දිනනවා නම් දිනන්න ඕනේ ලොවෙත් නැති වෙන්න.” ඇතැම් ජයග්‍රහණයන් එසේය. මෙයත් එකී කුලකයට අයත් දිනුමක් යැයි කිව හැක්කේ රයිගම් සම්මාන උලෙළේ වියළි ටෙලිනාට්‍යය සම්මාන 14කට නිර්දේශ වී සම්මාන හතකින් පිදුම් ලැබූ නිසයි. කඩා වැටීම්, පරාජය වීම් දහසක් හමුවේ ජයග්‍රහණය ලැබූ ඒ අපූරු මිනිසා සමඟයි අද අපගේ කතාබහ. නමින් ඔහු චන්දන ඉරුගල් බණ්ඩාරයි.
සම්මානනීය වීමත් සමඟම දැනෙන හැඟීම කෙබඳුද?
රයිගම් සම්මාන උලෙළේ විශිෂ්ටතම අධ්‍යක්ෂණයට හිමි සම්මානය මට හිමිවුණා. එය මගේ අවුරුදු විස්සක අප්‍රමාණ මහන්සියක ප්‍රතිඵලයක් කියා මම විශ්වාස කරනවා. වියළි ටෙලිනාට්‍ය මගේ පළමු නිර්මාණය වුවත් එවැනි නිර්මාණයක් ගොඩනඟන්න මගේ අත්දැකීම්, දැනුම මෙන්ම දීර්ඝ කාලීන මහන්සිය ඉවහල් වුණා කියා මම හිතනවා. වියළි ටෙලිනාට්‍යයේ සාර්ථකත්වයෙන් මෙම සම්මානය හිමිවුණෙත් ඒ නිසයි. ඇත්තටම එය සතුටට කරුණක්. ඒ වගේම නිහතමානී ආඩම්බරයකුත් ඒ සම්බන්ධයෙන් තිබෙනවා.
“වියළි” විවිධ අංශයන්ගෙන් සම්මානනීය වුණා නේද?
එය ජූරියේ සම්මානය ඇතුළුව සම්මාන දාහතරකට නිර්දේශ වී තිබුණා. ඒ අතරින් සම්මාන හතකින් අප පිදුම් ලැබුවා. වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය? ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය, විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළිය? ටෙලිනාට්‍ය සහාය නළුවා? ටෙලි නාට්‍යයේ සහාය නිළිය, ටෙලිනාට්‍ය ගීත ගායකයා, ජූරිය විශේෂ කුසලතා ඇගැයීම්.
යන සම්මාන එහිදී අපට ලැබුණා. නමුත් ඊට වඩා දෙයක් මම බලාපොරොත්තු වුණා. එහි කැමරාකරණය, සංගීතය, හොඳම නළුවා හොඳම කලා අධ්‍යක්ෂණය, හොඳම සංස්කරණය යන අංශවලිනුත් සම්මානීය වේවි යැයි මම තදින්ම විශ්වාස කළා. වියළි හී සංගීතය එහි හදවත කියා කිව්වොත් මම නිවැරැදියි. ඒ වගේම වෙන කිසිදු නාට්‍යයක එවන් අපූරු කැමරාකරණයක් මම දැක නැහැ. ඒ සම්බන්ධයෙන් මට දුකක් තිබෙනවා. සම්මාන උලෙළකදී අපට හැමදේම බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ නිසා ලැබුණ දේ ගැන සතුටුයි.
වියළි ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණයේදී ඔබට මොනවගේ අභියෝගයන්ටද මුහුණ දෙන්න සිද්ධ වුණේ?
වියළි ටෙලිනාට්‍යම මට අභියෝගයක් වුණා. මම එය පටන් ගන්නේ 2021දීයි. පළමු කොටස් පහළොවෙහි වැඩ නිමකර වසර දෙකහමාරක් තිස්සේ චැනල්වලට බඩගාලත් මට නාළිකාවක් සොයාගන්න බැරි වුණා. ඒ අතර මගේ පළමු නිෂ්පාදකවරයා නාට්‍ය අතහැර වෙන කෙනෙකුට විකුණා ඔහුට මුදල් ලබාදෙන ලෙස ඉල්ලුවා. ඉන්පසු වියළි ටෙලිනාට්‍යය සම්බන්ධයෙන් ජාතික නාළිකාව සමඟ කතාබහ කරලා ඔවුන් එය විකාශය කිරීමට කැමැත්ත පළ කළා. ඉන්පසුව නිලූපා නිරෝශනි ද අල්විස් සමඟ මාගේ මිත්‍රයෙකු වූ චාලක රණසූරිය නිෂ්පාදන කාර්යය භාර ගත්තා. ඉන් පසුවයි ටෙලිනාට්‍යයේ අර්බුදකාරී තත්ත්වය නිම වුණේ. කොතරම් අසීරු තත්ත්වයන් තිබුණත් මම හිතනවා මේ ටෙලිනාට්‍යය එළියට ආවේ සුදුසුම කාලයේ සුදුසුම නාළිකාවෙන් කියලා. එසේ නැවත නාට්‍යය ආරම්භ කළත්, නළු නිළියන්ට රූගත කිරීම සඳහා කාලය වෙන්කර ගැනීමේ ගැටලු , ලොකේශන්වලට විශාල මුදලක් වැයකර ප්‍රතිනිර්මාණය කිරීමේ ගැටලු රැසක් මතු වුණා. එයින් නිෂ්පාදක තුමියට පාඩු සිදුවූවත් නිර්මාණයක් ලෙස එය සාර්ථක වීම ගැන සතුටුයි.
ඔබගේ පළමු නිර්මාණයට දායකවීමට ප්‍රවීණයන් ඔබව විශ්වාස කිරීමම ජයග්‍රහණයක් නේද?
