මළ ගෙයක් ඇතුළේ හිනාවෙන හැටි බලන්න- ප්‍රියන්ත සිරිකුමාර



 ප්‍රියන්ත සිරිකුමාර කියලා කියන්නේ වේදිකාව වගේම පුංචි තිරයත් රිදී තිරයත් අතික්‍රමණය කළ අතිදක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක්. මේ සටහන තැබෙන මොහොත වන විටත් ඔහු මාසයක කාලයක් සඳහා යුරෝපා සංචාරයකට සහභාගී වෙලා ඉන්නේ නිකම්ම නිකම් නෙමෙයි. mr president වේදිකා නාට්‍යයත් එක්ක. ඉතින් mr president වේදිකා නාට්‍ය සමගින් මාර්තු 10 වැනිදා ලංකාවෙන් යන්න කලින් ප්‍රියන්ත ඔහුගේ රංගනයෙන් හැඩ වූ නිර්මාණ ගැන වගේම කලා ජීවිතයේ ආ ගිය විස්තර ගැනත් අපිත් එක්ක සුන්දර කතාබහක නිරත වුණා. විශේෂයෙන්ම ප්‍රියන්ත රඟපාන නෙළුම් කුලුන චිත්‍රපටයටත් ඉහළ ආකර්ෂණයක් මේ දිනවල ලැබිලා තියෙනවා.




රංගන ශිල්පියෙක් වෙන්න එහෙමත් නැත්නම් කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා කටයුතු කරන්න ප්‍රියන්තට කුඩා කාලයේ සිටම ලොකු වුවමනාවක් තිබිලා තියෙනවා. කලාවට සම්බන්ධ වීම කියන්නේ කුඩා කාලයේ සිටම ප්‍රියන්තගේ හිතේ තිබුණු ලොකුම හීනයක්. අද ප්‍රියන්තගේ ඒ හීනය හැබෑ වෙලා. මුළු රටක් ප්‍රියන්තගේ රංගන දක්ෂතාවයන් ගැන කතාකරනවා. ඒවා අගය කරනවා. ඉතින්, ප්‍රියන්ත කියන විදිහට නම් රංගනය සඳහා වන වැඩමුළු හරහා තමයි ඔහු මේ රංගන ජීවිතයට අත්පොත් තියලා තියෙන්නේ.




මෙරට සිටින අති සාර්ථක දක්ෂ රංගන ශිල්පීන් බොහෝ දෙනෙක් වගේම ප්‍රියන්තත් තමන්ගේ රංගන ගමන ආරම්භ කරලා තියෙන්නේ වේදීකාවෙන්. තවත් විදිහකට කියනවානම් නාට්‍ය රංගන ශිල්පියෙක් හැටියටයි ප්‍රියන්ත තමන්ගේ කලා ගමනට අත්පොත් තියලා තියෙන්නේ.




"මම කලාවට ආවේ අසූව අග භාගයේදී. එදා සිට අද දක්වා පූර්ණ කාලීනව මම කලා ක්ෂේත්‍රයත් එක්ක කටයුතු කරනවා. 87 අවුරුද්දේ වගේ වත්තල ඇලකන්ද නායක කන්ද පල්ලියේ රංගනය සඳහා වැඩමුළුවක් පැවැත්වුණා. ලාල් කළුබෝවිල, ජයලාල් රෝහණ වගේ පිරිසක් ඒ වැඩමුළුවට සහභාගී වෙලා හිටියා. රොයිස්ටන් ජූඩ් කියන ඒ වැඩමුළුව සංවිධානය කළ නාට්‍යකරුවා අපිට එතැනදී මුණගැහුණා. ඇත්තටම පසුව ඔහු හොඳ යාළුවෙක් වුණා. අපි එකතුවෙලා කෙටි නාට්‍ය කිහිපයක් කළා. රඟහල කියන වේදිකා නාට්‍යයේ චරිතයකින් තමයි මම ප්‍රසිද්ධ වේදිකාවට ආවේ. ඒ නාට්‍යට යෞවන නාට්‍ය උළෙලේදී සම්මාන පවා ලැබුණා. 90 වර්ෂයේදී සමන් පුෂ්ප ලියනගේ අධ්‍යක්ෂණය කළ මැක්බත් නාට්‍යටත් මම සම්බන්ධ වුණා. මේ විදිහට තමයි මම මගේ රංගන ගමන ආරම්භ කළේ."




