සීනි බෝලෙට ගොඩක් ලස්සන ප්‍රතිචාර ලැබෙනවා-රස්දි කවීර්ණා

 



රස්දි කවීර්ණා නම් සුරූපී නවක රංගන ශිල්පිනියගේ මුහුණුවර ඇයගේ මුල්ම රංගනය තුළින්ම ප්‍රේක්ෂක හදවත් තුළට කාවැදුණු බව නොරහසක්. මේ දිනවල රොන් සොයා ටෙලි නාට්‍යය හරහා ප්‍රේක්ෂක ආදරය දිනාගත් ඇයව සීනි බෝලේ කියූ සැණින් නොදන්නා කෙනකු නැති තරම්. මෙවර හදගැස්මට ඇය එක්කළ සොඳුරු කතාබහයි මේ.


මේ දිනවල ඔබේ අලුත් වැඩකටයුතු කොහොමද?


“රොන් සොයා” ටෙලි නාට්‍යයේ වැඩකටයුතු එක්ක තමයි මේ දවස්වල මගේ කාලය ගෙවෙන්නේ. තවම වෙනත් නව නිර්මාණවලට නම් දායක වුණේ නෑ.”


රොන් සොයා” ටෙලි නාට්‍යයේ ෂූටින් කරගෙන යමින් ඉන්නවා.


“රොන් සොයා” ටෙලි නාට්‍යයේ ඔබේ චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


ගොඩාක් ලස්සන ප්‍රතිචාර මට ලැබෙනවා. මාව පාරකදී කවුරුහරි දැක්කත් සීනි බෝලේ කියලා මට කතා කරනවා. ඉතින් හැමෝම දැන් මට සීනි බෝලේ කියලා තමයි කතා කරන්නේ.


ඔබට රංගනයට මුල්ම ආරාධනය ලැබෙන්නේ ප්‍රධාන චරිතයකටමයි. ඒ මොහොතේ දැනුණු හැඟීම?


ඔව්. ඇත්තටම ඒ ගැන ගොඩක් සතුටුයි. මම හිතුවෙවත් නෑ ඒ වගේ අවස්ථාවක් මට ලැබෙයි කියලා. මුලින්ම ප්‍රධාන චරිතයකට කතා කරද්දී මට අදහාගන්න බැරි වුණා. මොකද මම රංගනය ගැන හැදෑරීමක් කරලා තිබුණෙත් නෑ. ඉතින් හරිම සතුටුයි.


කෙනකු ජනප්‍රියත්වයට පත්වීමත් සමඟ ප්‍රශංසා මෙන්ම විවේචනත් එල්ල වෙනවා. ඔබේ අදහස?


තවම නම් මට ඍණාත්මක අදහස්, විවේචන ලැබිලා නෑ. හැමෝම මට හරි ආදරෙයි. එහෙම ඍණාත්මක දේවල් මට ලැබුණත් මම ඒ දේවල් ගැන හිතන්නේ නැතිව ලැබෙන ලස්සන පොසිටිව් කමෙන්ට්ස් ගැන හිතලා සතුටු වෙනවා. 


ඔබ ප්‍රේක්ෂකයන් අතර වඩාත් ජනප්‍රිය සීනි බෝලේ කියන නමින් නේද? ඒ ගැනත් කියමු?


ඔව්. රොන් සොයා ටෙලි නාට්‍යයේ මම රංගනයෙන් දායක වන කැරැක්ටර් එක හරිම ලස්සන කැරැක්ටර් එකක්. අම්මා තාත්තාගේ ආදරය ළඟ හැදෙන හරි ආදරණීය ළමයකුගේ කැරැක්ටර් එකකට තමයි මම පණ පොවන්නේ. මගේ කැරැක්ටර් එක තුළින් සමාජයට හරි ලස්සන පණිවුඩයක් තමයි ලබා දෙන්නේ. හැමෝම සීනිබෝලෙ කීවාම මාව දකින්නේ හරි අහිංසක චූටි ගැහැනු ළමයකු විධියට තමයි.


බොහෝ තරුණයන්ගේ ක්‍රෂ් එක වූ ඔබට මුල්ම රංගනයෙන්ම මෙතරම් රසික ආදරයක් හිමිවීම ගැන මොකද හිතෙන්නේ?


මට ගොඩාක් සතුටුයි. ඒ දවස්වල මුල් කාලයේ මම නිතරම කරන්නේ කමෙන්ට්ස් බලන එක, මගේ ෂෙයාර් වන ෆොටෝස් බලන එක සහ මගේ ප්‍රේක්ෂකයන්ගේ කමෙන්ට්ස් බලලා ඒවාට රිප්ලයි යවන එක තමයි. දැන් නම් ටිකක් කාර්යබහුල නිසා ටිකක් බලනවා අඩුයි. නමුත් දැනටත් මම ගැන කියල තිබෙන ලස්සන අදහස් දැක්කාම මම අදටත් ඒවාට රිප්ලයි කරනවා. අදටත් මම සමාජ මාධ්‍ය හරහා පළවන ලස්සන අදහස් මට ලැබෙන ප්‍රතිචාර ඉඩකඩ ලැබෙන හැම වෙලාවකම කියවනවා.


