කාලයේ තාලයට විවාහය අරුමයක් නොවන මෙවන් කාලයක ආයෙමත් යුග දිවියට පිවිසෙන්නට අපේ රටේ ජනප්‍රිය ගායන ශිල්පියෙකු වන විශාරද ජානක වික්‍රමසිංහට ද සිදු වී ඇත. ඔහුගේ සිතේ එවැනි බලාපොරොත්තුවක් නොතිබුණු නමුත් වසර විස්සක පටන් ඔහුට හිතවත් ව ඔහුගේ කොණ්ඩය සකසන නිරෝෂ සහ ඡායාරූප ශිල්පී විශ්ව තරංග ෆොන්සේකා කළ යෝජනාවට පිටුපාන්නට ජානකට සිත් දී නැත. අපේ රටේ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී හැරිස් විජේසිංහයන් විසින් ඉතාම ආදරණීයව ජානකගේ මනාලිය අපූරුවට හැඩගන්වන ලදි.
පොලොන්නරුව රෝහලේ දී ඉපිද පොලොන්නරුව තෝපාව මහා විද්‍යාලය සහ පොලොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයෙන් සිප් සතර උගෙන කුඩා කල පටන් ගීත ගායනයට දස්කම් පාමින් පසුව ගායන විශාරද බවට පත්ව මේ වන විට ජනප්‍රිය ගීත ගණනාවක් ගායනා කර ඇති ඔහු දෙස් විදෙස් සුපතල ගායන ශිල්පියෙකි. අරුමය වන්නේ ජානක හා අතිනත ගත් මනාලිය ද එම රෝහලේම ඉපිද, එම පාසල් දෙකේම ඉගෙනීම් කළ තැනැත්තියක වීම ය. ඇය පසුව මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයට ඇතුළත්ව විද්‍යා අංශයෙන් උසස් පෙළ සමත්ව හෙදියක වීමේ අවස්ථාව උදා කරගත් නමුත් පසුව එය ද ප්‍රතික්ෂේප කර ඇත.
මේ විවාහය සිදු වන්නේ පොලොන්නරුව පැරකුම් සමුදුර අසල පිහිටි අමලියෙන් නිවාස හෝටලයේදීය. ඒ සඳහා සංගීතය සපයා ඇත්තේ පොලොන්නරුවේ සුපර් ෆ්‍රෙන්ඩ්ස් සංගීත කණ්ඩායම විසිනි. සංගීතයට ඇති ඇල්ම නිසාම පාසල් දිවියෙන් පසුව ජානක මෙම සංගීත කණ්ඩායමට සම්බන්ධව බොහෝ කලක් කටයුතු කර ඇත. විවාහයේදී ජානක වික්‍රමසිංහගේ පාර්ශ්වයෙන් සාක්ෂියට අත්සන් තබා ඇත්තේ හිටපු විදුහල්පතිනියක වූ අමරසිංහ ගුරු මාතාවය. මනාලියගේ පාර්ශ්වයෙන් වෛද්‍ය අමරසේන මහතා සාක්ෂියට අත්සන් කර තිබිණි.
“මේ විවාහයට අත්සන් කරන්න හිටියේ කර්නල් දීපාල් සුබසිංහයි. නැකැත් වෙලාව පහු වෙයි කියලා බයට එයා ජීප් රථය වේගයෙන් ධාවන කරලා තියෙනවා. කිතුල් උතුව හරියේදි ජීප් එක පෙරළිලා ඔහුගේ නහය කැඩිලා කොළඹ හමුදා රෝහලට ඇතුළත් කළා. මගේ මිත්‍ර සොලමන් ඩී. කාරියවසම් හරි අපූරුවට රිජිෆෝම්වලින් සාදා නිම කළ මඟුල් පෝරුව විවාහ උත්සවයට කලින් දවසේ ඒ අසල තිබුණු ස්ප්‍රේ තීන්ත එකක තිබූ පෙට්‍රල් නිසා දැවී ගිහින් ලී සැකිල්ල විතරක් ඉතිරි වෙලා තිබුණා. අපේ අම්මා ගෙදර තිබුණු තිර රෙදිවලින් ඒ ලී සැකිල්ල පිළිවෙළට ආවරණය කරලා සැකසුවා. පෝරුවේ චාරිත්‍රත් හොඳටම කළා. අපේ මාමා තුන්වැනි වතාවේදී තමයි පොල් ගෙඩිය කුඩු වෙන්න බිඳ ගත්තේ. මනමාලි ගමන් කළ මඟුල් රථයට වඳුරෙක් හැපිලා මිය ගියා. ඒ බාධක පසු කරමින් ගිහින් පොලොන්නරුව ගිරිතලේ වැව ඉස්මත්තේ පිහිටි ගිරිතලේ හෝටලයේ විසි පහේ කාමරයේ අපි මධුසමය ගත කළා. මේ හැමදෙයක්ම සිද්ධ වෙලා අදට වසර තිස් හයක් වෙනවා. එයාගේ නම දුලානී වීරසිංහ. අපි දෙන්නා මුලින්ම ආදරය කළේ පාසල් යන කාලෙදි. දෙමවුපියන් මුලදි විරුද්ධ වුණත් පසුව එයාලාගේ කැමැත්ත ලැබුණා. පුතා දුලංජන කසුන් වික්‍රමසිංහ අපි දෙන්නා අතරට ආවේ 1990 දී යි. දැන් පුතා නෝර්වේ රාජ්‍යයේ මෘදුකාංග ඉංජිනේරු උපදේශකවරයෙක් හැටියට රැකියාව කරනවා. දුව අයෝධ්‍යා පේෂාලී උපන්නේ 1993 දී යි. දැන් එයා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ෆ්ලයිට් ලෙෆ්ටිනන් තනතුරෙහි වෛද්‍යවරියක ලෙස සේවය කරනවා. ළමයි දෙන්නා වෙනුවෙන් මුළු ජීවිතයම කැප කළේ මටත් වඩා දුලානි. මගේ කාර්යබහුල ජීවිතයට දුලානි කවදාවත් බාධාවක් වුණේ නැහැ. කලාකරුවෙක් හැටියට මම ගොඩනැෙඟද්දී දුලානි ජීවිතයේ බොහෝ දේ දරාගනිමින් මට ශක්තියක් වුණා. අපි දෙන්නම දැන් මේ ජීවන ගමනෙන් හතරෙන් තුනක්ම සතුටින් සමාදානයෙන් ගෙවා අවසන් කර තිබෙනවා. ඉතිරි සුළු කාලයත් සතුටින්ම ඉන්න කියලා දුලානිටත්, මටත් නැවුම් මිහිරක් ගෙන දෙමින් විවාහ සංවත්සර ඡායාරූප එකතුව සඳහා හැඩගැන්වූ ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී හැරිස් විජේසිංහයන්ට, කොණ්ඩා සැකසුම් ශිල්පී නිරෝෂටත්, ඡායාරූප ගැන්වූ විශ්ව තරංග ෆොන්සේකාටත්, අනෙකුත් සියලු දෙනාටත්, පුරා වසර තිස්හයක් බිරිඳ ලෙසින් මා ළඟින් ම සිටි ආදරණීය දුලානීටත් ආදරෙයි”