මේ සම්මානයේ තියෙන්නේ සාමූහිකත්වයක් - දිව්‍යශාරිකා බ්‍රිජෙට්

 


පසුගියදා පැවති 44 වැනි ජාතික යෞවන නාට්‍ය උලෙළේ හොඳම නිළියට හිමි සම්මානයෙන් පිදුම් ලබන්නේ "දුක්ගිනි සින්දන" වේදිකා නාට්‍යයේ ධාරා ලෙස රඟ පෑ දිව්‍යශාරිකා බ්‍රිජෙට් බ්‍රෙන්ඩන් ය.


වේදිකා නාට්‍ය ගණනාවකට රංගන දායකත්ව ලබා දුන් ඇය නිතර පුංචි තිරයෙත් දක්නට ලැබෙන චරිතාංග නිළියකි.


ඉතින් ඇයව හොඳම නිළිය කළ ධාරා ගැනත්, කලා ජීවිතයේ නවමු තොරතුරු ගැනත් ඇයට කියන්න ගොඩක් දේවල් ඇති. තරුණී මේ කතා බහ වෙන් වන්නේ ඇය වෙනුවෙන්.


"44 වැනි ජාතික යෞවන නාට්‍ය උලෙළේ හොඳම කෙටි නාට්‍ය වුණේ දුක්ගිනි සින්දන නාට්‍ය. ඒ නාට්‍යයට මා ලබා දුන් රංගන දායකත්වය නිසා මට හොඳම නිළිය වෙන්න අවස්ථාව ලැබුණා. මේ නාට්‍යය අධ්‍යක්ෂණය කළේ ඉසුරු ගුණවර්ධන. පිටපත රවිදු සම්පත් වික්‍රමසේකරගේ. ඒ දෙදෙනාගේ ආරාධනාවකට තමයි මම ඒ නාට්‍යයට සම්බන්ධ වුණේ. මම වැඩ කරපු සමූහයන් අතරින් මගේ හදවතටම දැනුනු කණ්ඩායමක් තමයි මේ නාට්‍යයේ හිටියේ. හිටපු හැමෝම තමන්ගේ වැඩේ හරියටම කළා. ඒ කියන්නේ හැමෝම වැඩේට අවංක වුණා. මේ නාට්‍යය හරහා මට හරි ලස්සන මිනිස්සු ටිකක් හම්බුණා. මට ඒ දේම ඇති සතුටු වෙන්න."


 


ඔබව හොඳම නිළිය කළ "දුක්ගිනි සින්දන" වේදිකා නාට්‍යයේ චරිතය ගැන කතා කළොත්...


 


මේ පිටපත මගේ අතට ලැබුණම මේක කොහොම හරි කරන්නම ඕනේ කියන හැඟීම මට ආවා. ධාරා කියන කාන්තාවගේ චරිතයයි මට කරන්න තිබුණේ. ධාරා කියන මාධ්‍යවේදිනිය හරහා ශ්‍රී ලංකාවේ පවතින දේශපාලනික බල අරගලය පවුල් ජීවිතවලට බලපාන විදිහ මේ නිර්මාණය හරහා පෙන්වනවා. මේ හැම චරිතයක්ම පර්යේෂණාත්මකව ගවේෂණය කරලා කරපු චරිත. ඒ තරම් ගැඹුරු චරිත ටිකක් මේ නාට්‍ය තුළ අන්තර්ගත වෙනවා.


මින් පෙර අවස්ථාවකදීත් වේදිකාවේදි ඔබ සම්මානයට පාත්‍ර වෙනවා....


 


මම මුලින්ම වේදිකාවට පිවිසෙන්නේ 2014 දී. මධ්‍යම පළාත් නාට්‍ය උලෙළට මම නාට්‍යය පිටපතක් ලිව්වා. ඉතින් ඒකෙදි හොඳම සහය නිළිය විදිහට මට සම්මානයක් හිමිවෙනවා. ඒ තමයි මගේ මේ ගමනෙ ආරම්භය. කැලණිය විශ්වවිද්‍යාලයට ආවාට පස්සේ වේදිකාවේ කැපී පෙනෙන චරිතයක් වෙන්න මට අවස්ථාව ලැබුණා. විශ්වවිද්‍යාලය මඟින් කළ ඇන්ටන් චෙකොෆ්ගෙ වලහ, කිලර්, ෆස්ට් ලව්, ප්‍රියංකර රත්නායකගෙ රතු වෙස්මුහුණු, විසේකාරියෝ, අනුරාධ සුබසිංහගෙ ඉන්ද්‍රජාලික පෙම්වතිය, සංජීව ගුණරත්නගෙ ආදර වන්තයින්ගෙ පාර්ලිමේන්තුව යන වේදිකා නාට්‍යවල රඟපාන්න ලැබුණා.


 


වේදිකාවේදී වගේම පුංචි තිරයේදීත් ඔබව නිතර දකින්න ලැ‍ෙබනවා..


