ළඳක මහිම රඟපාද්දි මට අවුරුදු 17යි – නීටා ප්‍රනාන්දු




නිලන්ත හපන්වීර අධ්‍යක්ෂණය කළ “තේජා” චිත්‍රපටය වසර 10කට වැඩි කාලයකට පසු තහනම ඉවත් කිරීමෙන් පසු පසුගිය 07 වැනිදා සිට යළි තිරගත කිරීම ඇරඹිණි. මෙහි ප්‍රධාන භූමිකාව නිරූපණය කරනු ලබන්නේ මෙරට මෙන්ම ජාත්‍යන්තරයේදී හොඳම නිළිය ලෙසින් ඇගැයීමට පාත්‍රවුණු නීටා ප්‍රනාන්දුය.

2025 වසරට ඇයගේ කලා දිවියට වසර 60කි. තේජා තිරගත වීමත් සමග ඇයට විශේෂ උපහාරයක් ද පැවැත්වුණා. ලාංකීය සිනමාව මෙන්ම ටෙලිනාට්‍ය කලාව වෙනුවෙන් ද සුවිශාල මෙහෙවරක් සිදුකළ නීටා ප්‍රනාන්දු සමගයි අද අපේ කතාබහ.


ළඳක මහිම රඟපාද්දි මට අවුරුදු 17යි - නීටා ප්‍රනාන්දු

ඔබ සිනමාවට ඇවිත් වසර 60ක්. මේ ගමන ගැන ආපසු හැරී බැලුවොත්?


මගේ කලා දිවියේ වසර 60ක් දෙස ආපසු හැරී බලද්දී සාර්ථකයි කියා හිතෙනවා. මම අවුරුදු 20ක් හිටියේ කැනඩාවේ. මේ ගමන සෙමින් පටන් ගත්තාට සිනමාවේ යම් දුරක් ආවා. සිනමාවේ දෙවැනි ගමන ආරම්භ වුණේ “පවුරු වළලු” චිත්‍රපටයෙන්. එතැන් සිට තවමත් මම මේ ගමන යනවා. ජාත්‍යන්තර සම්මාන රැසක් ලැබුණා. ප්‍රේක්ෂකයන්ට අපිව තවම මතකයි. ඔවුන්ගේ ආදරය තවමත් මට ලැබෙනවා.


ඔබ රංගනයෙන් දායක වුණු ‘තේජා’ චිත්‍රපටය තිරගත වෙනවා නේද?


මගේ සිනමා දිවියට වසර 60ක් සපිරෙන වෙලාවේ ‘තේජා’ චිත්‍රපටය තිරගත වෙන්නේ. ඒ ගැන ඇත්තටම සතුටුයි. ‘තේජා’ චිත්‍රපටයෙන් කතා වෙන්නේත් ගැටලු ගොඩක් මැද්දේ ජීවත්වන කාන්තාවන් ගැනයි. විශේෂයෙන් කාන්තා දිනය මූලික කරගෙන තේජා තිරගත වීමත් තවත් සුවිශේෂී කාරණාවක්. ඒකත් හිතපු නැති විදිහට වෙච්ච දෙයක්.


ළඳක මහිම රඟපාද්දි මට අවුරුදු 17යි - නීටා ප්‍රනාන්දු

තේජා නිර්මාණය වුණේ කොහොමද?


නිලන්ත හපන්වීර කියන්නේ මගේ මිත්‍රයෙක්. ඔහු කලා කේෂ්ත්‍රයේ සෑහෙන කාලයක් වැඩ කරලා තියෙනවා. ඔහුත් සමග මම මීට කලින් කෙටි චිත්‍රපටවල වැඩකරලා තියෙනවා. ඔහුට සාහිත්‍යය පිළිබඳව වගේම කලා නිර්මාණ පිළිබඳව හොඳ දැනුමක් තියෙනවා. ඔහුගෙන් තමයි මට මේ සඳහා ආරාධනාව ලැබෙන්නේ. නිදහස් වෙළෙඳ කලාපයේ සමහර ඇඟලුම් කර්මාන්ත ශාලාවල කාන්තාවන්ට සිදුවන තාඩන පීඩනවලට එරෙහිව ඇති කරන අරගලයක් පිළිබඳවයි මේ තුළින් කතා බහ කරන්නේ.


මේ චිත්‍රපටය නිර්මාණය කරලා වසර 10කට පසුව තමයි තිරගත වෙන්නේ?


ගොඩක් චිත්‍රපට නිර්මාණය කරලා තිරගත වෙන්න සෑහෙන කාලයක් ගතවෙනවා. තේජා නිර්මාණය කරලා අවුරුදු 10කට වැඩියි. දැන් වගේ නෙමෙයි. ඒ කාලේ මේවාට ප්‍රශ්න වැඩියි. ඇත්තටම මෙච්චර කාලයක් චිත්‍රපටයක් රඳවාගෙන යළි මුදාහරින කොට නිෂ්ාදකයකුට විශාල අසාධාරණයක් සිදුවෙනවා. දැන් තියෙන ක්‍රමවේදයට අනුව හරිම අමාරුයි චිත්‍රපටයක් තිරගත කිරීම. චිත්‍රපටයක් නිර්මාණය කරලා ඒ විගසම තිරගත කිරීම සිදු කළානම් තමයි නිෂ්පාදකවරයාට සාධාරණය ඉෂ්ට වෙන්නේ. තේජා තිරගත කරන්න අදහස තිබුණෙත් කාන්තා දිනය මූලික කරගෙන. අන්තිමේ කොහොම හරි 2025 වසරේ තමයි අපේ අදහස ක්‍රියාත්මක කරගන්න පුළුවන් වුණේ.


සිනමාවට ඇවිත් වසර 60ක්. ඔබ වර්තමාන සිනමාව දකින්නේ කොහොමද?


