යූටියුබ් ටික්ටොක් දාන වීඩියෝ ගොඩාක් ජනප්‍රිය වුණා -ගාවී ප්‍රනාන්දු

 



ගාවී ප්‍රනාන්දු බොහෝ දෙනෙක් හඳුනාගන්නේ ටික් ටොක් සමාජ මාධ්‍ය හරහාය. ඇගේම යූටියුබ් නාළිකාව ඔස්සේ ඇය වටා එක්රොක් වී සිටින පිරිස ද බොහෝය. මේ වනවිට ඇය පුංචි තිරයේ ද තම අණසක පතුරුවමින් සිටින්නීය. ඒ බොහෝ දෙනාගේ ආදරය කරන මායාවී ටෙලි නිර්මාණයේ බෙන්ජමින්ගේ බිරිය ටෙක්ලා ලෙසිනි. ටෙක්ලා නිසාම මායාවී නරඹන ප්‍රේක්ෂක පිරිසක් ද සිටී. කාගේත් සිනහවට ලක්වන හාස්‍ය උපදවනසුලු ඇගේ රංගන විලාසයට පෙම් බඳින පිරිස බොහෝය. සමාජ මාධ්‍ය ඔස්සේ වෙනමම ප්‍රේක්ෂකාගාරයක් නිර්මාණය කරගෙන සිටින ඇය මායාවී හරහා පුංචි තිරයේ ද මේ වනවිට ප්‍රේක්ෂකයින් උපයමින් සිටින්නීය.


මායාවී කියන්නේ මේ දවස්වල බොහෝ කතාබහට ලක්වුණු ටෙලි නිර්මාණයක්. කොහොමද ඔබට ආරාධනා ලැබෙන්නේ?


මායාවී ටෙලි නිර්මාණයට මට ආරාධනා ලැබෙන්නේ තිරපිටපත් රචක මහේෂ් රත්සර මද්දුමආරච්චිගෙන්. මං යූටියුබ් එකට වගේම ටික්ටොක් එකට දාන විනෝදාත්මක වීඩියෝ ගොඩාක් ජනප්‍රිය වුණා. වැඩිපුරම කළේ අම්මගේ චරිතය. ඒව දැකලා තමයි මහේෂ් අයියා මට ටෙක්ලගේ චරිතයට ආරාධනා කරල තිබුණේ. ඊට පස්සේ ඔඩිෂන් එකකට මුහුණ දීලා කතාවට සම්බන්ධ වුණා. ඒ ආරාධනාවට මට ගොඩක් සතුටුයි.


මුලින්ම ඔබට ලැබෙන්නේ මවකගේ චරිතයක්. කොහොමද ඒ අත්දැකීම?


ටෙක්ලා කියන්නේ මගේ පළමු ටෙලි නාට්‍ය අත්දැකීම. ඇය දියණියකගේ මවක්. මීට කලින් මං වෙළෙඳ දැන්වීම්වලට සම්බන්ධ වෙලා තියෙනවා. ඒත් ටෙලි නිර්මාණයක් හරහා ජනතාව අතරට ගිය පළමු අවස්ථාව මේක. මං පළමු ටෙලි අත්දැකීම ලබන්නේ ප්‍රියන්ත සෙනෙවිරත්න වගේ ප්‍රවීණයෙක් එක්ක. ඒකත් මට ලොකු අත්දැකීමක් වුණා. ඔහුගෙන් වගේම අධ්‍යක්ෂ සඳුන් රාජකරුණා, මහේෂ් අයියා ඇතුළු කණ්ඩායමෙන්ම ලොකු සහයෝගයක් ලැබුණා.


ටෙක්ලා කියන්නේ හාස්‍යජනක චරිතයක්නේ. එතකොට ගාවී කියන්නේ මොන වගේ චරිතයක්ද?


ගාවී කියන්නේ හැමවෙලේම හිනා වෙලා ඉන්න උත්සාහ කරන චරිතයක්. නමුත් ටෙක්ලා ටිකක් නපුරුයි. කෑගහන, රණ්ඩු කරන චරිතයක්. මගේ චරිතයට වඩා වෙනස් අත්දැකීමක් නිසා කරන්න පහසු වුණේමත් නැහැ. දුවයි, මමයි බෙන්ජමින්ව විහිළුවට ගන්න අවස්ථාත් තියෙනවා. ඊට අමතරව කෑගහන, රවාගෙන ඉන්න බණින අවස්ථා තමයි වැඩිම. මට තාම බිරියකගේ අත්දැකීම නැති නිසා මම යූටියුබ් එකේ කරන අම්මගේ චරිතය මේකට පොඩි සහායක් වුණා කිව්වත් හරි. ටෙක්ලා සැමියත් එක්ක රණ්ඩු කරන්නේ බණින්නේ පවුල රැකගන්න ඕන නිසා. බෙන්ජමින් කරන සමහර වැඩවලට ටෙක්ලා කැමතිත් නැහැ. ඒක නිසා තමයි ඔරවන්නේ. රවන්නේ. ටෙක්ලාගේ චරිත ලක්ෂණ විවිධයි.


