ජීවිතේ හැමදේම මම කොහොම හරි දරාගෙන හිටියා - තිලානි මහමාලගේ

 


ටිලානි... මේ දිනවල ටිකක් කාර්යබහුලයි වගේ?

ඔව්... මේ දවස්වල ටිකක් කාර්යබහුලයි. පරාක්‍රම සර්ගේ (පරාක්‍රම නිරිඇල්ල) කෙටි චිත්‍රපට කිහිපයකම වැඩ කළා. ඒ වගේම සර්ගේ ඊළඟ චිත්‍රපටයටත් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒකෙ මූලික වැඩ කටයුතු සම්බන්ධයෙන් අපි කතාබහ කරමින් පවතිනවා. ඔය අතරේ මම සම්බන්ධ වුණු පරාක්‍රම සර්ගේ “හැඩ වෙණ බලු‍ නද”‍ වේදිකා නාට්‍ය මාර්තු මස දෙවැනිදා එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත වෙනවා. ඒ වගේම ඉදිරියේදී කුරුණෑගල, මීගමුව, අනුරාධපුරය වැනි ප්‍රදේශවලත් ඒ වේදිකා නාට්‍ය වේදිකාගත වෙනවා. ඒ නිසා ඒ වැඩත් එක්ක ටිකක් කාර්යබහුල වෙලා තියෙනවා.


ටිලානි මුලින්ම සම්බන්ධ වුණේ වේදිකාවටද? සිනමාවටද?

මුලින්ම සම්බන්ධ වුණේ සිනමාවට. මගේ පවුලේ හිතවතකුගේ මාර්ගයෙන් මට 2004 වසරේදී ලාල් ප්‍රියදේව මහතාව මුණගැහුණා. ඔහු සිනමා අධ්‍යක්ෂවරයෙක්. ඔහුගේ “අලි පැටියෝ ඔයයි මමයි”‍ චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙන්න මට අවස්ථාව ලැබුණා. ඒක තමයි මම දායක වුණු මුල්ම නිර්මාණය.


සිනමා පටයකට දායක වෙන්න, එහෙමත් නැත්නම් නිර්මාණයකට දායක වෙන්න ඔයාගේ කැමැත්තක්, රංගනය පිළිබඳ හැකියාවක් තිබුණද?

පුංචි කාලේ ඉඳන් රඟපාන්න ආසාවක් තිබුණා. පාසල් යන කාලයේදී කලා කටයුතුවලට සක්‍රීයව දායක වෙලා තියෙනවා. හිතේ ආසාවක් තිබුණත් නිළියක් වෙන හීනයක් තිබුණේ නැහැ. කොහොම හරි අහම්බයෙන් සිනමා පටයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. හැබැයි ඒ වෙද්දී රංගනය සම්බන්ධයෙන් හැදෑරීමක් කරලා තිබුණේ නැහැ. 2004 වසරේදී ඒ චිත්‍රපටයට සම්බන්ධ වුණා. ඊට පස්සේ ඔහුම අධ්‍යක්ෂණය කළ “අපේ යාළු පුංචි මාළු”‍ කියන චිත්‍රපටයට සම්බන්ධ වුණා. 2011 වසරේදී රූපවාහිනී ටෙලි නාට්‍යයකට අලු‍තින් නිළියක් හොයනවා කියලා මමත් ඒකෙ මූලික පරීක්ෂණයට සම්බන්ධ වුණා. හැබැයි ඒ ටෙලි නාට්‍යයට පෙර මට නලින් මාපිටිය මහතාගේ “ඉස්සරහට යන්න”‍ නම් ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා.


පාසල් වේදිකාවට ටිලානිගේ සම්බන්ධකමක් තිබුණද?

