මේ අහසට පොළොවෙන් නගින්නේම එක
දුමාරයයි
උඹ ලෝකෙට කවුරු වුණත්
උඹව මතක සුමානයයි
අපි යකාට බය ද බං
සොහොන අපෙ විමානයයි
ඔය කොකාට වාරය නම්
තිත්තයට දෙවාරයයි
මේ දවස්වල හැමෝගෙම මුවින් ගැයෙන පද ටිකක් තමයි අපි ඔය විදිහට මුලින් සඳහන් කළේ. මේ සින්දුවේ නම තමයි ‘දුමාරේ’. දුමාරේ රිලීස් වුණේ පසුගිය ජනවාරි මාසයේ. මේ වෙනකොට මේ සින්දුව මිලියන දෙකකට අධික පිරිසක් නරඹලා තියෙනවා. මේ දවස්වල සමාජ මාධ්‍යයේ හරි හරියට වයිරල් වෙන දුමාරේ ගායනා කරන්නේ Robee Jay. මෙහි පද රචනය සහ තනුව අත්තිඩියේ පුඤ්ඤරතන හිමි. සංගීතය අනුරාධ අබේසිංහ. දුමාරේ කියන Robee Jay කවුද කියලා ඔයාලා හොයන හින්දම අපි අද ඔහුව මීවිතට රැගෙන ආවා.
ඇත්තටම කවුද මේ Robee Jay?
Robee Jay කියන්නේ සුන්දර හදවතක් තියෙන මනුස්සයෙක්. මේ නම මම ඇත්තටම සංගීතය වෙනුවෙන් නිර්මාණය කරගත්තු නමක්. ඩෙන්සිල් නුගේගොඩ තමයි මට මේ නම වේදිකාවට අනුව නිර්මාණ කරලා දෙන්නේ.
මේ දවස්වල ඔබේ ‘දුමාරේ’ ගීතයට ඉහළ ප්‍රතිචාර ලැබෙනවා?
මට ඇත්තටම හිතෙනවා මම මේ හීනයක ද අතරමංවෙලා ඉන්නේ කියලා. ඒ තරමටම ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. මම හිතන්නේ ලංකාවේ විතරක් නෙමෙයි විදෙස් රටවලින් පවා ඉහළ ප්‍රතිචාර ලැබෙනවා.
සෝෂල් මීඩියාවල වයිරල් වුණු දුමාරේ
දුමාරේ නිර්මාණය වුණේ කොහොමද?
ඒක පිටුපස ටිකක් දිග කතාවක් තමයි තියෙන්නේ. එක්තරා කාලයකදී මම රූපවාහිනි රියැලිටි වැඩසටහනකට සම්බන්ධ වෙනවා. එතැනදි මට මුණගැසෙනවා මගෙත් එක්කම තරග වැදුණු මීරිගම පැත්තේ තරගකරුවෙක්ව. ඔහු මාත් එක්ක තමයි ගෙදර යන්නේ. පසුව මම දැන ගන්නවා ඔහු තමයි ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ ‘මලට රේණු සේ’ කියන ගීතයේ සංගීතය නිර්මාණය කරපු අනුරාධ අබේසිංහ කියන සංගීත අධ්‍යක්ෂවරයා කියලා. අපි දෙන්නා අවුරුදු 10කට විතර පස්සේ මට ඔහුව මුණගැසෙනවා සමාජ මාධ්‍ය ඔස්සේ.
ඔය අතරේ ඔබ ගීත ගායනා කළේ සංචාරක හෝටල්වල එහෙමද?
ලංකාව සහ මාලදිවයින මූලික වුණු තරු පන්තියේ හෝටල්වල විදේශිකයන්ට තමයි ගීත ගායනා කළේ. මට භාෂා නවයකින් ගීත ගායනා කරන්න පුළුවන්.
ආපහු අපි දුමාරේ ගීතය පැත්තට හැරුණොත්?
