සෙට් එකේදී අපි හමු‍වන්නේ නන්නාඳුණන අය වගේ -බුද්ධික සේමසිංහ

 




මේ දිනවල ප්‍රේම රස්තියාදුවේ යෙදෙන මේ අපූරු යුවළ ගැන බොහෝදෙනාගේ කතාබහට ලක්වී ඇත. ආකර්ෂණීය පෙනුම මෙන්ම හැකියාව ද ඔවුන් මෙතෙක් පැමිණි ගමන් මඟට ආලෝකයක් විය. ඔහු අතිශයින්ම ජනප්‍රිය තිරපිටපත් රචකයෙකි. යුගයේ කතාකාරයා නමින් ක්ෂේත්‍රයේ ප්‍රකට ඔහු මේ වනවිටත් මිලියන ගණනින් ප්‍රේක්ෂක ආදරය දිනා සිටින පාට කුරුල්ලෝ ටෙලි නිර්මාණයේ තිරපිටපත් රචක බුද්ධික සේමසිංහය. ඇය සිකුරු ඇවිත්, පාවී එන්න ආසයි, සිත නිදි නෑ මෙන්ම මේ දිනවල ප්‍රේම රස්තියාදුව ඔස්සේ ප්‍රේක්ෂක ආදරය දිනා සිටින සුරූපී රංගන ශිල්පිනී නයෝමී පෙරේරාය. තිරපිටපත් කිහිපයක් සමඟ අධික ලෙස කාර්යබහුල වී සිටින බුද්ධික පළමුව අප හා එක්වූවේ තිර රචනයේ මෙන්ම රංගනයේ ද රසමුසු තැන් ගැන සිය මතකය අවදි කරමිනි.


බුද්ධික සේමසිංහ කියන්නේ දක්ෂ, ජනප්‍රිය තිරපිටපත් රචකයෙක්. ඒත් මේ දිනවල ඔබ හමුවෙන්නේ නයෝමිත් එක්ක ප්‍රේම රස්තියාදු ගහද්දි. ඒ ගැන මොකද හිතෙන්නේ?   


එක පැත්තකින් මං මේ දිනවල සමාජ මාධ්‍ය සමීක්ෂණවලට අමතරව පාට කුරුල්ලෝ ටෙලි නිර්මාණය වෙනුවෙන් සජීවී ප්‍රේක්ෂක ආදරය විඳිනවා. ඒක පුදුමාකාර විදිහට හිත පිනවන අත්දැකීමක් කිව්වත් හරි. අනෙක් පැත්තෙන් ගත්තොත් රංගන ශිල්පියෙක් විදිහට ප්‍රේම රස්තියාදුවේ අභී නිසා ප්‍රේක්ෂක ආදරය විඳිනවා. කාර්යබහුල වුණත් නයෝමිත් එක්ක එකම ටෙලි නිර්මාණයකට දායක වෙන්න ලැබීම සතුටක්.


බොහෝ දෙනා බුද්ධිකව අඳුනගෙන ඉන්නේ ජනප්‍රිය තිරපිටපත් රචකයෙක් විදිහට. කොහොමද එකපාරටම රංගන ශිල්පියාව මතුවෙන්නේ?


ගොඩක් දෙනෙක් නොදන්නවා වුණාට පාසල් වේදිකාවේ මං ගොඩක්ම ජනප්‍රිය රංගන ශිල්පියෙක් විදිහට. හත් අට වතාවක්ම හොඳම නළුවාට සම්මානිත වෙලා තියෙනවා. නමුත් ටෙලි තිරය ඉදිරියේ පළමු වතාවට රංගන ශිල්පියෙක් වෙන්න අවස්ථාව ලැබෙන්නේ චාමර පීරිස් අධ්‍යක්ෂණය කළ බටහිර අහස ටෙලි නිර්මාණයේ චව්වා කියන කොමඩි චරිතයෙන්. ඒක මං ජනිත් වික්‍රමගේ වෙනුවෙන් ලියපු කොමඩි චරිතයක්. හදිසියේම ජනිත්ට විදෙස්ගත වෙන්න සිදුවීමත් එක්ක අධ්‍යක්ෂවරයාගේ ඉල්ලීමට මට ඒ චරිතය කරන්න වුණා. චව්වා ගොඩක් ජනප්‍රිය වුණා. ඊට පස්සේ ටෙලි නිර්මාණ දහයකට විතර සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා.


