තමන් තමන් විදිහට හිටියොත් ඍණාත්මක ප්‍රතිචාර අඩුයි - සඳනි ෆ්‍රනෑන්ඩෝ

gossiplanka image 1
කලාව තුළ බොහොම නිහඬ නමුත් ස්ථාවර ගමනක් පැමිණි මේ තරුණ රංගන ශිල්පිනිය මෙරට බහුතරයක් තරුණ හදවත්වල සිහින කුමරියක් බවට පත් වුණේ ඇය රංගනයට එක් වූ මුල් නිර්මාණවල පටන්මයි. සුන්දර මුහුණත්, කැරළි කොණ්ඩයත් සමඟින් දුටුවන්ගේ නෙත් වශී කරන ඇය ”විසේකාරි” ටෙලි නාට්‍යය හරහා මේ දිනවල ප්‍රේක්ෂකයන්ගේ විශාල අවධානයකට ලක්වෙලා සිටිනවා. නමින් සඳනි ෆ්‍රනෑන්ඩෝ නම් වූ ඇය හදගැස්ම සමඟින් කළ කතාබහයි මේ.


විසේකාරිට ලැබෙන ප්‍රතිචාර ගැන කියලම කතාව ආරම්භ කරමු?


විසේකාරිට ඇත්තටම ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම හිතුවටත් වඩා ඒ චරිතයට ගොඩක් අය බැඳිලා ඉන්නවා. සමහර අය ආදරය කරනවා. සමහර අය අනුකම්පා කරනවා වගේම තවත් පිරිසක් එයත් එක්ක කේන්ති යනවා. එච්චරටම දේවල් හිතෙන්න තරම් ප්‍රේක්ෂකයන් ඒ චරිතය එක්ක එකතුවෙලා ඉන්නවා දකින්න ලැබීම ගැන හරි සතුටුයි.


වර්තමාන සමාජයේ ජීවත්වන තරුණ ගැහැනු ළමයින්ගේ එක් පැතිකඩක් තමයි ඔබ විසේකාරි හරහා නිරූපණය කරන්නේ. ඒ ගැන කතා කළොත්?


ඇත්තටම ඒ චරිතය ඇතුළේ සිද්ධ වෙන දේවල්, ගොඩාක් වෙලාවට අද සමාජයේ ජීවත් වෙන ගැහැනු ළමයින්ට සිද්ධ වෙනවා. මම හිතනවා ඒ පෙන්නන දේවල් තුළින් පොඩි හෝ පණිවුඩයක් ලබා ගනියි කියලා. ඒ වගේම ඒ දේවල් ගැන පොඩි හෝ පණිවුඩයක් සමාජගත කිරීමට ලැබීම සතුටක්. සමාජයත් ඒක පණිවුඩයක් හැටියට ගන්න ඕනෑ. මේ වගේ දේවල් සමාජයේ සිද්ධ වෙනවා, මෙහෙම අය ඉන්නවා කියන දේ අවබෝධ කරගන්නවා නම් ඒ වගේ දේවල්වලින් පොඩ්ඩක් හෝ බේරිලා ඉන්න හැකි වෙයි. ඉතින් එහෙම පණිවුඩයක් අපිට දෙන්න හැකි වීමත් සතුටක්.


ඔබේ චරිතයට බහුතරයක් ප්‍රේක්ෂකයන්ගෙන් එල්ල වන චෝදනාවක් තමයි විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් වෙලත් මේ තරම් මෝඩ විධියට රැවටෙනවද කියන එක?


විශ්වවිද්‍යාල ළමයි විතරක්ම කියලා අපිට එහෙම රාමුවකට කොටු කරන්න බැහැ. අපි චරිතය ඒ විධියට තෝරගත්තට  මේ සමාජයේ ඕනෑම තරාතිරමක, අධ්‍යාපනය ලබන හෝ රැකියාවක නිරතවෙන ඕනෑම ගැහැනු ළමයෙක්ට මේ දේ සිද්ධ වෙන්න පුළුවන්. එතැනදී අපි ඒ පණිවුඩය විශ්වවිද්‍යාලයටම කොටු කරන්න අවශ්‍ය නැහැ.


කලාකාරියක් විධියට ප්‍රතිරූපය නඩත්තු කිරීම ප්‍රේක්ෂක ආදරය දිනා ගැනීමේදි මොන තරම් වැදගත්ද?


මම හිතනවා තමන් තමන් විධියටම ඉන්න තාක්කකල් ප්‍රේක්ෂකයන් ඒ දේට හරිම කැමතියි ආදරෙයි කියලා. ගොඩක් වෙලාවලට මිනිස්සුන්ට තරහා යන්නේ හෝ අප්‍රසාදයක් මතු වෙන්නේ බොරුවක් මවාපානවා වගේ දැක්කොත් සහ තේරුණොත්. සමහර වෙලාවට එහෙම වුණාම ප්‍රේක්ෂකයන් අතරෙන් ප්‍රතික්ෂේප වීමක් හෝ සෘණාත්මක ප්‍රතිචාර ලැබීමක් සිද්ධ වෙන්න පුළුවන්. තමන් තමන් විධියටම තමන්ගේ ස්වරූපය පෙන්නගෙන හිටියොත් ප්‍රේක්ෂකයන්ගෙන් එල්ල වෙන ඒ සෘණාත්මක ප්‍රතිචාර වළක්වා ගන්න පුළුවන්. හැබැයි තමන් තමන් විධියට ඉන්න කියන එකෙන් මම අදහස් කරන්නේ නැහැ. තමන්ගේ පෞද්ගලික ජීවිතය හැමෝටම නිරාවරණය කළ යුතුයි කියලා. එතැනදී තමන්ගේ පෞද්ගලික ජීවිතය පෞද්ගලිකව තියාගෙන, රසිකයා ඉදිරියේදී බොරු මවාපෑම් සිදු නොකර තමන් විධියටම පෙනී ඉන්න පුළුවන් නම් ඒක වඩාත් හොඳ වෙයි.


