තමන් සම්බන්ධ වන නිර්මාණයට උපරිම සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් චරිතයක් තමයි සරත් කොතලාවල කියන රංගන ශිල්පියා. ඔහු සෑම විටම තමන්ට ලැබෙන චරිතය ඇතුළේ ජීවත් වෙන චරිතයක්. ඒ නිසාම තමයි ඔහු නිතර ඇගැයීමට පවා පාත්‍ර වෙන්නේ. පසුගියදා නිමාව දුටු රයිගම් ටෙලි සම්මාන උළෙලේදී පවා ඔහු යළිත් වරක් නිර්දේශ නාම ගොන්න අතරට එකතු වෙනවා. ඔය අතරේ ඔහු රංගනයෙන් දායක වුණු ප්‍රදීප් ධර්මදාසගේ අයිස්ක්‍රීම් සිනමා නිර්මාණයත් තිරගත කිරීම ආරම්භ කළා. ඒ නිසාම සරත් කොතලාවල කියන විශිෂ්ට රංගධරයා සමග පුංචි කතාබහක නියැළුණා.
ඉස්සර කාලේ මම රබර් ඇද්දෙ පුෂ් සයිකලේ - සරත් කොතලාවල
ඔබ යළිත් වරක් රයිගම් සම්මාන උළෙලේදී “හොඳම සහාය නළුවාට” නිර්දේශ වෙනවා. මොකද හිතෙන්නේ?
ඇත්තටම වියළි කියන්නේ හොඳ නාට්‍යයක්. අධ්‍යක්‍ෂ චන්දන ඉරුගල්බණ්ඩාර ඇතුළු දක්‍ෂ කණ්ඩායමක් තමයි වැඩ කළේ. මම හිතන්නේ ඒ හින්දාම ඇක්ට් කරන්න ගියහම වැඩේ පහසු වුණා. වැඩේත් මහන්සි වෙලා කළා. තිස්සමහාරාමය පැත්තේ තමයි ෂූට් කළේ. ඒක ටිකක් කටුකයි. ඒ වුණාට සුන්දරයි. ‘අ’ යන්න යට තමයි නිෂ්පාදන කටයුතු සිදු කළේ.
මම විතරක් නෙමෙයි මම හිතන්නේ නිර්දේශ නාම එකොළෙහක් ද කොහේද තියෙනවා.
ඉස්සර කාලේ මම රබර් ඇද්දෙ පුෂ් සයිකලේ - සරත් කොතලාවල
පිටපත අතට ලැබෙනකොට හිතුණද මේ වගේ ඇගැයීමක් ලැබෙයි කියලා?
නැහැ නැහැ. මම කවදාවත් එහෙම හිතල නෙමෙයි රඟපාන්නේ. මම ඉස්සර වෙලාම බලන්නේ මට කරන්න පුළුවන්ද බැරිද කියලා විතරයි. මට හිතෙනවා නම් මට ඒක කරන්න පුළුවන් කියලා මම ඕනෑම චරිතයක් රඟපානවා.
මේ දවස්වල “අයිස්ක්‍රීම්” විකුණනවා කියලා තමයි ආරංචිය?
අයිස් ක්‍රීම් චිත්‍රපටය තිරගත කිරීම ආරම්භ කළා. ඒකත් හොඳ චිත්‍රපටයක්. ඒක අපූරු චිත්‍රපටයක්. විවිධ හැඩ තල තියෙන වාණිජමය චිත්‍රපටයක්. හැමෝටම බලන්න පුළුවන් ලස්සන චිත්‍රපටයක්.
ඔබ මෙහිදී රඟපාන්නේ වෙනස්ම චරිතයක්?
මෙහෙමයි, මට ගොඩක් වෙලාවට හම්බ වෙන්නේ වෙනස්ම චරිත. සාමාන්‍යයෙන් මම අදහසක් නිර්මාණය කරගෙන අධ්‍යක්‍ෂ සමග කතාබහ කරලා තමයි වැඩේ පටන් ගන්නේ.
‘අයිස්ක්‍රීම්’ හින්දා හරි හරියට බයිසිකල් පදින්න වුණා කියලත් ආරංචියි?
බයිසිකල් පදින එකයි දුවන එකයි තමයි මට හරි හරියට කරන්න තිබුණේ. ඒකේ චරිත කිහිපයක්ම මට කරන්න තිබුණානේ. ඒ වෙලාවේ හැටියට අවුලක් වුණේ නැහැ, මගේ ජීවිතයේ බයිසිකල් පදිනවා කියන එක සාමාන්‍ය දෙයක්. අපේ තාත්තා රබර් බිස්නස් කළේ. මම ඉස්සර කාලේ රබර් එහෙම අදින්නේ පුෂ් සයිකල් එකේ. බයිසිකල් කියන ඒවා එච්චර ලොකු දේවල් නෙමෙයි.
දුවන එකත් එහෙමනේ?
