අවුරුදු හතරකට පස්සෙ ගොවි තාත්තා සමග එන හිමාලි

 



හිමාලි සයුරංගි කාලෙකට පස්සෙ සිනමා නිර්මාණයකින් දකින්න ලැබෙනවා. ඒ දර්ශන රුවන් දිසානායකගෙ කුළුඳුල් සිනමා අධ්‍යක්‍ෂණය වන, තම පියාග් ජීවිත කතාව අළලා නිර්මාණය කළ ‘ගොවි තාත්තා’ හි දර්ශනගේ මවගේ චරිතයට පණ පොවමින්. පොලොන්නරුව ප්‍රදේශයේ සිදුකළ මෙහි රූගතකිරීම් හිමාලිටනම් අලුත් අත්දැකීමක් නොවෙයි කියලයි ඇය කිව්වෙ.

අවුරුදු හතරකට පස්සෙ ගොවි තාත්තා සමග එන හිමාලි

හිමාලි, ‘ගොවි තාත්තා’ තිරගත වෙනවා?


ඔව්, මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ සත්‍ය කතාවක් ඇසුරෙන්. මෙහි අධ්‍යක්‍ෂවරයා සංගීත අධ්‍යක්‍ෂවරයෙක්. ‘ගොවි තාත්තා’ කියන්නෙ ඔහුගෙ පළමු සිනමා අධ්‍යක්‍ෂණය. ගීතමය චිත්‍රපටයක් වුණත් ඒ අතර සමාජයට වැදගත් පණිවිඩයක් දෙන්න උත්සාහ කරන නිර්මාණයක්. වසර කිහිපයකට කලින් මෙහි රූගතකිරීම් කළේ සුන්දර පොළොන්නරුවෙ. දර්ශනගෙ පියාගේ ජීවිත කතාව තමයි මේ විදිහට සිනමාවට නැගෙන්නෙ. එහිදී දර්ශනගෙ මවගේ චරිතය වෙනුවෙන් මට ආරාධනය ලැබෙන්නෙ ඒ හැඩහුරුකම්වලට සමානකම් කියන නිසා. ඉතිං අපේ දේවල් ගැන හිතන්න ඇස් අරවන නිර්මාණයක් හැටියට තමයි මම මේක දකින්නෙ.


අවුරුදු හතරකට පස්සෙ ගොවි තාත්තා සමග එන හිමාලි

කුඹුරු වැඩ, මොන වගේ අත්දැකීමක් වුණාද?


ඇත්තටම මට ඒක නුහුරු අත්දැකීමක් නෙමෙයි. මොකද වෙල්එළිවල දුවපැනපු, කුඹුරු වැඩවලට උදව් කරපු සුන්දර අතීතයක් මට තිබුණා. මගෙ ස්වරූපයත් ගැමිකමට ගොඩක් සමීපයිනෙ. ගවුම, චීත්තය ඇන්දාම කොහොමත් ඒක මගේ ඇඟට එනව.


දර්ශන මොන වගේ ඉල්ලීමක්ද ඔබෙන් කළේ?


දර්ශන මට කතාකරල කිව්වෙ මේ මගේ පළමුවැනි වැඩේ, ඒ වෙනුවෙන් සහයෝගය ලබාදෙන්න කියල. මොකද ඔහු වැඩ කළේ සංගීත ක්‍ෂේත්‍රයේ නිසා සිනමාව ගැන අත්දැකීමක් නැහැනෙ. චිත්‍රපටයක් හදන්න මහන්සිවෙන කෙනෙක් ඉන්නවනම්, ඔහුට නිෂ්පාදනයෙන් සහය වෙන්න කෙනෙක් ඉන්නවනම් වගකීමක් අරගෙන ඉතාමත් සහයෝගයෙන් ඒ සඳහා දායකත්වය ලබාදෙන එක තමයි නළු නිළියන් වශයෙන් අපේ යුතුකම. චිත්‍රපට කර්මාන්තය අතහැරිල යන්නෙත්, සමහර නිෂ්පාදකයන් කනගාටුවට පත්වෙලා නැවත චිත්‍රපට නොකරන තැනට පත්වෙන්නෙත් මේ සහයෝගය නැතිවුණාම. ඒ වගේම ප්‍රේක්‍ෂකයන් ඒ නිර්මාණය නැරඹුවොත් තමයි තවත් නිර්මාණයක් කරන්න උත්තේජනයක් ඇතිවෙන්නෙ. ගොවි තාත්තා පිටපත බැලුවාම ඒක මට ඉතාමත් ගැළපෙන නිර්මාණයක්. ඉතිං බොහොම ආසාවෙන් භාරගත්තා.


