හැමදාම ප්‍රාර්ථනා කළ අවංක ආදරය මට ලැබුණා- එමාෂා සෙනෙවිරත්න

 



මිහිබට සුරඟනක් දැයි සිතෙන තරමටම මේ දිනවල සමාජ මාධ්‍යවල සැරිසරන ඇගේ රුව සුන්දරය. ඔහු රුව ද කඩවසම්ය. දෙදෙනාගේ ගැළපීම ඉස්තරම්ය. මේ ප්‍රේක්ෂක ඔබ බොහෝ සේ ආදරය කළ දෙවනි ඉනිම ටෙලි නිර්මාණයේ සහේලිය. ජනප්‍රියත්වයේ හිණිපෙත්තේම සිටි ඇය පසු කලෙක ආයාචනාහි එලීනා ලෙසින් ඔබ හමුවට ආවාය. මේ දිනවල ඇය ප්‍රාර්ථනාය. මේ කුමන නමින් ආවත් ප්‍රේක්ෂක ඔබේ ආදරය අඩු නොවූ බව සැබෑය. බොහෝ උණුසුම් ප්‍රතිචාර මැද පසුගියදා මනාලියක වූ ඇය එමාෂා සෙනෙවිරත්නය. ඔහු රුමේෂ් මධුසංකය. අද අපේ කතාබහ ඔහුන් දෙදෙනා සමඟයි.


එමාෂා ප්‍රේක්ෂකයින් අතරට ගියේ සහේලි නිසා. සහේලිට ජීවිත පොතේ පෙරළගන්න බැරිවුණු පිටුව එමාෂා පෙරළුවා නේද?


ඔව්, ඔව්. ඒක තමයි මගේ ජීවිත පොතේ ලස්සනම පිටුව. ජනවාරි 31 වැනිදා අපි විවාහ ගිවිස ගත්තා. ඔහු රුමේෂ් මධුසංක. ක්ෂේත්‍රයේම කෙනෙක්. ඒත් අපි එන්ගේජ්මන්ට් ෆොටෝ එළියට දැම්මේ ගිය සතියේ. ඒකට හේතුව විවාහ ගිවිස ගැනීමත් එක්කම අපි එන්ගේජ්මන්ට් සෝන්ග් එකක් කළා. ඒකට ලස්සන මියුසික් වීඩියෝ එකක් කරලා ඒ දෙකම එකටම රිලීස් කරන්න හිටියා. ඒ නිසා අපි පොඩි කාලයක් ගත්තා. අපි දෙන්නගෙ ආදර කතාව ලස්සන පද පෙළකට පෙරළලා එන්ගේජ්මන්ට් එකත් එක්කම එළියට දාන්න මට ඕන වුණා. හිතුවටත් වඩා ලස්සනට අපිට ඒක කරගන්න පුළුවන් වුණා.


එමාෂා සුරංගනාවක් වගේ හැඩවුණු ඒ දවස ගැනත් කියමු?


ජනවාරි 31 අපේ විවාහ ගිවිස ගැනීම තිබුණේ බොල්ගොඩ පැරඩයිස් ඉන් එකේ. චෙරි බ්ලොසම් තීම් එකට ලස්සන ඩෙකරේෂන්ස් කළේ පැරඩයිස් ෆ්ලෝරා. එදා මාව සුන්දරව හැඩ කළේ ඩීස් සැලෝන්හි ඩිලුක්ෂි නාරංගොඩ. රුමේෂ්ව හැඩ කළේ ධනුෂ්ක පතිරණ. ඒ වගේම සුරංගනා ලෝකෙක අසිරිය මවන අපූරු ඡායාරූප පෙළ කරලා දුන්නේ ඩාර්ක් රූම් ධනුක කුමාරසිංහ. මෙතෙක් කවුරුත් කර නොතිබුණු විදිහේ තීම් එකකට අනුව මගේ හිතේ තිබුණු දේ ඒ විදිහටම හරි ලස්සනට ඉවෙන්ට් එකට ගෙනැල්ල දුන්නේ අශාන් ද සිල්වා. ඒ හැමෝගෙම දායකත්වයෙන් එදා අපේ සුවිශේෂී දවස ගොඩක් හැඩ වුණා.


‘දෙනුවන් හසඟනා’ නිසා එදා තවත් සුවිශේෂී වුණා නේද?