මේ ආකාරයට වේදිකාව තුළින් රංගන ජීවිතයට ප්‍රවේශ වූ ප්‍රියන්ත සිරිකුමාර මේ වෙද්දි වේදිකාවේ පමණක් නෙමෙයි පුංචි තිරයේ වගේම රිදී තිරයේත් කැපී පෙනෙන දක්ෂතා පෙන්වන රංගන ශිල්පියෙක්. ඒ විතරක් නෙමෙයි ප්‍රියන්ත අති දක්ෂ වේෂ නිරූපණ ශිල්පියෙක් හැටියට හඳුන්වා දුන්නත් වරදක් නැහැ. නාට්‍ය රංගන ශිල්පියෙක් හැටියට කලා ක්ෂේත්‍රයට ප්‍රවේශ වුණත් පසු කාලයක ප්‍රියන්ත වේෂ නිරූපණ ශිල්පියෙක් හැටියටත් කලා ක්ෂේත්‍රයේම වෙනත් අංශයක් කෙරෙහිත් අවධානය යොමු කරලා තියෙනවා. ඒත් මේ වෙද්දි නම් ප්‍රියන්ත වැඩිපුරම අවධානය දීලා තියෙන්නේ රංගන කටයුතු සඳහාම තමයි. පසුගිය කාලවකවානුවේ ඔහුට චිත්‍රපටවල වගේම ටෙලිනාට්‍යවලත් එකිනෙකට වෙනස් චරිත බොහෝමයක් ලැබුණා. ඒ චරිත ප්‍රේක්ෂකයන් අතර අතිශයින් ජනප්‍රියත්වයට පත්වුණා.




බැක්සයිඩ් කියන්නේ ඒ ආකාරයට ජනප්‍රිය වූ ප්‍රියන්ත රංගනයෙන් දායකවන එක් ටෙලි නාට්‍යයක්. ප්‍රියන්ත පණ දුන්නේ ඒ ටෙලිනාට්‍යයයේ නාරද කියන චරිතයටයි. ඒ ගැන ඔහු අපිට කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.




"බැක්සයිඩ් ටෙලි නාට්‍යයේ නාරදගේ චරිතය සඳහා උපරිම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා. ඇත්තටම කාලෙකට පස්සේ මම කරපු වෙනස්ම විදිහේ චරිතයක්. ප්‍රේක්ෂකයන් අතරට යන්න පුළුවන් විදිහේ ප්‍රබල චරිතයක් තමයි මට ලැබුණේ. ඒ කතා සංකල්පයට සහ කතාව තුළින් සාකච්ඡාවට ගැනෙන මාතෘකාවට මම පුද්ගලිකවත් ගොඩක් කැමැති වුණා. ඒ සතුට සහ වුවමනාවත් එක්ක මට ලැබුණු චරිතය ගොඩක් සාර්ථක වුණා කියලා මම හිතනවා. අදටත් බැක්සයිඩ් නාට්‍යයට වගේම මම රංගනයෙන් දායක වූ නාරද කියන චරිතයටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.


ප්‍රියන්තගේ රංගන කෞශල්‍ය සහ බැක්සයිඩ් ටෙලි නාට්‍යයේ නාට්‍යයේ නාරදගේ චරිතයට කළ සාධාරණය නිසාම මෙවර රයිගම් සම්මාන උළෙලේ හොඳම නළුවා සඳහා ප්‍රියන්ත සිරිකුමාර කියන නමත් නිර්දේශ වෙලා තියෙනවා. මින් පෙරත් ඔහු රයිගම් සම්මාන උළෙලකදීත් හොඳම සහාය නළුවා ලෙස නිර්දේශ වෙලා තියෙනවා. ඒ මේ වසන්ත කාලයයි ටෙලි නාට්‍යය වෙනුවෙන්. පසුගිය වසරේදීත් ප්‍රධාන සම්මාන උළෙල තුනෙහිදීම පීතෘ ටෙලි නාට්‍ය වෙනුවෙන් ප්‍රියන්තගේ නම හොඳම නළුවා සඳහා නිර්දේශ වෙලා තිබුණා. මේ විදිහට සම්මාන උළෙලකදී හොඳම නළුවා ලෙස නිර්දේශ වෙන්න ලැබීම ගැනත් අපි ප්‍රියන්තගෙන් අහන්න අමතක කළේ නැහැ.