අවුරුදු හතරකට පස්සෙ ගොවි තාත්තා සමග එන හිමාලි

ඔබ දායක වුණ සිනමා නිර්මාණයක් තිරගත වෙන්නෙ බොහෝ කලකට පසුව?


ඔව්, අවුරුදු හතරකට විතර පස්සෙ තමයි මම රංගනයෙන් දායක වුණ සිනමා නිර්මාණයක් තිරගත වෙන්නෙ.


සහෝදර ශිල්පීන්ගෙන් ලැබුණ ප්‍රතිචාර මොන වගේද?


ජගත් කියන්නෙ බොහොම ඉවසිලිවන්ත, සහයෝගයෙන් වැඩකරන්න පුළුවන්, බොහොම මිත්‍රශීලී ශිල්පියෙක්. ඒ නිසා ඔහුයි මමයි කතාකරල ගොඩක් දේවල් හදාගත්තා. ඒ වගේම මට ලොකු අමුත්තක් වුණෙත් නැහැ, මොකද ජගත් අයියත් එක්ක රඟපාන්න හරිම පහසුයි. විශේෂයෙන්ම කියන්න ඕන මේ චිත්‍රපටයට එකතු වුණ පොඩි ළමයි ටික ගැන. ඔවුන් කොළඹ වුණත් මේ ලොකේෂන් එකට ගියාට පස්සෙ හරිම සැහැල්ලුවෙන් දුවනවා, පනිනවා, දඟලනවා වැඩ ගොඩයි. ඉතිං ඒ ස්වාභාවික ඉරියව්ම කැමරාවට හසුකරගන්න අපිට පුළුවන් වුණා.


වෙනත් නිර්මාණ ගැන කතා කළොත්?


මේ දවස්වල රොෂාන් රවීන්ද්‍ර අධ්‍යක්‍ෂණය කරන අලුත්ම ටෙලි නාට්‍යයේ වැඩ. දැනට මාස දෙකක පමණ පටන් අපි ෂූටිං කරගෙන යනව.


රොෂාන් රවීන්ද්‍ර කියන්නෙ ‘තණමල්විල කොල්ලෙක්’ හරහා බොහෝ කතාබහට ලක්වුණ අධ්‍යක්‍ෂවරයෙක්?


ඔව්, ඒක ඇත්තටම හරිම ලස්සන නිර්මාණයක්. මට අලුත්ම වැඩේට ආරාධනා කරල දැන් අවුරුදු දෙකක් විතර වෙනව. නමුත් නොයෙකුත් ප්‍රශ්න නිසා කරගන්න බැරිවෙලා මේ අවුරුද්දෙ වැඩ පටන්ගත්තෙ. මම කොච්චර රඟපාල තිබුණත් ඇත්තටම මේ අවස්ථාව මට පුහුණුවක් වගේ. මොකද මම හරි කැමතියි ඩිරෙක්ටර් කෙනෙක් මාව අධ්‍යක්‍ෂණය කරනවනම්. ගොඩක් තැන්වලදි අපි ප්‍රවීණයි කියල අපිට ඕන දේ තමයි කරන්න දෙන්නෙ. එහෙම නෙමෙයි, අධ්‍යක්‍ෂවරයෙක් වුණාම ප්‍රවීණ කෙනකුගෙ වුණත් නොදැකපු පැත්තක්, නොදැකපු ස්වරූපයක් එළියට ගන්න පුළුවන් වෙන්න ඕන. මෙතෙක් කලක් කෙනෙක් මගෙන් නොගත්ත සියුම් හැඟීම් හරිම ලස්සනට රොෂාන් මගෙන් ගන්නව. ඒ නිසයි මේ අවස්ථාව මටත් පුහුණුවක් වෙන්නෙ. විකාශය වෙන්න පටන්ගත්තට පස්සෙ ප්‍රේක්‍ෂකයො අනිවාර්යයෙන්ම මේ ගැන කතාකරයි.