ගාමිණී හේවාවිතාරණ අධ්‍යක්ෂවරයාගේ චිත්‍රපටයක පසුබිම් ගීතයක් ගායනා කරන්න මට අනුරාධ අබේසිංහගෙන් ආරාධනාවක් ලැබෙනවා. ඒ ගීතය ගායනා කරන්නේ අමන්දා පෙරේරා සමග. මේ ගීතය පටිගත කරන අතරවාරයේදී අනුරාධ අබේසිංහ මහත්තයාව සම්බන්ධ කරගන්නවා. ‘දුමාරේ’ කියලා පද රචනාවකුයි තනුවකුයි නිර්මාණය කරලා තියෙනවා. ඒකට සංගීතය යොදවලා දෙන්න කියලා පිටකවරේ ගීතය ලියපු පූජ්‍ය අත්තිඩියේ පුඤ්ඤරතන හාමුදුරුවෝ.
එතැනදි පුඤ්ඤරතන හාමුදුරුවෝ අනුරාධ අබේසිංහ මහත්මයාගෙන් අහනවා මේක ගායනා කරන්න හොඳ හඬක් නැති ද කියලත්. අන්තිමේ ඔහු අපි කලින් පටිගත කළ චිත්‍රපට ගීතයේ කොටසක් හාමුදුරුවන්ට අහන්න සලස්වනවා. ඒ අනුව තමයි මට මේ ගීතයට ආරාධනාව ලැබෙන්නේ. ඔන්න ඔහොම තමයි දුමාරේ ගීතයේ කොටස්කාරයෙක් වුණේ.
‘දුමාරේ’ ගීතයේ රූප රචනාව ගැනත් කතා කළොත්?
මට ඇත්තටම මේකට විෂුවල් එකක් කරන්න අතේ සල්ලි තිබුණෙත් නැහැ. හාමුදුරුවෝම අපිට ඒකට සෑහෙන උදව් කළා.
විෂුවල් එක කරන්නත් සල්ලි තිබුණෙත් නැහැ. එහෙමද?
සත පහක් අතේ තිබුණේ නැහැ. මොකද මගේ මුදල් සියල්ල වැය වෙන්නේ මගේ පුතාගේ අධ්‍යාපන කටයුතුවලට. මේකට ලොකු මුදලක් වැයවෙන හින්දා මට එච්චර ලොකු මුදලක් හොයාගන්න අමාරුයි. ඊට පස්සේ අනුරාධ අබේසිංහ මහත්තයත් අත්තිඩියේ පුඤ්ඤරතන හාමුදුරුවොත් උදව් කළා. වීඩියෝ ටීම් කිහිපයකට කතා කළහම ඒ කියපු ගණන්වලට මේ සින්දුවට මේ කපේට විෂුවල් එකක් කරගන්න බැහැ.
ඊට පස්සේ මොකද වුණේ?
අන්තිමේ Studio Censහි චාන් ඊ. සිල්වාගේ වීඩියෝ ටීම් එක මට ලොකු සහයෝගයක් ලබාදුන්නා. ඊට පසුව සිසිර ගීකියනගේ නොමිලයේම මට මේ වැඩේ කරන්න හදවතින්ම උදව් කරනවා. තව කෂ්මි නවෝද්‍යා, දිවංක, ප්‍රාර්ථනා පෙරේරා, අජිත් ප්‍රදීප්, අජිත් ආනන්ද එකතු වෙනවා.
ප්‍රදීප් චතුරංග ඔහුගේ බිලියට් ක්ලබ් එක අපිට ෂූටින්වලට ලබාදෙනවා. වෙන්නප්පුවේ සම්පත් අයියා, මීගමුවේ බොනීස් ගාර්ඩන් එක, මීගමුවේ බැරල් හවුස් කියන ස්ථාන හතරේ තමයි රූගත කිරීම් සිදු කළේ.