2004 සිට මේ දක්වා මම සහාය අධ්‍යක්ෂකවරයෙක් ලෙස වැඩ කළා. එහිදී මම කිසිම විටෙක මෙගා නාට්‍යවල වැඩ කරලා නැහැ. බොහෝ නිර්මාණ ශිල්පීන්, බොහෝ රංගන ශිල්පීන් ,බොහෝ අධ්‍යක්ෂකවරුන් යටතේ සහාය අධ්‍යක්ෂකවරයෙක් ලෙස හා නළුවෙක් ලෙසත් වැඩ කළා. ඒ නිසා බොහෝදෙනෙක් මාව කලාව සොයන්නෙක් ලෙස හඳුනාගෙන තිබුණා . මගෙ නිර්මාණයට තෝරාගත් කැමරා අධ්‍යක්ෂකවරයා, සංගීත අධ්‍යක්ෂකවරයා ඇතුළු නිර්මාණයේ සිටි සියලු දෙනාම ප්‍රවීණ වගේම නිර්මාණාත්මක මිනිසුන් කොට්ඨාසයක්. එය මම බලාපොරොත්තු වූ පරිද්දෙන්ම සිදු වුණා. රංගන ශිල්පීන් තෝරා ගැනීමේදී වේදිකාවෙන් බිහිවූ රංගන ශිල්පීන් තෝරාගන්නට මම මහන්සි වුණා. මොකද ඔවුන්ව හසුරුවන්න හරිම පහසුයි. මට ඔවුන් ගැන විශ්වාසයක් තිබුණා වගේම මගේ නිර්මාණය ගැන හා මං ගැනත් විශ්වාසයක් ඔවුන්ටත් තිබුණා. ඒ විශ්වාසය මතයි මගේ නිර්මාණය සාර්ථක වුණේ.
කට්ට කාගෙන යථාර්ථවාදී නාට්‍යම කරන්නේ ඇයි.? ෆැන්ටසියකට අත ගැහුවනම් ලේසියි පහසුයි කියලා හිතෙන්නේ නැද්ද?
ඒක හොඳ ප්‍රශ්නයක්? මම මේ මහ පොළොවේ හොඳට පය ගහලා ජීවත් වෙන මනුස්සයෙක්. මගේ උපන්ගම කුරුණෑගල මම හැදී වැඩුණේ ගොවි පවුලක. ගෙන්දගම් පොළොවේ හැප්පිලා, කැපිලි කෙටිලි මැද්දෙ කලාව ඉගෙන ගත් කෙනෙක් මම. ෆැන්ටසියයි, යථාර්ථයයි කියන්නේ අහසයි පොළොවයි වගේ එකිනෙකට හාත්පසින්ම වෙනස් ක්ෂේත්‍රයන් දෙකක්. ෆැන්ටසියක් කියන්නේ සීනි බෝලයක් කනවා වගේ තප්පර ගණනකට ප්‍රහර්ෂයක් දැනෙන දෙයක්. නමුත් කලාත්මක නිර්මාණයක මතකය සදාකාලිකයි. මම සැබවින්ම කැමති ඒ ශානරයේ වැඩවලට. මගේ බලාපොරොත්තුව ඉදිරියේදීත් ෆැන්ටසි වැඩවලට අත නොගහා ඉන්න. කට්ට කාගෙන යථාර්ථවාදී නිර්මාණ කිරීමයි එකම බලාපොරොත්තුව. වසරේ විශිෂ්ටතම අධ්‍යක්ෂකවරයා ලෙස සම්මානනීය කර මාව ඔසවා තැබීමෙන් ඔවුන් බලාපොරොත්තු වන්නෙත් එයයි. මම මෙගා නාට්‍යයක් කරලා සල්ලි ගොඩක් හම්බ කළොත් ප්‍රේක්ෂකයන්ට මගේ වටිනාකම නැති වෙනවා. ඒ නිසා මම ඒ හානිය කවදාවත් කරගන්නේ නැහැ.
හැබැයි කලාත්මක නිර්මාණයක් කියන්නෙම උඩුගම්බලා පිහිනීමක් නේද?
ප්‍රේක්ෂකයන්ගේ රසවින්දන පරාසය එක තැනකට සීමාවී නැහැ. ඔවුන් ෆැන්ටසි නිර්මාණවලට වගේම යථාර්ථවාදී නිර්මාණ වලටත් ප්‍රියත්වයක් දක්වනවා. ඒ නිසා නාළිකා වලින් එහෙව් ගණයේ නාට්‍යවලටත් ඉඩක් ලබා දෙනවා නම් හොඳයි කියල මම හිතනවා. ඒ කෙසේ වෙතත් උඩුගම් බලා පිහිනන මානයේමයි මම ඉන්නේ. පුහු නිර්මාණවලට හිත යොදවන්න මගේ බලාපොරොත්තුවක් නැහැ.
ඔබගේ අනාගත බලාපොරොත්තු මොනවාද?
මට සහාය අධ්‍යක්ෂණ භූමිකාවෙන් ගැලවෙන්න සිද්ධ වෙනවා. නමුත් රංගන ශිල්පියා කියන භූමිකාව කවදාවත්ම අතහරින්නෙ නැහැ. ඒ නිසා තවත් ටෙලිනාට්‍ය දෙකකට රංගනයෙන් දායක වීමට ඉදිරියේදී මං බලාපොරොත්තු වෙනවා. චිත්‍රපටියක් කිරීමටත් යම් අදහසක් තිබෙනවා . ඒ වගේම එයට හොඳ පිටපතක් තෝරාගෙන තිබෙනවා. එයත් ඉදිරියේදි හොඳ විදිහට සිද්ධ වෙයි.