ඔව්.. ඔව්.. දුවන ඒවත් එහෙම තමයි. ඉස්කෝලෙදිත් මීටර් සියය තමයි දිව්වේ. ඒ වගේ ඒවා නතිං.
ප්‍රදීප් ධර්මදාස කියන අධ්‍යක්‍ෂවරයාව කොහොමද දකින්නේ?
ඔහුගේ ‘ඇස්පිල්ලමක් යට’ ටෙලිනාට්‍යය තමයි මුලින්ම රඟපෑවේ.
එතැනත් පොඩි අභියෝගයක් තිබුණා. මොකද සපත්තු නැතිව නුවරඑළියේ ෆුට් බෝල් ගහන්න සිද්ධ වුණා. ඒක හරි අමාරු එකක්. ඒකත් කළා. ඊට පසුව මේකටත් කතා කළා. ඔහු හොඳ දක්‍ෂ අධ්‍යක්‍ෂවරයෙක් වගේම රංගන ශිල්පියෙක්, නිවේදකයෙක්. ඔහුට අවශ්‍ය දේ තමයි මම කළේ.
ඔබ රඟ පෑ චිත්‍රපට තව කීයක් විතර තිරගත වෙන්න තියෙනවාද?
තවත් චිත්‍රපට පහක් විතර තිරගත වෙන්න තියෙනවා.
රැෆෙල්ලාගේ කැලැන්ඩරයේ ෂූට් එකට ලැබුණේ මොන වගේ ප්‍රතිචාරද?
ඒක ගැන මම ඒ හැටි දැනගෙන හිටියේ නැහැ. මට කතා කළාට පසුව වැඩේට ගියාට පස්සේ තමයි දැනගත්තේ ඒක වෙන ආර්ට් එකක් කියලා. එහෙම ආර්ට් එකකට මම ඔය සම්බන්ධ වුණාමයි. කැලැන්ඩරය අතට ගත්තම ඒක වෙනම එකක්.
ඔබ සාමාන්‍යයෙන් කැලැන්ඩර් ෂූට්වලට ඉන්නවා අඩුයිනේ?
ඔව්. මම සාමාන්‍යයෙන් ඉන්නේ නෑ. මගේ විෂය රඟපෑම. අනෙක් ඒවා මට එච්චර ලොකු එකක් නෙමෙයි. මම ඇක්ට් කරනවත් අඩුයි. ඇක්ට් කරන්නෙත් බොහොම ටිකයි. මේ ළඟකදී පෞද්ගලික බැංකුවක වෙළෙඳ දැන්වීමක පෙනී සිටියා. කැරැක්ටර්ස් තමයි ප්‍රධානම දේ.
නිවුස්පේපර් නිර්මාණයෙන් පස්සේ ඔබ නිහඬයි. ඊළඟ අධ්‍යක්‍ෂණය කෝ?
මගේ අලුත්ම චිත්‍රපටය එළැඹෙන ජුනි මාසයේ තමයි ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. මේ දවස්වල එහි මූලික කතාබහ සිද්ධ වෙමින් පවතිනවා.
අලුත් වැඩේ කරන්නෙත් කුමාර තිරිමාදුර සමගද?
මම තමයි අධ්‍යක්‍ෂණය සහ රචනය සිදු කරන්නේ. කුමාර සමහර විට ඇක්ට් කරාවි. මේක ලිව්වේ කොවිඩ් කාලේ ඉඳලා. දැන් අවුරුදු තුන හතරක් විතර ගියා පිටපත ඉවර කරන්න.
ටෙලිනාට්‍යයක් අධ්‍යක්‍ෂණය කරන්න අදහසක් නැතිද?
නැහැ. මම කරන්නේ නැහැ. ටෙලිනාට්‍යයෙන් කලාව කරන්න බැහැ. ඒක බිස්නස් එකක්.
එතකොට ඔබට ටෙලිනාට්‍යවලට රඟපාන්න ලැබෙන ආරාධනාවලට මොකද කරන්නේ?
ඒක මගේ වෘත්තිය. මම වෘත්තීය නළුවෙක් හින්දා මට රඟපාන්න වෙනවා. නමුත් කලා මාධ්‍යයක් ඇතුළේ මම ටෙලිනාට්‍යවලට එච්චර කැමැති නෑ. ටෙලිනාට්‍යවලින් එහාට තමයි කලාව තියෙන්නේ.
ආර්ට් එක තියෙන්නේ සිනමාවෙයි, වේදිකාවෙයි විතරයිද?
ඔව්. ආර්ට් එක තියෙන්නේ සිනමාවෙයි වේදිකාවෙයි විතරයි. අරකේ ආර්ට් එකක් තියෙනවා බොහොම කලාතුරකින්. නමුත් ආර්ට් එක කරන්න අමාරුයි. චැනල්වලට අනුව, නිෂ්පාදකට අනුව ඒක වෙනස් වෙනවා. චිත්‍රපට, වේදිකා නාට්‍ය කියන්නේ තමන්ගේම දෙයක්නේ.
දිනේෂ් විතාන