මේ දිනවල ”රොන් සොයා” ටෙලි නාට්‍යය හරහා ඔබේ ආලින්දයට එන දර්ශන් තවරාජ් කියන්නේ ලංකාවේ බහුතර ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනා ගත් දක්ෂ කඩවසම් රංගන ශිල්පියෙක්. ඔහුගේ කඩවසම් පෙනුමත් රංගන හැකියාවත් නිසා ප්‍රේක්ෂකයන්ගේ නොමඳ ආදරය එදත් අදත් ඔහුට හිමියි. ඔහුගේ නවතම තතු දැන ගැනීමට හදගැස්ම අපි ඔහු සමඟින් කළ කතාබහයි මේ.
මේ දිනවල ඔබේ කාලය ගෙවී යන්නේ කොහොමද?
රොන් සොයා ටෙලි ඩ්‍රාමා එකත් එක්ක තමයි මේ දිනවල මගේ කාලය ගෙවෙන්නේ. ඒ වගේම අලුත් ටෙලි ඩ්‍රාමා එකකටත් සම්බන්ධ වුණා. ඒකෙ ෂූටින් නුවරඑළියේ තිබුණේ. ඒ ටෙලි නාට්‍යයත් ළඟදීම ප්‍රේක්ෂකයන්ට නරඹන්න පුළුවන්. චිත්‍රපටයක වැඩ කටයුතුවලටත් දායක වුණා. ඒකෙ ප්‍රමෝෂන් වැඩ කටයුතු තවම පටන් ගත්තේ නෑ. ඒ වැඩ කටයුතු ළඟදීම පටන් ගනීවි කියලා හිතනවා.
“රොන් සොයා” ටෙලි නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර ගැනත් කතා කරමු?
මේ දවස්වල රොන් සොයා ටෙලි ඩ්‍රාමා එකට මට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. රාජු කියන කැරැක්ටර් එක ඒ වත්තේ ඉන්න චණ්ඩියකුගේ කැරැක්ටර් එකක්. නමුත් ඒ කැරැක්ටර් එක චණ්ඩියකුගේ කැරැක්ටර් එකක් වුණාට ලස්සනට අඳින්න ආශා කරන, විනෝදයෙන් හිනාවෙලා ඉන්න කැමැති හසරැලිගේ පස්සෙන් යන හසරැලි ගැනම හිතාගෙන ඉන්න හැමවෙලේම චණ්ඩිකම් කරන්නේ නැති විධියේ චණ්ඩි කැරැක්ටර් එකක්. මාත් එක්ක ඉන්න රොමා කියන කැරැක්ටර් එක ඊට ගොඩක් වෙනස්. රොමාගේ කැරැක්ටර් එක තරමක් තද ගතිපැවතුම් තිබෙන හිනා වෙන්නේ නැති හැමවෙලේම කෑගහන කැරැක්ටර් එකක්. ඉතින් ඒ විධියට තමයි අපේ කැරැක්ටර්ස් හදලා තිබෙන්නේ. අපි දෙන්නටම වෙනස් විධියකට තමයි ඒ කැරැක්ටර්ස් නිරූපණය කරන්න තිබෙන්නේ. රාජු කියන කැරැක්ටර් එකට මම ලබාදෙන රංගනය වෙනුවෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ ගැන ගොඩක් සතුටුයි.
ඔබ ඉතා දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. ඒ සඳහා යොමු වුණේ කොහොමද?
මම පොඩි කාලයේ ඉඳන්ම චිත්‍ර අඳිනවා. නමුත් මම කොහෙවත් ගිහින් ඒ ගැන ඉගෙන ගත්තේ නැහැ. චිත්‍ර ශිල්පය මම හැදෑරුවේ ස්වයං අධ්‍යයනයෙන්. චිත්‍ර කලාවට තිබෙන ආශාව තවමත් මගේ හිතේ ඒ විධියටම තිබෙනවා. ඒ වුණාට චිත්‍ර අඳින්න තරම් හරියට කාලයක් වෙන් කරගන්න විධියක් නෑ. මොකද මේ දවස්වල ටෙලි ඩ්‍රාමා ෂූටින්, අවුරුදු උත්සව එක්ක මම ටිකක් කාර්යබහුල වෙලා ඉන්නේ. නමුත් ළඟදීම ආර්ට් ක්ලාස් එකක් පටන් ගන්න ඉන්නේ. ඒකෙ වැඩකටයුතු සූදානම් කරමින් ඉන්නේ. ඒක පටන් ගත්තට පස්සේ චිත්‍ර කලාවටත් මට වැඩිපුර කාලයක් යොමු කරන්න හැකිවේවි කියලා මම හිතනවා.