ඔව්. අපි දෙන්නගෙ ආදර කතාව ලස්සන වචන පෙළකින් මගේ ආදරණීය ප්‍රේක්ෂකයින්ට තිළිණ කරන්න මට ඕන වුණා. මුලින්ම අපි ඒ අදහස කිව්වේ ලහිරු ප්‍රභාත් අයියට. ඔහු එක්වරම කැමැති වුණා. ඊට පස්සේ කටාර්වල ඉඳන් අපේ කතාව ලස්සන පද පෙළකට පෙරළුවේ අන්සාෆ් අමීර්. ඒකට හරිම ලස්සන මෙලඩියක් දාලා සංගීතවත් කරල දුන්නේ අශාන් ප්‍රනාන්දු. එය සජීවී රූප රාමු පෙළක් ඔස්සේ රසවිඳීමේ අවස්ථාව උදාකළේ චාරුක දුෂ්‍යන්ත බාලසූරිය. මුලින්ම ලහිරුගේ හඬින් විතරක් ගයන්න හිතුවත් දෙන්නෙකුගේ ආදර කතාවක් නිසා පස්සේ යුග ගීතයක් බවට පත්වුණා. මගේ කොටස මගේම හඬින් ගායනා කරන්න ලැබීමත් විශේෂයි. බදුල්ල, නුවරඑළිය, අඹේවෙල වගේම පැරඩයිස් ඉන් එකත් ලොකේෂන් විදිහට යොදාගනිමින් දවස් තුනක් තිස්සේ ගීතය ෂූට් කළා. අපි හැමෝගෙම මහන්සියේ ප්‍රතිඵල විදිහට තමයි ප්‍රේෂක ආදරය මේ විදිහට ලැබෙන්නේ. ගීතය රිලීස් කරලා පැය 6ක් ඇතුළත නැරඹුම් ලක්ෂය ඉක්මවා ගිහින් තිබුණා. අපේ ජීවිතේ සුන්දරම දවස අමතක නොවන සිහිවටනයක් කරගන්න ලැබීමම ලොකු සතුටක්.


එමාෂා- රුමේෂ් හමුවීම ගැනත් කියමු?


අපි මුලින්ම හමුවෙන්නේ සිත ළඟ හිනැහුණා ටෙලි නිර්මාණයේදී. ඔහු එහි සහාය අධ්‍යක්ෂ විදිහට කටයුතු කළා. අපි මිතුරන් විදිහට කාලයක් ඇසුරු කළා. ඒක මං ආදරය නිසා දුක්බර අත්දැකීමකට මුහුණ දීලා හිටිය කාලයක්. ජීවිතේ අපි ගන්න හැම තීරණේම නිවැරැදි නෑ කියන එක මට තේරුම් කළේ ඒ අත්දැකීම කිව්වත් හරි. මං හැමදාම අවංක ආදරය හොයපු කෙනෙක්. අවංකව ආදරය කරන විශ්වාසය රකින මගේ ආදරෙන් විතරක් සෑහීමකට පත්වෙන කෙනෙක් තමයි මට ඕන කළේ. ඒත් මං බලාපොරොත්තු වුණ ආදරේ එතන තිබුණෙ නෑ. මං ගොඩක් දුක් වින්දා. අපිට තව කෙනෙක් හදන්න බෑ කියන පාඩම ඒකෙන් මං ඉගෙන ගත්තා. අපි ළඟ ඉන්නෙ හරිම කෙනා කියලා අපිට තේරෙනවා නම් විතරයි අපි එතැන රැඳෙන්න ඕන. එහෙම නෑ කියල තේරෙනවා නම් අපි එතැනින් අයින් වෙන්න ඕන. මට පිරිමි ගැන තියෙන විශ්වාසය නැති වුණා. රුමේෂ් කියන්නේ හොඳ යාළුවෙක් වගේම හොඳ ඇහුම්කන් දෙන්නෙක්. මං හොයන දේ රුමේෂ් ළඟ තියෙනවා කියන එක මට තේරුණා. විශ්වාස කළ හැකි පිරිමිත් ඉන්නවා කියන එක ඔහු ඔප්පු කළා. මගෙත් පෙර පිනක් තියෙන්න ඇති ඒ වගේ අවංක කෙනෙක් හමුවෙන්න. මං හැමදාම ප්‍රාර්ථනා කළ අවංක ආදරය මට ලැබුණා. ඒ වගේම මගෙනුත් ඔහුට ඒ ආදරේ ලැබෙන්න ඇති. ගැළපෙනම දෙන්නෙක් හමුවුණා කියන එක තේරුම් ගත්තා. ඇත්තටම ජීවිතේට වටිනා දේ මොකක්ද කියලා තේරුම් ගන්න පෙර අත්දැකීම මට හොඳ අවස්ථාවක් වුණා කිව්වත් හරි.


ක්ෂේත්‍රයේම කෙනෙක් හමුවීම ගැන මොකද හිතෙන්නේ?


