රිතික් රෝෂන්ව දැකලා නළුවෙක් වෙන්න ආසා හිතුණා-ෆෙරී ජොනතන්

 



දශකයක් මුළුල්ලේ රංගන ශිල්පියෙක් ලෙස මෙරට කලාව තුළ තමාට හිමි තැන සොයා ගිය ඔහු අද වන විට පුංචි තිරය අතික්‍රමණය කොට රිදී තිරය දක්වාම පැමිණ තිබේ. ඉතා කුඩා චරිතවලින් ඇරැඹි තම රංගන දිවිය රටේ ජනප්‍රියම නළුවෙක් වන තුරු අතනෑර අල්ලාගෙන සිටි ඔහු නමින් ෆෙරී ජොනතන් සිල්වාය. ඔහු මෙවර හදගැස්ම හා එක්වුණේ උදාවන සිංහල – දමිළ නව වසර වෙනුවෙන් තම ආදරණීය ප්‍රේක්ෂකයන්ට සුබ පතමිනුයි.


මේ දවස්වල කලා කටයුතු ගැන කියලම අපි කතාව පටන් ගමු?


මේ දවස්වල විකාශය වන ටෙලි නාට්‍යය තුනකට රංගනයෙන් දායක වෙනවා. නිකිණි කුසුම්, හිරිපොද වැස්ස සහ RAT තමයි ඒ ටෙලි නාට්‍ය. ඒවාට අමතරව චිත්‍රපට තුනකට සම්බන්ධ වුණා. ඒ ගාමිණී හේවාවිතාරණ අධ්‍යක්ෂවරයාගේ සහ ක්‍රිස් ඇන්තනී අධ්‍යක්ෂවරයාගේ. ඊට අමතරව තවත් චිත්‍රපටයකට සම්බන්ධ වුණා. ඒ පිළිබඳව පස්සේ තොරතුරු අරගෙන එන්නම්. ඔය දේවල් එක්ක තමයි මේ දවස්වල කාලය ගත වෙන්නේ.


ඔබ මේ දවස්වල පුංචි තිරයේ හරිම ජනප්‍රියයි, කොහොමද ලැබෙන ප්‍රතිචාර?


මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍යය තුනේ මම එකිනෙකට වෙනස් චරිත තුනක් කරන්නේ. නිකිණි කුසුම් ටෙලි නාට්‍යය විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබෙනවා. ඒ වගේම හිරිපොද වැස්ස ටෙලි නාට්‍යය හරහා පාසල් යන වයසේ යොවුන් පිරිස අතරට යන්න හැකි වුණා. RAT ටෙලි නාට්‍යය ගත්තොත් ඒකට ඉන්නේ වෙනම ප්‍රේක්ෂයන් පිරිසක්. ඉතින් මේ හැම චරිතයක් වෙනුවෙන්ම එකිනෙකට වෙනස් ප්‍රතිචාර හිමිවෙනවා.


සෝප් ඔපෙරාවල දිගටම රඟපාලා, සීමිත කොටස් ගණනක ටෙලි නිර්මාණයක රඟපාද්දි දැනෙන වෙනස මොන වගේද?


ඇත්තටම එතැනදි වෙනස් වෙන්නේ චරිතය හා අධ්‍යක්ෂවරයා කියන කාරණය. මොකද අධ්‍යක්ෂවරයාගෙන් අධ්‍යක්ෂවරයෙක්ට ඔවුන්ගේ අධ්‍යක්ෂණයන්, ශිල්පීන් හැසිරවීම එකිනෙකට වෙනස්. එතැනදී තමයි ඒ වෙනස දැනෙන්නේ. මට හමුවුණු සියලුම අධ්‍යක්ෂවරු තමන්ගේ කාර්ය මැනවින් කරන දක්ෂ අය. වෙනස තිබෙන්නේ ඔවුන් භාවිත කරන ක්‍රම. මේ ටෙලි ඩ්‍රාමා තුනේ මම කරන්නේ එකිනෙකට වෙනස් චරිත. මේ නිර්මාණ තුනේම අධ්‍යක්ෂවරු සියලුදෙනාම ඉතාම දක්ෂයෝ.


පාසල් අවධියෙන් ආරම්භ වුණු මේ ගමන අද ඔබව සිනමාව තෙක්ම අරගෙන ඇවිත් කොහොමද ඒ දැනෙන හැඟීම?


ඇත්තටම මම 2015දී විතර තමයි රංගනයට එකතු වුණේ. ඒ කාලයේ දෙබස් නැති අතිරේක චරිත තමයි ලැබුණේ. පස්සේ 2016, 2017 වගේ වෙද්දී මට දෙබස් තියෙන චරිත ලැබුණා. ඔය විධියට පියවරෙන් පියවර ආපු ගමනක් මේක. මේ ක්ෂේත්‍රයේ තුළ මම දැන් අවුරුදු 10ක් විතර ඉන්නවා. ඇත්තටම මේක සම්බන්ධතා සමඟින් යන ගමනක්. ඉතින් මම කලාවට අවතීර්ණ වුණු දවසේ ඉඳලම හැමෝත් එක්කම සුහදව ඉන්න කටයුතු කළා. ඒ වගේම විනයක් සහිතව නිර්මාණකරණයේ නියැළෙන්න කටයුතු කළා. ඉතින් ආපු දුර ගැන බොහොම සතුටුයි.


ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉඳලා එකපාරටම ඇයි රඟපාන්න හිතුණේ?