ඔබේ පවුලෙන් ලැබෙන සහයෝගය ගැනත් මතක් කරමු? 


මගේ පවුලෙන් මට මේ වගේ තැනකට එන්න ලොකු සහයෝගයක් ලැබුණා. මේ වෙලාවේ මගේ අම්මා, තාත්තා හරිම ආදරෙන් මතක් කරනවා. අපි මුලින් හිටියේ මාතර. මාතර ඉඳන් අපි කොළඹ ආවා. තාත්තා හැම වෙලාවකම මගේ පස්සෙන් ඉඳගෙන මට උදවු කරනවා. තාත්තා මාව ෂූටින් එක් කරගෙන යනවා වගේම මට හැමදෙයකටම උදවු කරනවා. අම්මත් හෙවණැල්ල වගේ මගේ පස්සෙන්ම ඉන්නවා. 


නවක රංගන ශිල්පිනියක් ලෙස ඔබට ප්‍රවීණයන් සමඟ මුහු වීමේ අත්දැකීම් කොහොමද? 


අනිවාර්යයෙන්ම මේ වෙලාවේ ජගත් චමිල අංකල්ව මතක් කරන්නම ඕනෑ. අපට ෂූටින් අතරතුරේ එක විනාඩියක් කතා කරන්න ලැබුණත් ජගත් චමිල අංකල් අපට හැම වෙලේම යමක් කියලා දෙනවා සහ උපදෙස් ලබා දෙනවා. ඔයා මෙහෙම කළොත් ඔයාට ඉදිරියට යන්න පුළුවන් කියල හැමවෙලේම අපට උදවු කරනවා. මම ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන්ගෙන් මේ ටෙලි නාට්‍යය තුළදී බොහෝ දේවල් ඉගෙන ගත්තා. මම හැම වෙලාවකම ඔවුන් කියලා දෙන දේවල් හොඳින් මතකයේ තබාගෙන තමයි වැඩ කරන්නේ.


ඔබේ මව ලෙස රංගනයේ යෙදෙන රංගන ශිල්පිනි ශිරෝෂිගෙන් ලැබුණු සහයෝගයත් මතක් කරමු? 


අපි දෙන්නා ටෙලි නාට්‍ය තුළ අම්මයි, දුවයි වුණාට පිටතදී හොඳම යහළුවෝ දෙන්නෙක් වගේ. ෂූටින්වලින් පිටතදී අපි දෙන්නා ජෝක් කරගන්නවා, බොරුවට රණ්ඩු වෙනවා, හිනාවෙනවා හරිම විනෝදයෙන් ඉන්නවා. ඒ අක්කිත් මට ගොඩක් දේවල් කියලා දෙනවා. ඇක්ට් එකක් කියලා හිතන්නේ නැතිව ඔයා සාමාන්‍යයෙන් කරන විධියට කරන්න කියලා මට ගොඩක් දේවල් කියලා දීලා ඉදිරියට යන්න උදවු කරනවා. 


සයාගී, නේසර සහ ඔබ තිදෙනාම නවකයන් ලෙස එකට මුල් වරට රංගනයේ යෙදීමේ අභියෝගය කොහොමද?


සයාගී, නේසරයි දෙන්නම ගොඩාක් සපෝටිව්. ඉතින් මම බය වෙන හැම තැනකදීම ඔයාට පුළුවන් කියලා දිරිගන්වනවා. ඒ නිසා මට දැන් බය කියන දේ දැනෙන්නෙම නැහැ. නිවන්ත ප්‍රසාර සර් ආදරයෙන් මතක් කරන්න ඕනෑ. නිවන්ත සර්ත් හැමවෙලේම මට නැචුරල් කරන්න කියලා උපදෙස් දීලා ගොඩක් දේවල් කියලා දෙනවා. 


ඔබේ ඉදිරි වැඩකටයුතු ගැනත් මතක් කරමු? 


දැනට රොන් සොයා ටෙලි නාට්‍ය සමඟ තමයි වැඩකටයුතු කරගෙන යන්නේ. ඊට අමතරව වෙළෙඳ දැන්වීම්වලටත් දායක වෙනවා. ඒ වගේම මම උසස් පෙළ විභාගයට පෙනී ඉඳලා අවසානයි. දැන් ප්‍රයිවට් යුනිවර්සිටි එකක ඉගෙන ගැනීමේ බලාපොරොත්තුවෙන් ඉන්නවා.



Previous Post Next Post