හිමාලි එදා වගේම අදත් ජනප්‍රියයි?


ඒක ඇත්තටම මම දන්නෙ නැහැ. මගතොට දැක්කම මාව හඳුනගන්න අය කතා බහ කරනව. ඒ හැරුණම ජනප්‍රියයිද නැද්ද කියන දේ ගැන මම හිතන්නෙ නැහැ. මොකද මට චරිතයක් වෙලා ඉන්න ඕන නැහැ. මට ඕන මම විදිහට ඉන්න. ඒ නිසා සාමාන්‍ය ගමනක්බිමනක් යනකොට මේකප් එකක්වත් දාන්නෙ නැහැ. ඒක හරිම නිදහස්. අපි අපි නොවෙන විදිහට ජීවත් වෙන්න ගියොත් ඒක හරිම අමාරුයි.


නිවේදිකාවගේ භූමිකාව මොන වගේද?


මම වැඩිපුර රඟපාන්නෙ නැති වුණාට නිවේදන වැඩවලදි ගොඩක් බිසී වෙනව. පොඩිකාලෙ ඉඳන්ම ලස්සන වචන මට එනව. ඒ වගේම පොත්පත් කියවන්නත් ආසයි. මේ දේවල් එක්ක නිවේදිකාව කියන භූමිකාව මම ආසාවෙන් කරනව.


කලා ක්‍ෂේත්‍රය තුළ හිමාලිට හදිසි ගමනක් තිබුණෙ නැහැ?


ඔව්, මම බොහොම හිමින් ගමනක් ආපු කෙනෙක් බව හැමෝම දන්නව ඇති. ඒ වගේම හොඳ දැක්මකින් අපිට ක්‍ෂේත්‍රයට එන්න පුළුවන් වුණා. නරක දේවල්වලට යොමු වුණේ නැහැ. දරුවන්ට, දෙමව්පියන්ට, ස්වාමියාට මේ මගේ අහවලා කියල ලස්සනට කියන්න පුළුවන් විදිහට ජීවත්වෙලා තියෙන නිසා වෘත්තීයමය ජීවිතයේදී වගේම සාමාන්‍ය ජීවිතයෙත් ආඩම්බරෙන් ඉන්න පුළුවන්.


ඔබේ කාලයේ රංගන ශිල්පීන් අතර විවිධත්වයක් තිබුණා?


ඔව්, සුජානි, පබෝධා, මුතූ තරංගා, මංජුලා කුමාරි, කාංචනා මෙන්ඩිස්, හිමාලි සයුරංගි, චතුරිකා පීරිස් වගේ තව බොහෝ දෙනෙක් ඉන්නව අපේ කාලයේ එකට ක්‍ෂේත්‍රයේ හිටපු අය. අපි අතර එකිනෙකා ගැන කිසිම ඊර්ෂ්‍යාවක් තිබුණෙ නැහැ. ඒ වගේම එක්කෙනාට එක්කෙනා වෙනස්. ඔවුන්ටම ආවේනික ලස්සනක් තිබුණා. අද එහෙම නැහැ. ඇඟේ පාටින්, කොණ්ඩයෙන්, රඟපාන චරිතවලින් මේ හැමදේකින්ම එක වගේ. කිහිප දෙනෙක් හැරෙන්න අපේ පරම්පරාවෙන් පස්සෙ එහෙම ලොකු වෙනසක් දකින්න නැහැ කියලයි මට නම් හිතෙන්නෙ.


මහේෂ් එදිරිසිංහ




Previous Post Next Post