ඇත්තටම මම පාසල් කාලයේ ඉඳලා ක්‍රිකට් ක්‍රීඩාවේ නියැළුණා. හැබැයි රංගනයට තිබෙන ආසාව දිගටම තිබුණා. ඒ නිසා පාසලෙන් අයින් වෙලා ක්‍රීඩා සමාජවලට ක්‍රිකට් සෙල්ලම් කළත් රංගනයට තියෙන ආසාව අතහැරුණේ නැහැ. ඒ නිසා කොහොමහරි දිගටම අල්ලගෙන හිටියා අවස්ථාව එන තුරු.


ඔබට නළුවෙක් වෙන්න අභිප්‍රේරණයක් ඇති කරපු චරිතයක් තියෙනවද?


රිතික් රෝෂන් තමයි මගේ පොඩි කාලේ වීරයා. එයාගේ කොයි මිල් ගයා, ක්‍රිශ් වගේ චිත්‍රපට බැලුවම මට ඒ කාලේ නිතරම හිතුණු දෙයක් තමයි අනේ මටත් මෙහෙම චරිතයක් කරන්න ලැබෙනවා නම් කියන දේ. ඇත්තටම පස්සේ කාලෙක තුෂාර තෙන්නකෝන් මහතා අධ්‍යක්ෂණය කළ හේලි නාට්‍යය හරහා මටත් ඒ වගේ බලයක් තියෙන කෙනෙක්ගේ චරිතයක් කරන්න අවස්ථාවක් ලැබුණා. ඒක මගේ ලොකු හීනයක් හැබෑ වීමක්. ඇත්තටම රිතික් දිහා බලලා තමයි මටත් නළුවෙක් වෙන්න හිතුණේ.


දිගටම වෘත්තීමය වශයෙන් රංගනයේ යෙදෙන්නද බලාපොරොත්තු වෙන්නේ?


ඇත්තටම රංගනය තමයි මගේ සතුට, නමුත් මම මේ වෙද්දී ක්‍රීඩා කළමනාකරණ ක්ෂේත්‍රයෙන් උසස් අධ්‍යාපනය ලබලා කෙටි කාලයකට හෝ විදෙස්ගත වීමේ බලාපොරොත්තුවෙන් ඉන්නේ. එහෙම විදෙස් ගත වුණත් නැවතත් ඇවිත් රංගනයේ යෙදෙනවා.


තමන් සෙලිබ්‍රිටි කෙනෙක් කියලා පළමු වතාවට දැනුණු මොහොත මතකද?


මට ඇත්තටම ඒ අවස්ථාව උදා කරලා දුන්නේ නිමන්ති පෝරගේ අක්කා සහ ප්‍රභාත් රෝෂන් අයියා. මාව ඉස්සලාම චරිතයක් විධියට ඉදිරියට ගෙනාවේ ඔවුන් දෙදෙනා. ඒ අහස් මාලිගා ටෙලි නාට්‍යයෙන්. ඒ ඩ්‍රාමා එකෙන් තමයි මාව ජනතාව අතරට ගියේ. දවසක් ඒ නාට්‍යයේ රූගතකිරීම් අතරතුර අපි කඩේකට යද්දී ඒ කඩේ හිටපු අය ඒ ටෙලි නාට්‍යය බලනවා. එදා එතැන හිටපු මගේ රසිකයෝ පළමු වැනි වතාවට මාත් එක්ක ෆොටෝ එකක් ගත්තා. එදා ඒ දැනුණු සතුට තමයි මට අද වෙන තුරු අතනෑර එන්න ශක්තියක් වුණේ.


රංගනය පැත්තෙන් ඔබට තියෙන බලාපොරොත්තු ගැනත් මතක් කරමු?


ඇත්තටම මට ලොකු ආසාවක් තියෙනවා කවදා හෝ සම්මානයක් ලබා ගන්න. මාව පළමු වැනි වතාවට මේ වතාවේ රයිගම් සම්මාන උළෙල සඳහා නිර්දේශ වුණා. ඒ ගැනත් විශාල සතුටක් තියෙනවා. මම කවදාක හෝ වෘත්තීමය වශයෙන් රංගනයේ නියැළෙන්නේ නැති වුණත්, රඟපෑමෙන් නම් ඈත් වෙන්නේ නැහැ.


මේ දවස්වල පුංචි තිරයේ ජනප්‍රියම පෙම්වතෙක්, ගෑනු ළමයින්ගෙන් එහෙම ප්‍රතිචාර ලැබෙනවා ඇති?


ඔව් ඇත්තටම, සමහර අය ඉන්නවා ටෙලි නාට්‍ය ජීවිතය කරගෙන බලන. එහෙම අය නම් සමහර වෙලාවට හිරිපොද වැස්සේ මගේ චරිතයට බනිනවා. එක වතාවකදි මට අංකල් කෙනෙක් හම්බෙලා බැන්නා පුතේ වටේ යන්නේ නැතුව එක ළමයෙක්ට ආදරය කරන්න කියලා. ඒත් නිකිණි කුසුම් ටෙලි නාට්‍යය බලන අය මට ගොඩාක් ආදරය කරනවා. කොහොම වුණත් මේ දවස්වල මගේ සමාජ මාධ්‍ය සමූහයන්ට එහෙම පණිවුඩ විශාල ප්‍රමාණයක් එනවා. ගැහැනු ළමයින්ගෙන් විශාල ප්‍රතිචාරයක් ලැබෙනවා. රසිකයන්ගෙන් ලැබෙන ඒ ආදරයට මම ගෞරව කරනවා.


මේ වයසට පෙම්වතියක් නැති වෙන්න බැහැ?


ඇත්තටම මට තවම එහෙම ආදරවන්තියක් නැහැ. මම තවම ආදරය සොයමිනුයි ඉන්නේ.


අක්ෂි මාපා වීරසිංහ



Previous Post Next Post