ඇත්තටම ලොකු පහසුවක්. ඔහුට මං නියැළෙන කටයුත්ත ගැන අමුතුවෙන් තේරුම් කරන්න දෙයක් නැහැ. ඒ ගැන මටත් වඩා හොඳ අවබෝධයක් ඔහුට තියෙනවා. ඔහුගේ තේරුම් ගැනීම උපරිමයි. ඒ නිසා ඔහු එක්ක ගෙවන ජීවිතේ හරි ලස්සනට ගලාගෙන යනවා.


ඔබේ ඉදිරි නිර්මාණ ගැන කතා කළොත්?


මේ දවස්වල දෙරණ නාළිකාවේ විකාශය වන ප්‍රාර්ථනාහි රූගත කිරීම් ඉවරයි. හරිම ලස්සන අවසානයක් ප්‍රේක්ෂකයින්ට දැකගන්න ලැබේවි. ඊට අමතරව සිරස නාළිකාවේ ‘හිත ළඟ හිනැහුණා’ නැවත විකාශය වෙනවා. රංගනය මගේ වෘත්තියම නොවුණත් මේ වන තුරු අඛණ්ඩවම මං ප්‍රධාන චරිතවලින් නිර්මණවලට දායක වෙලා තියෙනවා. ඒ හැම නිර්මාණයක්ම ප්‍රේක්ෂකයින් ආදරෙන් වැලඳගෙන තිබීම මට ලොකු සතුටක්. ටෙලි නිර්මාණ කිහිපයක්ම එන්න තියෙනවා. අලුත් නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබිලත් තියෙනවා. ඊට අමතරව ඉන්දියන් සිනමාපටයකට සම්බන්ධ වුණා. ඒක ඉදිරියේදී තිරගත වීමට නියමිතයි.


එමාෂා – රුමේෂ් ආදර කතාවේ ඇරඹුම ගැන රසවත්ම කොටස දැනගන්නට අපි රුමේෂ් හා කතාබහට එක්වීමු.


සුරංගනාවියක් වගේ හැඩ වුණු එමාෂා දැන් ඔබේ සහකාරිය. ඒ ගැන මොකද හිතෙන්නේ?


එමාෂා ඇත්තටම සුරංගනාවියක් තමයි. එයා වගේ කෙනෙක් ලැබීම ලොකු සතුටක්. එමාෂා කියන්නේ හරිම කෙයාරින්, ආදරණීය හිත හොඳ කෙනෙක්. ආදරය කියන දේ හරියටම දැනුණෙ එයාගෙන්. ඒක මටත් අලුත් අත්දැකීමක් වුණා. එයාව සතුටු කරන්න ලොකු ලොකු දේවල් ඕන නැහැ. පුංචි දේකින් වුණත් එයාව සතුටු කරන්න පුළුවන්. ඒක මට හරිම පහසුයි. මං එයාගෙන් බලාපොරොත්තු වෙන්නෙ ආදරය විතරයි. ඒක මට උපරිමයෙන්ම ලැබෙනවා. අපි හරිම සතුටින් ඉන්නවා.


රුමේෂ් ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නෙ කොහොමද?


මං කුරුණෑගල, යාපහුවේ. උසස් පෙළ කරපු ගමන්ම මං කොළඹට ආවා. පාසල් කාලෙ රඟපාන්න ආසාවක් තිබුණට ෆීල්ඩ් එකට සම්බන්ධ වුණාට පස්සේ මට කැමරාව පිටුපස සිදුවෙන දේට කැමැත්තක් ඇති වුණා. මුලින්ම දණ්කුඩ බණ්ඩා ටෙලි නිර්මාණයට සම්බන්ධ වුණේ කලා අධ්‍යක්ෂ කියන භූමිකාවෙන්. පස්සේ සහාය අධ්‍යක්ෂ කියන කොටසට හිත ගියා. ක්ෂේත්‍රයේ ඒ සම්බන්ධව කටයුතු කරන අයගෙන් මං ඒ පිළිබඳව දැනුම ලබාගත්තා. මුලින්ම අරුණ ජයවර්ධනගේ ‘සල්මල් ආරාමය’ ටෙලි නාට්‍යයේ දෙවනි සහාය අධ්‍යක්ෂ විදිහට සම්බන්ධ වුණා. ඊට පස්සේ පළමු සහාය අධ්‍යක්ෂ දක්වා ආවා.


එමාෂාව මුලින්ම දැකපු දවස මතකයිද?