සමකාලීනයන් සමඟ බලද්දී ඔබ සමාජ මාධ්‍යවලට නිරාවරණය වන ප්‍රමාණය අඩුයි. ජනප්‍රියත්වය පවත්වාගන්න ඒක අවාසියක් නෙවෙයිද?


ඒ කෝණයෙන් ගත්තොත් ඒක ඇත්තටම අවාසියක්. නමුත් මට සමහර වෙලාවලට ෆොටෝ එකක් දාන එකක් හරි වීඩියෝ දාන එක හරි මඟහැරෙන්නේ යම් තැනකට ගියාම මම ඒ මොහොත තුළ ජීවත් වෙන්න පුරුදු වෙලා ඉන්න නිසා. ඒ නිසා මට ගොඩක් වෙලාවට ඒක කැප්චර් කරලා සෝෂල් මීඩියාවල දාලා මගේ ප්‍රේක්ෂකයන්ට පේන්න අප්ලෝඩ් කරන්න අතපසු වෙනවා.


අද වෙද්දී ලංකාවේ ටෙලි නාට්‍ය වටා එකතු වෙලා ඉන්න ප්‍රේක්ෂක පිරිසගේ වර්ධනයක් පේන්න තිබෙනවා. ඒ ගැන මොකද හිතන්නේ?


ඇත්තටම ලංකාවේ හොඳ දක්ෂ ඩිරෙක්ටර්ස්ලා බිහිවෙලා ඉන්නවා. ගොඩක් ලස්සන, දක්ෂ රංගන ශිල්පීන් ශිල්පිනියන් බිහිවෙලා ඉන්නවා. ඒ සියල්ලගේම එකතුවෙන් තමයි මේ අලුතෙන් එන වැඩ හරිම ලස්සනට ප්‍රේක්ෂක ආකර්ෂණ දිනාගන්න හැකි විධියට එන්නේ. ඒ වගේම මේ වෙද්දී සමාජ මාධ්‍ය හරහා මිනිස්සු අතරට යන්න තිබෙන හැකියාව වැඩි වෙලා තියෙනවා. අපි කරන ඕනෑම වැඩක් සමාජ මාධ්‍ය හරහා ඉක්මනින් මිනිස්සු අතරට යවන්න පුළුවන්කම තියෙනවා. ඒකත් එක හේතුවක් කියලා මම හිතනවා.


අනාගතය ගැන හිතද්දි සඳනි ෆ්‍රනෑන්ඩෝ කියන රංගන ශිල්පිනියව ඔබ දකින්න කැමැති කොහොමද?


ඇත්තටම මම දැනට ආ ගමන හරිම හෙමිහිට වැඩ කරගෙන ආපු ගමනක්. මට මගේ අනාගතයේදී දකින්න ඕනෑ ඒ විධියටම තමන්ට අවංකවම, තමන්ගේ හිතට එකඟව, තමන්ගේ හිතේ සතුටෙන් කරන්න පුළුවන් වැඩ ටික කරගෙන ඉන්න එක. මාවත් සතුටෙන් තියන ගමන්, ප්‍රේක්ෂකයන්වත් සතුටු කරන්න පුළුවන් විධියේ වැඩ කරගෙන ලස්සනට තියෙන පුංචි පුංචි හීන සැබෑ කරගෙන ඉන්න සඳනි කෙනෙක්ව දකින එක තමයි මගේ බලාපොරොත්තුව.


ගමේ ලස්සනම ලේලි කවදද මනමාලියක් වෙන්නේ කියලා ප්‍රේක්ෂකයන් බොහොම ආසාවෙන් බලාගෙන ඉන්නවා?


ඇත්තටම අපිත් ඒ ගැන තවම කතාකරගෙන යනවා. සමහර වෙලාවට අපි හිතනවා දැන්ම ලොකු හදිස්සියක් නැහැ කියලා. මොකද අපි නිවාඩු පාඩුවේ අපේ වැඩ ටිකත් කරගෙන යන නිසා. ලොකුවට හදිස්සි වෙලා විවාහයකට යන්න වුවමනාවක් අපි දෙන්නටම නැහැ. අපි ඉතින් අදාළ කාලයේදී ඒ දේවල් සිද්ධ වෙයි කියලා හොඳින් වැඩ ටික කරගෙන ඉන්නවා.


අවසන් වශයෙන් ඉදිරි නිර්මාණ කටයුතු ගැනත් මතක් කරමු?


මේ දවස්වල මගේ ”විසේකාරි” සහ ”ජුරාලියා” නිර්මාණ විකාශය වෙනවා. ඉදිරියටත් ඒ වගේ විවිධ වැඩ කරපු නිර්මාණ කිහිපයක්ම එන්න තියෙනවා.


අක්ෂි මාපා

gossiplanka image 1
Previous Post Next Post