 


සිරස නාළිකාවේ විකාශය වූ සිරස ෆිල්ම් ස්ටාර් කියන රියැලිටි වැඩසටහනට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණට පස්සේ ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. සංජය නිර්මාල් අයියගෙ ‘තුත්තිරි’ කියන ටෙලි නාට්‍යයට මුලින්ම සම්බන්ධ වුණා. ඊට පස්සෙ 'සිල්ලර සමනල්ලු' ටෙලියේ මාධවිගේ චරිතය කරන්න අවස්ථාව ලැබුණා. මම හිතන්නේ ටෙලි නාට්‍ය කලාවේ මගේ හැරවුම් ලක්ෂය වුණේ එතැන. මොකද ඒ චරිතය ගැන හැමෝම කතා බහ කරන්න ගත්තා වගේම එයින් පසුව බොහෝ නිර්මාණවලට මට ආරාධනා ලැබුණා. ඊට පස්සේ සිහින සමාගම, නාඩි, සල්ලි පොකුරු සහ සර්කස්කාරයෝ වැනි ටෙලි නාට්‍ය කිහිපයකටම මගේ දායකත්වය ලබා දුන්නා. එතකොට මේ දවස්වල ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන පිරිමි ළමයි ටෙලිනාට්‍යයේ යමුනාගේ චරිතයට මම රංගන දායකත්වය ලබා දෙනවා. ඊට අමතරව මම රංගනයෙන් දායක වුණු සිනමා පට දෙකක් ළඟදීම තිරගත වෙන්න නියමිතයි. ඊට අමතරව රූපවාහිනී නාළිකාවේ රිද්ම වැඩසටහනේ නිවේදිකාවක ලෙසත් මම කටයුතු කරනවා.


 


ඔබ හැදෑරීමක් සමඟ රංගනයට පිවිසි තරුණියක්...


 


මම දැන් පදිංචිය කොළඹ වුණාට. මගේ උපන් ගම නුවර. මම නුවර පාසල් තුනකින් අධ්‍යාපනය ලැබුවා. ලක්පහන ඇඩ්වෙන්ටිස්ට් කොලේජ් ඇන්ඩ් සෙමිනරි. ඊට පස්සෙ මම තලාතුව මධ්‍ය මහා විද්‍යාලයෙත් අවුරුද්දක පමණ කාලයක් අධ්‍යාපනය ලැබුවා. ඊට පස්සෙ මම ඉගෙන ගන්නෙ මහනුවර මහාමායා උසස් බාලිකා විද්‍යාලයෙන්. ඉස්කෝලෙ කාලෙ මම පොත පත එක්කම හිටපු ළමයෙක්. මට නටන්න රඟපාන්න වගේ දේවල් බෑ කියල මගේ හිතේ තිබුණා. හැබැයි මම යටි හිතින් කලාවට ආදරය කළා. නමුත් මම හීන මැවුවෙ හොඳ ඉ‍ෙසඩ් ස්කෝර් එකක් අරගෙන කැම්පස් එන්න. මම ඒක ඉෂ්ට කරගත්තා මහනුවර දිස්ත්‍රික්යෙන් 45 වැනියා විදිහටයි මම කැලණිය විශ්විද්‍යාලයට පිවිසෙන්නේ. දැන් මම නාට්‍ය හා රංග කලාව පිළිබඳ උපාධිධාරිනියක්.


 


ඔබ වඩා ප්‍රිය කරන්නේ වේදිකාවට ද නැත්නම් පුංචි තිරයට ද?


 


වේදිකාවට වගේම පුංචි තිරයටත් මම එක වගේ ආදරෙයි. ඒක හරියට අම්මා කෙනෙක් තමන්ගේ දරුවෝ දෙන්නට ආදරේ කරනවා වගේ. වේදිකා රංගනය කියන එක ටිකක් වෙනස් දෙයක්. එකේ රංගනයට යම් කිසි සීමාවක් තියෙනවා. ඒ පරිමාව අපි අඳුරගන්න ඕනේ. මොකද අපි රඟපාන්නේ ප්‍රේක්ෂකාගාරයක් ඉදිරියේ. එතකොට පුංචි තිරයේදී ඊට වඩා වෙනස්. අපි රඟපාන්නේ කැමරාවක් ඉදිරියේ. සිනමාවට යද්දී ඒක තවත් වෙනස්. මේ තුන වෙනමම විෂයයන් තුනක්. මම ඒ හැම තැනකදිම එකිනෙකට වෙනස් දේවල් ඉගෙන ගත්තා. මේ විෂයයන් තුනටම මම එක වගේ ආදරෙයි.


 


මේ ගමන එන්න පවුලේ අයගෙනුත් සහයෝගය ලැබෙන්න ඇති....


 


මට ඉන්නේ අම්මයි, නංගිලා දෙන්නයි. පොඩි කාලේ ඉඳලා අම්මා තමයි අපිව බලාගෙන යන්න ඕනේ මාර්ගය පෙන්නලා දුන්නේ. මම දැන් විවාහකයි. මගේ සැමියා තරිඳු කැප්පෙටියාව. ඔහු ආරක්ෂක අමාත්‍යායංශයේ වැඩ කරන්නේ.


රංගන ශිල්පිනියක් සමාජයේ අය අපි දිහා බලන කෝණය හරි වෙනස්. මගේ සැමියා ඉන්න ක්ෂේත්‍රයයි මගේ ක්ෂේත්‍රයයි එකිනෙකට වෙනස්. නමුත් මා ගැන සහ රංගනය ගැන හොඳ අවබෝධයක් ඔහුට තිබෙනවා. ඒ නිසා මේ වැඩටික කරගෙන යන්න අවශ්‍ය නිදහස ඔහු මට ලබා දෙනවා. මම මොන දේ වුණත් රංගනය අත හරින්නේ නැහැ. මම හිතන්නේ ලෝකේ තියෙන වාසනාවන්තම වෘත්තිය රංගනය කියලයි. ඉතින් මට රංගනය නැති ජීවිතයක් ගැන හිතන්නවත් බැහැ.


 


Previous Post Next Post