"රංගන ශිල්පියෙක් හැටියට අපි බොහොම කැමැත්තෙන් තමයි මේ ක්ෂේත්‍රයේ ඉන්නේ. හොඳ නිර්මාණයක් ලැබුණාම අපි අපේ උපරිමයෙන් ඒ නිර්මාණයේ චරිතය සඳහා සාධාරණයක් කරන්න මහන්සි වෙනවා. මම විතරක් නෙමෙයි හැම රංගන ශිල්පියෙක් ශිල්පිනියක්ම එහෙම තමයි.


රංගන ශිල්පියකුට තමන්ගේ දක්ෂතාවය ඉදිරිපත් කිරීම සඳහා උපකාරී වන උසස් මට්ටමේ චරිත ජීවිතයේ හැමදාම ලැබෙන්නේ නෑ .සමහර විට ඒ අවස්ථාව ලැබෙන්නේ වරක් දෙවරක් පමණක් වෙන්න පුළුවන්. මොකද නිර්මාණයක් බිහි වීම හැම වෙලාවකම වෙන්නේ නෑනේ. එහෙම නිර්මාණයකදී නළුවෙක් ඒ සඳහා උපරිමය කැප කිරීම්කරද්දී, ඒ කැපකිරීම දුටු අවස්ථාවේම අනිත් අය සම්මානයකින් හෝ වෙනත් ආකාරයකින් ඒ හැකියාව අගය කරනවා නම් ඒක රංගන ශිල්පියෙක්ට ලොකු ශක්තියක්. ඒ නිසා මේ විදිහට සම්මානයකට නිර්දේශ වීමට ලැබීම සතුටක්."




ප්‍රියන්තගේ රංගනයෙන් හැඩවන සිනමා නිර්මාණ ගැන කතා කරද්දි පසුගිය 14 දා තිරගත වීම ආරම්භ වූ නෙළුම් කුලුන චිත්‍රපටයත් අමතක කරන්න බැහැ. නෙළුම් කුලුන කියන්නේ විනෝදාස්වාදය පිරුණු චිත්‍රපටයක්. ඉතින් ඒ නිසා නෙළුම් කුලුන චිත්‍රපටයට හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙයි කියලා ප්‍රියන්ත අපිට කිව්වා. මොකද විනෝදාස්වාදය පිරුණු චිත්‍රපටවලට ලංකාවේ චිත්‍රපට ලෝලීන්ගෙන් තවමත් හොඳ ඉල්ලුමක් තියෙනවා. පවුලක් වටා තමයි මේ චිත්‍රපටය ගෙතෙන්නේ. මළ ගෙයක් ඇතුළේ හිනාවෙන හැටි බලන්න නෙළුම් කුලුන චිත්‍රපටය නරඹන්න කියලා අපිත් ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා.




‘‘ඇත්තටම මේක මළ ගෙයක් කිව්වට එසේ මෙසේ මළ ගෙයක් නෙවෙයි. මේ මළ ගේ ඇතුළේ සමාජයෙන් හංගන්න හදන කාරණයක් තිබෙනවා. මේ හංගන්න හදන දේ සමාජය තුළ ප්‍රසිද්ධියේ කතා කරන්න බැරි දෙයක්. අපේ සංස්කෘතිය ඇතුළේ මේකට ඉඩක් නැහැ. හිනාවෙන ගමන් සමාජයට මේ නෙළුම් කුලුන කතාව ඇතුළේ ලොකු පණිවුඩයක් සමාජගත කරනවා.’’




නෙළුම් කුලුන ගැන තවදුරටත් ප්‍රියන්ත කතා කළේ එය ඒ තරම් ඔහුට දැනුණ නිර්මාණයක් නිසයි...