ඔබේම චිත්‍ර එකතු කරලා චිත්‍ර ප්‍රදර්ශනයක් කරන්න අදහසක් නැද්ද?
ඇත්තටම එහෙම ආශාවක් තිබෙනවා. නමුත් ඒක කරන්න ලොකු කාලයක් ඕනෑ. ඒක මගේ ලොකු ආශාවක්. දවසක මම ඒක අනිවාර්යයෙන්ම කරනවා.
ඔබ ගායකයෙක් ලෙසත් ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියයි නේද?
එහෙම නෙවෙයි. ඕනෑම කෙනෙක්ට ටීවී වැඩසටහනකට ගියාම සින්දු කියන්න වෙනවා. සින්දු කියන්න කැමැති නම් කියන්න ඒ වැඩසටහන් තුළ අවස්ථාව ලබා දෙනවා. වැඩසටහන්වලදී ඒ වැඩසටහන්වල ප්‍රසන්ටර් අපෙන් ඒ ගැන අහනවා. එහෙම තමයි සින්දු කියන්න පටන් ගත්තේ. නමුත් ගායකයකු වෙන්න ඕනෑ කියලා ටාර්ගට් එකක් නෑ. මම වැඩසටහන්වලට ගියාම මගේ උපරිම දායකත්වය ලබා දෙන්න සහ විනෝද වෙන්න කැමැතියි. ඒ නිසා මට ලැබෙන අවස්ථාවලදී මට සින්දු කියන්න කිව්වොත් මම සින්දු කියනවා.
ඔබ කලා ලෝකයට පැමිණීමට පෙර වසර ගණනාවක් විවිධ දේ කළා. ඒ මහන්සිය ගැනත් මතක් කරමු?
ඒ ගැන හිතනකොට මටත් පුදුමයි. මම අවුරුදු 7ක් විතර රූපවාහිනී වැඩසටහන්වල වැඩසටහන් ඉදිරිපත් කරන්නකු ලෙස කටයුතු කළා. ඒ කාලයේ මම කරපු දේවල්, මම මහන්සි වෙලා ඉගෙන ගත්ත දේවල් ඒ අත්දැකීම් හැමදෙයක්ම මට දැන් ගොඩක් ප්‍රයෝජනවත්.
නමුත් ඒ කාලයේ මම මේ තරම් මහන්සි වෙන්නෙ ඇයි කියලා හිතුවා සහ ඒ දේවල්වල වටිනාකම එදා හරියට තේරුණේ නෑ. ඒ කාලයේ මම ප්‍රඩක්ෂන් ඇසිස්ටන්ට් කෙනෙක් විධියට වැඩ කරපු නිසා හැම වැඩක්ම වගේ මහන්සියෙන් ඉගෙන ගත්තා. මහන්සියක් තිබුණත් ඒ දේවල් දැන් ගොඩක් වැදගත්. ඒ රැකියාවට යන්න කලිනුත් මට නිරූපණ ශිල්පියෙක් වෙන්න ආශාවක් තිබුණා. ඒ නිසා යහළුවොත් එක්ක කැමරා ගෙනල්ලා ෆොටෝ ෂූට්ස් එහෙම කරලා තිබෙනවා. දැන් මම ඉගෙන ගන්න දේවල් මට අනාගතයට වැදගත් වේවි.
ඉන්දියානු සිනමාවෙන් චිත්‍රපටයකට ආරාධනාවක් ලැබුණේ නැද්ද?
තවම එහෙම අවස්ථාවක් ලැබිලා නෑ. ඒ වගේ අවස්ථාවක් ලැබුණොත් බලමු.
ඔබට ප්‍රේක්ෂකයන් අසීමිතව ආදරය කරනවා. මේ ගැන මොකද හිතෙන්නේ?