හාමුදුරුවෝ මට මේ පද ටික එවලා මේක කියන්න කියලා කිව්වට පස්සේ මට තේරෙනවා මේකේ ලොකු බරක් තියෙනවා කියලා. නමුත් මේ බර වදන් ටික සමාජයට තේරෙයි ද කියලා. ඇත්තටම මේ ගීතයට මොනවගේ තැනක් ලැබේවි ද කියලා අවදානමක් මට තිබුණා. හාමුදුරුවෝ මට කතා කරපු හැම තිස්සේම විශ්වාසයෙන් කතා කළේ. ‘අයියේ මේ සින්දුව ලංකාවේ හිට් එකක් නෙමෙයි පිස්සුවක් වෙනවා’ කියලා. මම ඉතින් ඒ වැඩේ සාර්ථක වේවා කියලා මිනුවන්ගොඩ ගලේදේවාලෙට ගිහිල්ලා බාර දෙකක් වුණා, වැඩේ සාර්ථකව කරගන්න කියලා. මේ වෙනකොට මේ ගීතය අපේ හාමුදුරුවෝ කියපු විදිහටම ඉතාම ජනප්‍රිය ගීතයක් බවට පත්වෙලා තියෙනවා.
ඔබ මේ වෙනකොට සංගීත කණ්ඩායමක් එහෙම නියෝජනය කරනවාද?
ඔව්. මම වෘත්තීය සංගීත ශිල්පියෙක්. උසස් පෙළ විභාගයෙන් පස්සේ මම මාර්කටින් ඩිප්ලෝමා එකක් කළා.
රැකියාවක් එහෙම කරලා තියෙනවාද?
ඔව්. මම අවුරුදු 12ක්ම අලෙවිකරණ ක්ෂේත්‍රයේ හිටියේ. අවුරුදු 12කට පස්සේ මම හිතුවා සංගීතය පැත්තෙන් ඉදිරියට යන්න ඕනෑ කියලා.
මගේ ගමන පටන් ගත්තේ කණ්ඩලම හෝටලයෙන්. ඉතාම පොඩි මුදලකට තමයි මියුසික් කරන්න පටන් ගත්තේ. ඊට පසුව හබරණ, සීගිරිය, ත්‍රිකුණාමලය, පාසිකුඩා, නුවර, නුවරඑළිය, දකුණු පළාත වෙනකම් මගේ සංගීතය ව්‍යාප්ත කරගත්තා සංචාරක හෝටල් ඇතුළේ. කණ්ඩලම හෝටලයේ එවකට හිටපු කළමනාකාර ලලිත් රත්නායක මහත්මයා තමයි සංචාරක හෝටල්වලට ඇතුළු වෙන්න අවස්ථාව ලබාදුන්නේ.
තවමත් සංචාරක හෝටල්වල ගීත ගායනා කරනවාද?
ඔව්. ආරාධනා ලැබෙනකොට සම්බන්ධ වෙනවා.
බෑන්ඩ් වැඩෙන් ඈත් වුණාද?
නැහැ. මම බෑන්ඩ් කිහිපයකම ඉඳලා තියෙනවා. මුල් යුගයේ නාද, ශික්ෂා, හාඩ් බ්ලැක්, ත්‍රී සික්ස්ටි, මහනුවර ඕඩිසි, මීගමුවේ එල්. එකොස්ටිකා කියන සංගීත කණ්ඩායම් රැසක ඉඳලා තියෙනවා. මගේ මුල්ම සංගීත කණ්ඩායම වෙන්නේ අනුරාධපුරයේ එකෝඩී්‍රම්ස් කියන සංගීත කණ්ඩායම.
ගම් පළාත එහෙම?
අම්මාගේ ගම කිරිබත්ගොඩ. තාත්තා හොරණ. නමුත් තාත්තයි අම්මයි රජයේ සේවකයෝ හින්දා බොහෝ අවස්ථාවල ස්ථානමාරු ලැබිලා ප්‍රදේශ කිහිපයක හිටියා. නමුත් 1987 මගේ තාත්තට ස්ථාන මාරුවක් හම්බවෙනවා ගලේවෙල පොලිසියට. එතැන ඉඳලා අපේ සුන්දර කාලය ගතවෙන්නේ ගලේවෙල කියන ප්‍රදේශයේ.
ජීවිතයේ දුක්විඳපු අවස්ථා එහෙමත් තියෙනවද?
