් ඉන්න අපි පුරුදු පුහුණු වුණේ පිළිමයක චරිතයක් ලැබුණොත් ඒ චරිතය කිරීමට අවශ්‍ය සංයමය ගොඩනඟා ගැනීමටයි. මම හිතනවා මේ චරිතයත් මට සාර්ථකව නිරූපණය කිරීමට හැකියාව ලැබුණේ ඒ අභ්‍යාස වල ප්‍රතිඵලයක් ලෙසයි කියලා.
චිත්‍රපටය ගැන බොහෝ දෙනා කතා කළත්, ඔබ පිළිබඳව කතාබහට ලක්වුණා මදියි කියල මට හිතෙනවා. මම හරි නේද?
ඔව්, එහෙම දෙයකුත් තියෙනවා. සමහරක් විට බොහෝ දෙනාට මාව හඳුනා ගැනීමට නොහැකිවීමේ ගැටලුවක් මතුවව තිබෙනවා. නමුත් මාත් සමඟ රංගනයේ යෙදුණු කෞශල්‍යා සමඟත් ඇතැම් අය මගේ රංගනය වර්ණනා කර තිබුණා.
ඔබ කලාවට සම්බන්ධ වුණේ කොහොමද?
මම කලාවට පිවිසුණේ අද ඊයෙක නෙමෙයි. 1988 කාලයේ සෙරන්ඩිප් චිත්‍රපට ශාලාවේ රංගනය කැමරාකරණය ආලෝකරණය ආදී සියලුම දේවල් අඩංගු වැඩමුළුවක් පැවැත්වුවා. එයට මාත් අයදුම්පතක් දමා තේරීපත්වුණා. එයින් ඇරඹුණු මගේ කලා ගමන තුළ විවිධ නිර්මාණ කළා. එකී අවධියේ චන්න විජේවර්ධනයන්ගේ මාර්ගයෙන් විජය කුමාරතුංගයන් ඇසුරු කරන්න අවස්ථාව ලැබුණා. ඔහු මට අධ්‍යක්ෂවරුන් කිහිප දෙනෙකු හඳුන්වා දුන්නා. වළා පටල, සිහින පුරය, අරුණට පෙර, නිදහසේ පියා, ගින්දරී දෙක, බඹර වළල්ල, සකූගේ ලෝකය, මෙඩිසිනා, කළුවර සෙනෙහස, බ්ලැක් ටවුන් ස්ටෝරි, මධුර චාරිකා, අමරබන්දු රූපසිංහ වැනි නිර්මාණ ගණනකට සම්බන්ධ වීමට මට අවස්ථාව ලැබුණා.මීට අමතරව වෙෙළඳ දැන්වීම් රැසකත් පෙනී සිටින්නට මට හැකි වුණා.
මේ චරිතය නිරූපණය කිරීමට අධ්‍යක්ෂවරයාගෙන් ලැබුණේ කෙබඳු සහයෝගයක්ද?
මට ඉලංගෝ රම් කියන්නේ විශ්ව කර්මයෙක්. ඒ වගේම සිනමාව ගොඩගන්න ආපු වීරයෙක් කියලා මට හිතෙනවා. ඔහුගේ විශ්ව කෝෂීය දැනුමෙන් මේ එක් කොටසක් පමණයි. ඔහුගේ කලා ගමනේ දිග පළල මෙතෙකැයි කියන්න බැහැ. ඔහුගෙන් උගත් දේ බොහොමයි වගේම තවත් ඉගෙන ගත යුතු දේත් එතරම්ම තිබෙනවා. ඒ නිසා ඔහුගේ තවත් අපූරු නිර්මාණ ඉදිරියේදී දැක ගනීවි කියලා මම විශ්වාස කරනවා.
අනාගත බලාපොරොත්තු මොනවාද…?
නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබී තිබෙනවා. නමුත් ඒවායේ දින වකවානු තවම සඳහන් කර නැහැ.
ඡායාරූප – දුෂ්මන්ත මයාදුන්න