අපේ රටේ ප්‍රේක්ෂකයන්ට විදෙස් නිර්මාණ රස විඳින්නට ඕනෑ තරම් අවස්ථාව තිබුණත්, ඔවුන් ලංකාවේ කලා නිර්මාණ සහ කලාකරුවන් අගයන්න අමතක කරන්නේ නැහැ. ඒ වගේ ප්‍රේක්ෂකයෝ නිසා තමයි මෙහෙම අපේ ඉන්ඩස්ට්‍රි එක පවතින්නේ. අපේ වගේ පුංචි රටක් ඇතුළෙත් අපටම කියලා වෙන්වුණු සිනමා, ටෙලි නාට්‍යය, නාට්‍ය වගේ විවිධාකාර අංශවලට අයත් සංස්කෘතීන් තිබෙනවා. මේ හැමදෙයක්ම ප්‍රේක්ෂකයෝ නිසා තමයි රඳා පවතින්නේ. අපේ ආර්ටිස්ට්ලාගෙන් කීපදෙනකු තමයි ජාත්‍යන්තරයට ගිහින් තිබෙන්නේ. ඒ වුණත් අපිටම කියලා මේ ඉන්ඩස්ට්‍රි එක තිබෙනවා. මට ප්‍රේක්ෂකයෝ ආදරෙයි කියන එක තනියම කතා කරන්නේ නැතිව මේ ඉන්ඩස්ට්‍රි එකට ප්‍රේක්ෂකයන් කොයිතරම් ආදරෙයිද කියලා තමයි කතා කරන්න ඕනෑ. මට දෙන ආදරය ගැන ගොඩක් සතුටුයි. ඒ ගැන හිතලා තමයි මම වැඩ කරන්නේ. මට ප්‍රේක්ෂකයන්ගේ ආදරය වැඩි වෙන්න වෙන්න මම පොහොසත් වෙනවා.
දර්ශන් ධර්මරාජ් වැනි විශිෂ්ට කලාකරුවකුට ඔබේ කටහඬින් හඬ කැවීමට ලැබීම ගැන දැනුණ හැඟීම?
ලක්මාල් අයියගේ වාලම්පුරි කියන ෆිල්ම් එක ළඟදීම තිරගත වෙන්න නියමිතයි. ඒ නිර්මාණය එනතෙක් මමත් ප්‍රේක්ෂකයෙක් විධියට මඟ බලාගෙන ඉන්නවා. ඒකෙ දර්ශන් ධර්මරාජ් අයියා හොඳ කැරැක්ටර් එකක් කරලා තිබෙනවා. නමුත් ඒකෙන් පස්සේ ඔහුට ජීවිතෙන් සමුගන්න වුණා. ඉතින් ඔහුට වොයිස් කරන්න කිහිපදෙනකු උත්සාහ කරලා තිබුණා. මමත් ගිහින් දවස් තුනක් වගේ ට්‍රයි කළා. දර්ශන් ධර්මරාජ් කියන රංගන ශිල්පියාගේ පෙනුමට, දක්ෂතාවට මගේ වොයිස් එකෙන් සාධාරණයක් කරන්න ගොඩක් අමාරුයි. ඇත්තටම අතුල ජයසිංහ අයියා ගොඩක් සපෝර්ට් කළා. මම තමයි එහි ටැමිල් වර්ෂන් එකට හඬ කැව්වේ. දර්ශන් අයියා හැමවෙලේම මට හමුවුණාම කියන්නේ හොඳට කරන්න, ඔයාට දවසක තැනක් ලැබෙනවා කියලා තමයි. බිග් ස්ක්‍රීන් එකේ මගේ කටහඬ පළමුවරට ඇහෙන්නේ ඔහු දුන්න චාන්ස් එක නිසයි. මම ඒ අවස්ථාව දකින්නේ ඔහුගේ ආශීර්වාදයෙන් මට දීලා ගිය තෑග්ගක් විධියටයි.
ඉදිරි වැඩ කටයුතු ගැන කතා කරනවා නම්?
මේ දිනවල රොන් සොයා ටෙලි ඩ්‍රාමා එක විකාශය වෙනවා. ඒක දිගටම නරඹන්න පුළුවන්. ඒ වගේම අලුත් ටෙලි ඩ්‍රාමා එකක් පටන් ගන්න යන්නේ. ඊට අමතරව මම ආර්ට් ක්ලාස් එකක් පටන් ගන්න ප්ලෑන් කරගෙන ඉන්නවා. ඒක මගේ හීනයක්. මේ දේවල් එක්ක තමයි මගේ වැඩකටයුතු කෙරෙන්නේ. ඉස්සරහට ලැබෙන අවස්ථාවන් හරි විධියට භාවිත කරන්න උත්සාහ කරනවා.
රුවිනි අමරකෝන්