මට එමාෂාව හමුවෙන්නේ හිත ළඟ හිනැහුණා ටෙලි නිර්මාණයේදී. ඊට කලින් මං ‘දෙවනි ඉනිම’ ටෙලි නාට්‍යයට සහාය අධ්‍යක්ෂණය පැත්තෙන් සම්බන්ධ වුණා. අපේ ඒඩී රූම් එකේ ආර්ටිස්ට්ලගේ දුරකතන අංක ගහලා තිබුණා. මම වාඩිවෙලා ඉද්දි මං දැක්කා සහේලි කියන නම තියෙනවා. මං ඒක ෆෝන් එකේ ගහගෙන සේව් කරගත්තා. මං දන්නෙ නෑ මට එහෙම හිතුණෙ ඇයි කියලා. ඒ වෙද්දි මං එමාෂාව දැකලවත් තිබුණෙ නැහැ. ඊට අවුරුදු දෙකකට විතර පස්සෙ තමයි එයාව හමුවෙන්නේ. එතකල් අපි වචනයක්වත් කතා කරලවත් නෑ. ඔය අතරේ මං කලින් වැඩ කරපු නිර්මාණයක ඒඩී කෙනෙක් ටෙලි ෆිල්ම් එකකට කියලා මගෙන් එමාෂාගේ නොම්මරේ තියේද ඇහුවා. මම ටක් ගාලා දුන්නා. මටත් ඒකට කතා කළත් කාර්යබහුල වුණ නිසා සම්බන්ධ වෙන්න බැරි වුණා. ඊටත් අවුරුද්දකට විතර පස්සේ මං ‘හිත ළඟ හිනැහුණා’ ටෙලි නිර්මාණයේ වැඩ කරද්දි ඒකට රංගන ශිල්පිනියක් ඕන වෙලා තිබුණා. ගොඩක් අයව බැලුවත් හරි ගියේ නැහැ. එකපාරටම ඩිරෙක්ටර් කිව්වා මේකට එමාෂා හොඳයි කියලා. එතැනදි තමයි මුලින්ම එමාෂාව දැක්කේ.


‘හිත ළඟ හිනැහුණා’ සෙට් එකේදි දෙන්නගෙ වැඩේ රණ්ඩු කරන එකමලු නේද?


එමාෂා පළවෙනි දවසේ ආවේ තාත්තත් එක්ක. වැඩි කතාබහක් තිබුණෙ නෑ. ඒත් ටික දවසක් යද්දි අපි හොඳ යාළුවො වුණා. ඒත් ආදරයක් ගැන කිසිම හැඟීමක් තිබුණෙ නෑ. අපි දෙන්නගෙ වැඩේ රණ්ඩු වෙන එකම තමයි. වැඩත් එක්ක ස්ට්‍රෙස් නිසා මං විහිළුවක් කරලා එයාව කේන්ති ගස්සනවා. හරියට ගෑනියි මිනිහයි වගේ කොයි වෙලාවෙ බැලුවත් උඹල දෙන්නගෙ රණ්ඩුව කියලා ප්‍රදීප් අයියා කෑගහනවා. එමාෂාට චූටි දේකුත් ඇති හිත රිද්දගන්න. හරිම සංවේදියි. ඒ වෙද්දි එයා ආදර සම්බන්ධයක් නිසා මානසිකව වැටිලා හිටියේ. මං නිතරම එයාගෙ හිත හැදුවා. මං එයාට ඇහුම්කන් දුන්නා. එයා කිව්වෙ නැත්නම් මං බලෙන් හරි අහගන්නවා. මොකද විශ්වාසවන්ත කෙනෙකුට කිව්වම හිත සැහැල්ලු වෙනවා කියනවා නේ. අපි දන්නෙම නැතුව ගොඩක් ළං වුණා. ඒත් දෙන්නට දෙන්න කවදාවත් ආදරෙයි කියාගෙන නැහැ. දෙන්නගෙම හිතේ එහෙම දෙයක් ඇතිවෙලා කියන එක දෙන්නටම තේරිලා තිබුණා. අන්තිමට අවංක හිත් දෙකක් එකතු වුණා.


දෙපැත්තේ මවුපියන්ගේ බලපෑමක් තිබුණේ නැද්ද?


ඒ දෙගොල්ලම හරිම අවබෝධයෙන් කටයුතු කරන අය. එයාලා නිතරම කිව්වේ ඔය දෙන්නනේ එකට ඉන්නේ. ඔය දෙන්නට එකට ජීවත් වෙන්න පුළුවන් කියල හිතෙනවා නම් අපිට ගැටලුවක් නෑ කියලා. එමාෂාගේ අම්මා, තාත්තා හරිම හොඳයි. ඒ වගේම කියන්න ඕන අපි දෙන්නගේ අදහස් ගොඩක් ගැළපුණා. බොහෝ වෙලාවට එමාෂා හිතන දේ මං ඒ වෙද්දිත් කරලා. එහෙම නැත්නම් ඒක කරමු කියන තැනට ඇවිල්ලා. එයත් එහෙමයි. ගොඩක් වෙලාවට එහෙම වෙලා තියෙනවා. ඔක්කොම වෙන්නෙ හොඳටයි කියලා අන්තිමට කාලය හැමදේම හොඳින්ම විසඳලා දීල තියෙනවා.




Previous Post Next Post