ප්‍රියන්ත සෙනෙවිරත්න වගේ අත්දැකීම් බහුල රංගන ශිල්පියෙක් එක්ක වැඩ කරන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ?


ප්‍රියන්ත අයියා කියන්නේ හැමෝ එක්කම කතාබහ කරලා විනෝදෙන් ඉන්න නිහතමානී චරිතයක්. ඔහුගෙන් මට ලොකු සහයෝගයක් ලැබුණා. දුවට වුණත් මේක මෙහෙම කරන්න පුතේ කිය කියා නිතරම කියල දුන්නා. මට වුණත් මොකක් හරි වැරදුණහම මේක මෙහෙම කරන්න කියලා කියලා දෙනවා.


ඔබ සමාජ මාධ්‍යයේ ගොඩක් ජනප්‍රිය චරිතයක් නේද?


ඔව්. මුලින්ම මං ටික්ටොක් හරහා කොමඩි දේවල් කළේ. ඒවා ගොඩක් ජනප්‍රිය වුණා. ඒ අතරේ බොහෝදෙනා මට යූටියුබ් නාළිකාවක් පටන් ගන්න කිව්වා. 2021 වගේ තමයි මං යූටියුබ් නාළිකාව පටන් ගත්තේ. මේ වෙද්දි සබ්ට්‍රයිබර්ස්ලා ලක්ෂ පහකට වඩා ඉන්නවා. ඒ හරහා මං ගොඩක්ම කරන්නේ කොමඩි චරිත. අම්මා, දුව වගේම පිරිමි චරිතත් කරනවා. ඒ හරහා තමයි මං ගොඩක්ම ජනප්‍රිය වුණේ.


යූටියුබ් එකේ ඒ වගේ ප්‍රතිචාර ලැබෙද්දි ටෙක්ලාට ලැබෙන ප්‍රතිචාර ගැන කතා කළොත්?


මට ගොඩක් මැසේජ් එනවා. චරිතය ලස්සනයි. ඔයා නිසා තමයි අපි කතාව බලන්නේ කියලත්. මගේම ප්‍රේක්ෂක පිරිසකුත් ඉන්නවනේ. එයාලගෙනුත් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. පාරක ගියත් ඔයා නේද මායාවී එකේ ඉන්නේ කියලා අහනවා. ඒ ගැන හරිම සතුටුයි.


ඔබ බොහෝ දුරට කොමඩි චරිතම කරන නිසා ඒ රාමුවටම කොටුවෙයිද?


මං ගොඩක් ආසයි එකම පැත්තකට කොටු නොවී වෙනස් චරිත කරන්න. දැනට මං කරල තියෙන්නේ මවකගේ චරිතය විතරයි. අහිංසක, දඟකාර චරිතවලට වගේම පෙම්වතියගේ චරිතයටත් මං ආසයි. ඉදිරියේදී ඒ වගේ චරිතවලට ආරාධනා ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. දැනට මායාවී එකට විතරයි සම්බන්ධ වෙලා ඉන්නේ. තව කිහිපයකට ආරාධනා ලැබිලත් තියෙනවා. ඊට අමතරව මගේ යූටියුබ් නාළිකාවේ වැඩකටයුතු කරගෙන යනවා.


ගාවීගෙ සාමාන්‍ය ජීවිතේ තොරතුරු ටිකකුත් කියමු?


මගේ ගම පානදුර. මට ඉන්නේ අම්මයි තාත්තයි විතරයි. මං පවුලේ එකම දරුවා. අම්මා හැමදාම මගේ පස්සෙන්ම ඉඳන් මගේ වැඩවලට ලොකු සහයෝගයක් දෙනවා. ඇය තමයි මාත් එක්ක හැමදේටම එන්නේ. මේ ක්ෂේත්‍රයට එන්න, මං කැමති දේ කරන්න මවුපියන්ගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. කලා කටයුතුවලට අමතරව මගේ අධ්‍යාපන කටයුතුත් කරගෙන යනවා.


අම්මගේ චරිතය කළාට ගාවී කියන්නේ තාමත් තරුණියක්. ආදරය ගැන තියෙන්නේ මොන වගේ අත්දැකීමක්ද?


දැනට නම් මම ආදරවන්තියක් නෙවෙයි. ආදරය ගැන හොඳ, නරක දෙපැත්තේම අත්දැකීම් තියෙනවා. මම ඉන්න ක්ෂේත්‍රයත් එක්ක මගේ මේ ගමනට උදව් කරන, බාධාවක් නොකරන කෙනෙක් තමයි මං බලාපොරොත්තු වෙන්නේ. දැනට නම් ආදරෙන් ඈත් වෙලා මං මේ කරගෙන යන වැඩවලට තමයි ෆෝකස් කරගෙන ඉන්නේ.



Previous Post Next Post