වර්තමාන සිනමාවේ ප්‍රශ්න ගොඩක් තිබෙනවා. අපි සිනමාවට ආපු කාලේ චිත්‍රපටයක් ප්‍රදර්ශනය කරනකොට ඒ චිත්‍රපටය අඩුම තරමේ මාසයක්වත් හෝල්වල දුවනවා. දැන් වෙනකොට එක හෝල් එකක චිත්‍රපට ගණනාවක් ප්‍රදර්ශනය වෙනවා. ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. මොකද ප්‍රේක්ෂකයෝ කොයි වෙලාවෙද කොයිකද බලන්නේ කියන පැටලැවිල්ලක ඉන්නවා. මට ඒ ගැන ලොකු කනගාටුවක් තියෙනවා.


නිෂ්පාදිකාවක් විදිහට ඔබ මුහුණ දුන් ප්‍රශ්න ගැන කතා කළොත්?


අපි මුදල් වියදම් කරලා චිත්‍රපටයක් කළාම රටේ ප්‍රශ්නයි, දේශපාලන ප්‍රශ්නයි, ආර්ථික ප්‍රශ්නයි හින්දා අවසානයේ නිෂ්පාදකවරයා තැළෙනවා. අදත් ඒක සිද්ධවෙනවා. ඒක තමයි මම දකින නරකම කාරණාව. දැනට පවතින තත්ත්වය අනුව ඒක හරිම අසාධාරණයි. ඒ සඳහා යම්කිසි වැඩපිළිවෙළක් නිර්මාණය කළ යුතුයි. දැන් ප්‍රදර්ශන මණ්ඩලයේ ඒකාධිකාරයක්නේ තියෙන්නේ. රජය හෝ චිත්‍රපට සංස්ථාව හෝ මෙයට මැදිහත්විය යුතුයි. මම හිතන්නේ මේ සඳහා සාමකාමීව කතාබහ කරලා විසඳුමක් සෙවිය යුතුයි.


ඔබ සිනමාව ජාත්‍යන්තරයට රැගෙන ගිය රංගන ශිල්පිනියක්. මොකද ඒ ගැන හිතෙන්නේ?


මට පළමුවතාවට අන්තර් ජාතික සම්මානයක් හිමි වෙන්නේ 1988 වසරේ 11 වැනි සිංගප්පූරු සිනමා සම්මාන උළෙලේදී, පවුරු වළලු චිත්‍රපටයේ රංගනය සඳහා. ඊට පස්සේ පාංශු සිනමා නිර්මාණය වෙනුවෙන් ප්‍රංශයේ නිව් සිනමා සම්මාන උළෙලේදීත් ලංකාවේ ඕ.සී.අයි.සී., සරසවි සම්මාන ඇතුළුව දේශීය සම්මාන රැසක් හිමිවෙනවා. මම කලාවට එන්නේ මගේ මාමා කෙනකුගේ උදව්වෙන්. මේ වෙනකොට මම සිනමා නිර්මාණ හැත්තෑවකට ආසන්න සංඛ්‍යාවක රඟපාලා තියෙනවා. මම ‘ළඳක මහිම’ චිත්‍රපටයේ රඟපාද්දි මට වයස අවුරුදු 17යි. ඒ මම ඉස්කෝලේ යන කාලේ. ප්‍රවීණයන් එක්ක රඟපාන්න ලැබීම මගේ වාසනාවක් විදිහටයි මම දකින්නේ.


ඔබ රංගනයෙන් දායක වුණු ‘ස්වර’ සිනමා නිර්මාණයත් කතාබහට ලක්වුණා?


ඒකත් සමාජ සද්කාරයක්නේ. කතාබහට ලක්වුණාට ප්‍රශ්න රැසකට ස්වර සිනමා නිර්මාණයටත් මුහුණදෙන්න සිද්ධ වුණානේ. චිත්‍රපටය බලන්න යන මිනිස්සුන්ට ශාලාවලින් කියනවා ඒ චිත්‍රපටය එදාට පෙන්වන්නේ නැහැ කියලා. වෙන චිත්‍රපටයක් පෙන්වනවා. ඒක කොච්චර අසාධාරණයක්ද? ඒ වගේ දේවල්වලින් හරි කලකිරෙනවා. අපි මහන්සිවෙලා සමාජ සද්කාරයක් කරන්න හදනකොට ඒක පිළිගන්නේ නැහැ වගේ එකක්නේ සිද්ධ වුණේ. එතැනදී තියෙන්නේ ප්‍රේක්ෂකයන්ගේ වරදක් නෙමෙයි, චිත්‍රපට ප්‍රදර්ශනය සිදුකරනු ලබන ප්‍රදර්ශකයන්ගේ වරදක්නේ.


ඔබ සිනමාවේ දෙවැනි ගමන අරඹන්නේ ‘පවුරු වළලු’ සිනමා නිර්මාණයෙන් නේද?


‘පවුරු වළලු’ තුළින් තමයි මගේ සිනමාවේ දෙවැනි ගමන ඇරඹුණේ. ඒ කතාව හරි. දැන් ඔය අවුරුදු හැටක් කියලා කිව්වත් මම සිනමා ලෝකයේ අවුරුදු හැටක් හිටියේ නැහැ. ඇත්තම කියනවා නම් මම අවුරුදු විස්සක් විතර හිටියේ කැනඩාවේ. අවුරුදු 40ක් විතර තමයි මම වැඩ කරලා තියෙන්නේ. ප්‍රසන්න විතානගේ ගේ පවුරු වළලුවලින් ඇරැඹුණු ඒ ගමන එදා ඉඳලා මේ වනතුරු යනවා.


දිනේෂ් විතාන




Previous Post Next Post