‘‘ඉලංගම් රාම් කියන තරුණ අධ්‍යක්ෂවරයා මේ නෙළුම් කුලුන කතාව අපූරුවට නිර්මාණය කරලා තිබෙනවා. මේක අපේ සමාජයේ ජීවත්වන පවුලකට වෙන සිද්ධියක්. මේ දේවල් ඉඳලා හිටලා වෙන්න පුළුවන්. දරුවෝ දෙන්නෙක්. ඔවුන්ගේ බිරින්දෑවරු සහ දරුවන්. අම්මා හා පුංචි කෙනෙක්. ඒ වගේම අසල්වැසියන් හා සමාජය සමග වහන්න හදන මාතෘකාවක් තමා කතා කරන්නේ. මොකද මේ සිදුවීම නිසා මළ ගෙදර කරගන්න බැහැ. ගෙදර අයට බයයි සමාජයේ ප්‍රශ්නයක් වෙයි කියලා. මුළු කතාව පුරාම තාත්තාගේ මළ ගෙදර කරන්නේ කොහොමද කියන කාරණාව ගැන කතා වෙනවා. ශරීරයේ අවයවයක් ගැන තිබෙන පරස්පර සිදුවීමක් තමා මෙයට හේතු වෙන්නේ. මෙතැනින් එහාට මට මේ ගැන කියන්න අමාරුයි. නමුත් මම හැමෝටම ආරාධනා කරනවා ඔබ නෙළුම් කුලුන නැරඹිය යුතුම චිත්‍රපටයක් කියලා.’’




 කොහොම වුණත් මේ වෙද්දි ප්‍රියන්ත mr president නාට්‍යයත් අරගෙන යුරෝපයට ගිහින් ඉන්නේ කියලා අපි මේ සටහන මුලදිම කිව්වනේ. ඉතින් ඒ නාට්‍ය අත්දැකීම ගැනත් ප්‍රියන්ත අපිත් එක්ක අදහස් බෙදා ගත්තා.




"Mr president" නාට්‍ය අපි පටන් ගත්තේ 2022 අවුරුද්දේ. දැනට ඔස්ට්‍රේලියාවේ ජීවත්වන ලංකාවේ සම්මානනීය නාට්‍ය නිර්මාණකරුවෙක් වන ගයාන් කනිෂ්ක රාජපක්ෂගේ නිර්මාණයක්. මම රොෂාන් රවීන්ද්‍ර, කළණ ගුණසේකර, ක්ෂේවියර් කනිෂ්ක කියන හතර දෙනා තමයි රංගනයෙන් දායක වෙන්නේ. 2022 දී අපි ඔස්ට්‍රේලියාවේ පළාත් කිහිපයක දර්ශන වාර කිහිපයක් ප්‍රදර්ශනය කළා. අනතුරුව ලංකාවේත් දර්ශන වාර කිහිපයක්ම පැවැත් වුණා. අවස්ථා දෙකකදී ඔස්ට්‍රේලියාවේත් නවසීලන්තයේත් "Mr president" ප්‍රදර්ශනය කරලා තියෙනවා. නැවත වතාවක් යුරෝපයටත් මේ නාට්‍යය ඉල්ලලා තිබුණා."




ප්‍රියන්ත ඇතුළු mr president නාට්‍ය කණ්ඩායම පසුගිය දහවැනිදා යුරෝපයට ගියේ ඒ ඉල්ලීමට අනුවයි. අපිට දැනගන්න ලැබුණු විදිහට යුරෝපයේ රටවල් කිහිපයකම මේ නාට්‍ය ප්‍රදර්ශනය කරන්න මේ කණ්ඩායම සූදානමින් ඉන්නවා. කොහොම වුණත් ප්‍රියන්ත ඇතුළු ඒ කණ්ඩායම නැවතත් ලංකාවට එන්නේ අප්‍රේල් 10 වැනිදා. ලංකාවට පැමිණියාට පසුව නැවැතත් අලුත් සිනමා නිර්මාණයකට සම්බන්ධ වීමේ බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලත් ප්‍රියන්ත මතක් කළා.




ප්‍රියන්ත කියන්නේ මේ කලා ක්ෂේත්‍රයට වටිනා සම්පතක්. අද බිහිවන සමහර රංගන ශිල්පීන් ශිල්පිනියන් හිටි හැටියේම ජනප්‍රිය වෙලා එක්වරම අතුරුදන් වෙලා යනවා. තවත් සමහරු අපිට මුණගැහෙන්නෙ පුංචි තිරයෙන් විතරයි. තවත් පිරිසක් අපට රිදී තිරයෙන් පමණයි දැක බලා ගන්න හැකියාව ලැබෙන්නේ. ඒත් ප්‍රියන්තව වේදිකාවෙන් පුංචි තිරයෙන් වගේම රිදී තිරයෙනුත් ප්‍රේක්ෂකයන්ට නිතරම මුණගැහෙනවා. ඔහු මේ කලා ක්ෂේත්‍රයට වටිනා සම්පතක් කියලා මම කිව්වේ ඒ නිසාම තමයි.