තවම කට්ට තමයි කන්නේ. ලොකු බරක් බොහෝ දුරක් අරගෙන ඇවිත් නෑ. මට මං ගැනම ආඩම්බරයි. අද මට මගේ හීනය යථාර්ථයක් කරගන්න පුළුවන් වෙලා තියෙනවා.
අලෙවිකරණය විතර ද රැකියාවට කළේ?
අලෙවිකරණය කියන ක්ෂේත්‍රයේ රැකියාව කරනකොට ඒ කාලය තුළ ලද අත්දැකීම් අනුව ඒ සමාගම්වලින් ඉවත්වෙලා 2005දී 2006දී විතර මගේ ව්‍යාපාරයක් පටන් ගන්නවා. මම වාහන පහක් අරගෙන ප්‍රවාහන සේවයක් පටන් ගන්නවා. නමුත් අපි නොහිතපු විදිහට ඒ සියලු දේ කඩාගෙන වැටෙනවා. අන්තිමේ මේ ව්‍යාපාරය මහපාරටම වැටෙනවා. අන්තිමේ අතේ තිබුණු සල්ලිත් ඉවරයි. එතකොට මගේ පළමු වැනි පුතා හම්බවෙන්න බිරිඳ ගැබිනියක් වෙලා හිටියේ. අන්තිමේදී 2006, 2007 වසරවල මම පිටකොටුවේ ත්‍රීවීලර් පවා එලෙව්වා. මට මතක විදිහට මම කෝල් කැබ්ස්වල වැඩ කළා. වාහන පහක් තිබුණා. මට මගේ පුතා හම්බවෙලා ගෙදර ගෙනියන්න රුපියල් සියයක් අතේ නැති තරමටම මම පාරට වැටුණා. මම කාපු කටු ගැන කියලා වැඩක් නෑ. කොරෝනා වසංගතයත් එක්ක ආපහු ආර්ථික අර්බුදවලට මුහුණ දුන්නා. කොහොමහරි පාරේ බැහැලා මාක්ස් පවා වික්කා. ජීවිතේට අපි රටටවත් කාටවත් බරක් වෙලා නැහැ. අන්තිමේ කොහොමහරි මම ජනප්‍රිය වුණා. සමහර වෙලාවට ඒ කාලේ ජනප්‍රිය වුණා නම් මට මේ දේවල් අවබෝධ නොවෙන්න තිබුණා. අද මට මේ සියල්ල අවබෝධ වෙලා තියෙනවා. මොකද බොහොම කට්ටක් කාලා ආපු මනුස්සයකුට මේ දේවල් බොහොම සුන්දරව නිහතමානීව විඳ දරා ගන්න පුළුවන්.
ගස් ඉහළට යනකොට අතු පල්ලෙහාට බර වෙන්න ඕනෑ කියලා කියන්න මම දන්නවා.
පවුලේ විස්තර එහෙම?
මමයි මල්ලියි විතරයි අපේ පවුලේ ඉන්නේ. එයා එංගලන්තයේ පදිංචිවෙලා ඉන්නේ. මගේ පුතා මෙවර උසස් පෙළ විභාගයට සූදානම් වෙනවා. බිරිඳ රැකියාවක් කරන්නේ නැහැ. මම දැනට පදිංචි ගම්පහ.
දුමාරේ ගීතය රසිකයෝ වැලඳ ගැනීමත් සමග මට ගොඩාක් ප්‍රසංග ලැබෙනවා. මේ වෙනකොට ඩුබායි, ජපානය, ඔස්ටේ්‍රලියාව වගේ රටවලින් පවා ආරාධනා ලැබිලා තියෙන්නේ. දුමාරේ කියන ගීතය ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ ලොකු පෙරළියක් ඇති කළා. මේකේ ගෞරවය මෙහි පද පෙළ ලියූ පූජ්‍ය අත්තිඩිගේ පුඤ්ඤරතන හාමුදුරුවෝ වගේම සංගීතය සිදුකළ අනුරාධ අබේසිංහ ඇතුළු සියලුම දෙනාට මම ස්තූතිවන්ත වෙනවා.
දිනේෂ් විතාන