ඔව්... පාසලේදී මම සක්‍රීයව දායක වෙලා හිටියා. මුලින්ම මම කළුතර ශාන්ත ජෝන්ස් විදුහලේ ඉගෙනුම ලැබුවා. ඊට පස්සේ නායකකන්ද ගුඩ් ෂෙපඩ් කන්‍යාරාමයේ ඉගෙන ගත්තා. මම පාසලේ වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණා. සමස්ත ලංකා නාට්‍ය තරගවලත් ජයග්‍රහණ ලැබුවා. පාසලේදී විෂයක් විදිහට නර්තනය හැදෑරුවා.


ටිලානි මුලින්ම සිනමා නිර්මාණයකට දායක වුණේ 2004 අවුරුද්දේ. මේ වෙද්දී වසර විසි එකක් ගතවෙලා. නමුත් ඔයාට දායක වෙන්න ලැබුණේ නිර්මාණ බොහොම අතළොස්සකටයි. මේකට හේතුව ඔයා නිර්මාණ පැත්තෙන් ඈත්ව හිටියද? නිර්මාණ ලැබුණේ නැද්ද?

ඇත්ත. මම හිතන්නෙ කලාව කියන දේට වාසනාව තියෙන්න ඕනෑ කියලයි. නිර්මාණ මම භාරගත්තෙ නැහැ කියලා කියන්න බැහැ. එහෙම භාරගන්න මට ලැබුණු අවස්ථා ගොඩක් අඩුයි. මම දන්නේ නෑ ඒකට හේතුව මොකක්ද කියලා. මාත් එක්ක මේ ක්ෂේත්‍රයට ආපු මගේ සමකාලීනයන් මාව පහුකරගෙන බොහෝ දුර අද ගිහින් තියෙනවා. හැබැයි මට එහෙම ලැබුණු අවස්ථා අඩුයි. ඒ නිසාම රංගනය හදාරන්න ඕනෑ කියලා මටම හිතුණා.


ටිලානි ඊට පස්සේ රංගනය සම්බන්ධයෙන් හැදෑරීමක් කළාද?

ඔව්... නලින් මාපිටිය මහතාගේ “ඉස්සරහට යන්න”‍ ටෙලි නාට්‍යයේ ප්‍රවීණ දක්ෂ රංගන ශිල්පීන් ශිල්පිනියන් බොහොමයක් හිටියා. ඒ හැමෝම හරිම හොඳයි. මට හරිම ආදරෙයි. රංගනය සම්බන්ධයෙන් බොහෝ දේවල් කියලා දුන්නා. ඒ නිසාම මට රංගනය සම්බන්ධයෙන් ඉගෙන ගන්න ඕනෑ වුණා. 2017 වසරේදී ටිකිරි රත්නායක මහතාගේ “ස්වර්ණපාලි”‍ ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණා. ඊට පස්සේ “මුතු කුඩ”‍ ටෙලි නාට්‍යයටත් සම්බන්ධ වුණා. ඒකෙදි නාට්‍යයට සම්බන්ධ වුණු ළමයි පිරිසක් පරාක්‍රම සර්ගෙන් රංගනය ඉගෙනගෙන තිබුණා. ඒ අය එක්ක කළ කතාබහේදී මම ඒ සම්බන්ධයෙන් දැන ගත්තා. ඒ වෙද්දී පරාක්‍රම සර්ගේ වැඩමුළුවක් පොළොන්නරුව ප්‍රදේශයේ තියෙනවා කියලා ආරංචි වුණා. මම කැමති වෙලා පොළොන්නරුවේ ගිහින් ඒ නාට්‍ය වැඩමුළුවට සම්බන්ධ වුණා. එතැන් සිට සර්ගේ වැඩමුළු කිහිපයකටම සම්බන්ධ වුණා.


පරාක්‍රම නිරිඇල්ල අධ්‍යක්ෂණය කළ සිනමා පටය නුදුරේදීම තිරගත වෙනවා. ටිලානිට මේ නිර්මාණයත් සුවිශේෂීයි නේද?