අභී කියන්නේ ප්‍රධාන භූමිකාවක්. සතියේ දින පහේම විකාශය වන ටෙලි පිටපත් තුනක් ලියන අතරතුරේ කොහොමද රංගනය සඳහා කාලය වෙන්කර ගන්නේ?


ඇත්තම කතාව ප්‍රේම රස්තියාදුවට කාස්ට් වුණේ නයෝමි. එහි අධ්‍යක්ෂ ප්‍රදීප් රසාංග. තිර පිටපත ගයනි අශිංසලාගේ. ප්‍රදීප් කියන්නෙත් මගේ හොඳම හිතවතෙක්. ඒ වගේම සහාය අධ්‍යක්ෂ නලින්ද උදයසිරි මේ ක්ෂේත්‍රයේ මං ඇසුරු කරන මුල් පස්දෙනාගෙන් කෙනෙක්. කතාවේ විදිහට නයෝමි (මේඝා) විවාහකයි. අභී කියන්නේ ඇගේ කලින් පෙම්වතා. ඒ චරිතයට කෙනෙක් හොයද්දි නලින්ද තමයි කියල තියෙන්නෙ මේකට ගැළපෙනම කෙනා බුද්ධික කියලා. ඔවුන් දෙන්නගෙන්ම ආරාධනා ලැබුණා. හත් අට පාරක්ම ප්‍රතික්ෂේප කරන්න වුණේ ඒ වෙද්දි මං තිර පිටපත් තුනක් එක්ක ගොඩක්ම කාර්යබහුල වෙලා හිටිය නිසා මිසක් ලොකුකමකට නෙවෙයි. ෂෙඩියුල් එකකට එක දවසක් බැඟින් හරි දාගෙන කරමු කියන තැන ඉඳන් තමයි අන්තිමට මං සම්බන්ධ වුණේ. කතාවේ ප්ලොට් එක ප්‍රධාන වශයෙන් දිවෙන්නෙත් මේ චරිත තුන වටා.


නයෝමි කියන්නෙ සැබෑ ජීවිතේ ඔබේ බිරිය. ඇගේ කලින් පෙම්වතා විදිහට රංගනයේ යෙදෙද්දී මොනවගේ හැඟීමක් ද ඇති වුණේ?


තිර පිටපතක් ලියවෙන්නේ උපකල්පනය කරලා වැඩි වර්ෂන් එකකින්. අන්න ඒ වර්ෂන් එක තමයි අපි මේ රඟපාන්නේ. එහෙම නැතුව ඇත්ත ජීවිතේ කවදාවත් අපි ඔහොම කතා කරලා, හැසිරිලා නෑ. ඒ නිසා ඒක අපිට රංගනයක් විතරමයි. ඒ මූමන්ට් අපිට පහසුවක් වුණා. අතින් අල්ලද්දි, ළඟට ගනිද්දි වුණත් වෙන කෙනෙක් එක්ක රඟපානවට වඩා පහසුයි.


ගෙදරදි චරිත ගැන අවබෝධයක් ලබාගන්න හැකියාව ලැබෙන එක පහසුවක් වෙන්න ඇති නේද?