 ඉතින් වේදිකාව, සිනමාව සහ ටෙලි නාට්‍යය කියන කලා අංගයන් තුනෙන් ප්‍රියන්ත වැඩිපුරම කැමැති මොකටද කියලත් අපි ඇහුවා. මේ මාධ්‍යයන් තුනේම හරි හරියට දක්ෂතා පෙන්වන රංගන ශිල්පියගෙන් ඒ වගේ ප්‍රශ්නයක් අහන එක ටිකක් අසාධාරණයි කියලත් කෙනෙක්ට හිතෙන්න පුළුවන්. කොහොම වුණත් වේදිකාවේ වගේම පුංචි තිරයේත් රිදී තිරයේත් රංගන කටයුතු වලට සහභාගී වෙන්නේ ඉතාමත් කැමැත්තෙන් සහ උනන්දුවකින් කියලා ප්‍රියන්ත ඒ ප්‍රශ්නයට අපිට උත්තරයක් දුන්නා. ඒත් ඉතිං පුංචි කාලෙ ඉඳලම චිත්‍රපට සම්බන්ධයෙන් ලොකු උනන්දුවක් තිබුණු නිසා රිදී තිරය පැත්තට ටිකක් වැඩිපුර නැඹුරු වෙන්න කැමැත්තෙන් ඉන්නවා කියලා තමයි ඔහු අපිට කිව්වේ.




 රංගන ශිල්පියෙක් මේ විදිහට වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය සහ සිනමා නිර්මාණ සමග කාර්යබහුල වෙද්දී පුද්ගලික ජීවිතයේ වැඩ කටයුතු සමබරව කරගන්නේ කොහොමද කියලා ඇත්තටම කෙනෙක්ට ප්‍රශ්නයක් ඇතිවෙන්න පුළුවන්. ඉතින් අපිත් ඒ ප්‍රශ්නය ප්‍රියන්තගෙන් ඇහුවා. ඒකට ප්‍රියන්ත දුන්නේ මෙන්න මේ වගේ උත්තරයක්.




 "මම කාර්යබහුලයි කියලා පෙනුනට මම ඒ පෙනෙන තරම් වැඩකරන්නේ නැහැ. හොඳ නිර්මාණ යම් ප්‍රමාණයකට රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රය තුළ තවමත් මම වේශ නිරූපණ ශිල්පියෙක් හැටියටත් කටයුතු කරනවා. කොහොම වුණත් මම කලා කටයුතුවල නිරත වෙන්නේ ඉතාමත් කැමැත්තෙන් කියලා මගේ පවුලේ අය දන්නවා. ඔවුන් මගේ ගැන තේරුම් අරගෙන ඉන්නේ. ඒ නිසා ප්‍රශ්නයක් වෙලා නැහැ. මගේ බිරිඳ ශිරෝමි පීරිස් සහ දියණියන් දෙදෙනා මම මේ වෙලාවේ ආදරයෙන් මතක් කරනවා. මගේ දියණියන් දෙදෙනාත් කලාවට බොහොම ලැදියි. ඔවුනුත් යම් යම් වැඩ කටයුතු කරනවා. කලාව ගැන ඒ අයටත් ලොකු උනන්දුවක් තිබීම ගැන මට සතුටුයි."





ගහේ කටු උල් කරන්න ඕනේ නැහැ කියලා අපි කතාවටත් කියනවනේ. වෙනත් ක්ෂේත්‍රවලින් අධ්‍යාපනය ලැබුවත් ප්‍රියන්තගේ දියණියන් දෙදෙනාත් කලා කටයුතුවලට උනන්දුයි කියලා ප්‍රියන්ත අපිත් එක්ක කිව්වේ පුදුමාකාර සතුටකින් කියලා අපිට හිතුණා. ඉදිරියේදී ඔවුන්ගේ දක්ෂතාත් ප්‍රේක්ෂකයන්ට අනිවාර්යයෙන්ම දැක බලා ගන්න අවස්ථාවක් උදා වේවි.



Previous Post Next Post