ඔව්... ඒක මට සුවිශේෂී සිනමා පටයක්. 2004 ඉඳන් මේ දක්වා ආපු ගමනේදී මට ලැබුණු අවස්ථා අඩුයි. ඔය අතරේ පරාක්‍රම සර්ගේ චිත්‍රපටය කරන්න යද්දී මේ චරිතයට මාව තෝරා ගන්නවා කියලා කියද්දී මට දැනුණු සතුටු වචනවලින් කියන්න අදටත් තේරෙන්නෙ නැහැ. ඒ චිත්‍රපටයේ චරිත දෙකයි තියෙන්නෙ. ඒ චරිත දෙක තුළින් පැය එකහමාරක් පමණ කාලයක් ජීවිතේ ගැඹුරු බව කියැවෙනවා. ඒකෙ නම “දෙපා නැති සිහිනය”‍යි. ඒ චරිත දෙකට ගොඩක් මහන්සි වෙන්න තිබුණා. හැබැයි ඒ මොහොතේදීවත් ඒ මහන්සිය මට දැනුණේ නැහැ. ඒ තරමටම මම ඒක හරිම ආසාවෙන් කළා.


වසර විස්සකට වැඩි කාලයක් ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා හිටියත්, හොඳ නිර්මාණවලට දායක වෙන්න අවස්ථා නොලැබෙද්දී ඒ සම්බන්ධයෙන් කලකිරීමක් ඇතිවුණේ නැද්ද? ක්ෂේත්‍රයෙන් ඈත්වෙන්න හිතුණේ නැද්ද?

නැහැ... එහෙම හිතුණේ නැහැ. සාමාන්‍ය ජීවිතයේදීත් මොනවා හරි දෙයක් කරන්න ඕනෑ කියලා හිතුණොත් මම ඒක කොහොම හරි කරනවා. මම හැමවෙලේම ස්වභාවධර්මය විශ්වාස කරනවා. අපිට දෙයක් ලැබෙන්න තියෙනවා නම් ඒක කොහොම හරි ලැබෙනවා. ඒක කාටවත් නවත්තන්න බැහැ. ලැබෙන්නෙ නැත්නම් කොහොමටත් ලැබෙන්නෙත් නැහැ කියලා මම දන්නවා. මාත් එක්ක ක්ෂේත්‍රයට ආපු අය මාව පහුකරගෙන ගමනක් යද්දී මට ඔවුන් ගැන තරහක්වත්, ඊර්ෂ්‍යාවක්වත්, කේන්තියක්වත් ඇතිවුණේ නැහැ. මම වාසනාව විශ්වාස කළා.


ටිලානි පුතුන් දෙදෙනකුගේ මවක්?

ඔව්... මට පුතාලා දෙන්නෙක් ඉන්නවා. ලොකු පුතා ඩුබායි රටේ ඉන්නෙ. එයා එහේ හෝටලයක සේවය කරනවා. පොඩි පුතාත් හොඳ රැකියාවක් කරනවා. ඒ දෙන්නා ගැන මට ගොඩක් සතුටුයි.


මේ හෙමින් ආපු දිගු ගමනක්. අද මොකද හිතෙන්නෙ?

අද ගෙවන ජීවිතය ගැන සතුටුයි. අලු‍ත් චිත්‍රපටය නුදුරේදීම තිරගත වෙනවා. ඒ සතුටත් විඳ දරා ගන්නවා. මම හෙමින් ගමනක් ආපු කෙනෙක්. මේ හෙමින් ආපු ගමන ගැන මට සතුටුයි. ජීවිතේ හැමදේම මම කොහොම හරි දරාගෙන හිටියා. මගේ ජීවිතේ ලොකු බලාපොරොත්තු නැහැ. අද මගේ ගමන සාර්ථකයි කියලා මට හිතෙනවා.


• දිශානි ජයමාලි



Previous Post Next Post