ඒකට කොහෙත්ම අවස්ථාවක් ලැබෙන්නෙ නෑ. ඒකට හේතුව ෂූටින් දවසේ පාන්දරත් මං පිටපත් ලියලයි යන්නේ. මේ අවුරුදු ගාණෙදිම ගෙදරදි අපි නොයෙක් චරිත ගොඩනැඟෙන විදිහ ගැන කතාකරලා තියෙනවා. මං ලියන චරිත වගේම නයෝමිට ලැබෙන චරිත ගැනත් අපි ගෙදරදී කතාබහ කරනවා. නමුත් ප්‍රේම රස්තියාදුව ගැන අපිට කතා කරන්න වෙලාවක් ලැබුණේ නෑ. සෙට් එකේදී අපි හමුවෙන්නෙත් පිට දෙන්නෙක් වගේ. නයෝමිත් මගේ අනෙක් ටෙලි නාට්‍යයේ ෂූටින් ගිහින් එන්නේ.


ඔබත් තිර පිටපත් රාශියක් රචනා කළ කෙනෙක්. අභීගෙ චරිතය ගත්තොත් මෙන්න මෙතන මෙහෙම වුණා නම් හොඳයි කියල හිතුණ තැන් තිබුණෙ නැද්ද?


පැහැදිලිවම එහෙම තැන් තිබුණා. යම්තාක් දුරකට මගේම චරිතය ප්‍රතිනිර්මාණය කිරීමක් නිසා මට දැනුණු සමහර චූටි තැන් අධ්‍යක්ෂවරයා සහ රචකයා සමඟ සාකච්ඡා කරලා වෙනස් කරගත්ත අවස්ථා තිබුණා. ඒත් සියයට සීයක්ම අදාළ තිරපිටපතටම අනුකූල වෙන්න මං උත්සාහ කළා..


බුද්ධික කියන්නේ අතිශයින්ම කාර්යබහුල චරිතයක්. රංගනයත් එක්ක ඒ තත්ත්වය තවත් උග්‍ර වෙලා. සියල්ල දරාගෙන ඔබට සහාය වන ඇය ගැනත් කියමු?


ඇත්තම කතාව කිව්වොත් ඇය මාව දරාගැනීමම තමයි මගේ සාර්ථකත්වයට හේතුව. කොතරම් කාර්යබහුල වුණත් ජනප්‍රියම රචකයෙක් කියන තැන මට ඉන්න පුළුවන් වෙලා තියෙන්නෙත් ඇය නිසා. මං නයෝමි එක්ක කාලෙකින් නිදහසේ ට්‍රිප් එකක්වත් ගිහින් නෑ. අපි දෙන්නට දෙන්නා නිතරම මිස් වෙනවා. ඒ නිසාම මං කිහිපසැරයක්ම රංගන අවස්ථාව ප්‍රතික්ෂේප කරන්න උත්සාහ කළෙත් ඇය එක්ක ගෙදරදි කතා කරන්න තියෙන පුංචි ඉඩකඩත් ඇහිරෙන නිසා. මේ වෙද්දි විකාශය වෙන්නේ පාට කුරුල්ලෝ සහ සිකුරු ඇවිත් විතරයි. අඩුම ගාණේ දවසකට තිරපිටපත් පහකටවත් ආරාධනා ලැබෙනවා. කොහොමත් මං ඉදිරියේදී උත්සාහ කරනවා සතියේ දින පහේම විකාශය වන එක් ටෙලි නාට්‍යකට පමණක් සීමා වෙන්න. ඒ වගේම මේ දිනවල මං වෙනුවෙන්ම තිරපිටපතක් ලියවෙනවා. ඒක අධ්‍යක්ෂණයත් මගේ. ඉදිරියේදී ප්‍රේක්ෂකයින්ට වෙනස්ම අත්දැකීමක් විඳගන්න හැකිවේවි.


පාට කුරුල්ලෝ ටෙලි නිර්මාණය මේ වෙද්දි අතිශයින්ම ජනප්‍රියයි. කොතරම් ජනප්‍රිය වුණත් ඒකාකාරී වුණොත් රසයට හානියක් වෙයි නේද?


පහුගිය දවසක මායි ලොකු බ්‍රදර් දේවින්දයි නුවර ගියා. ස්ථාන කිහිපයකදීම අපට සජීවී ප්‍රේක්ෂක ප්‍රතිචාර විඳින්න අවස්ථාව ලැබුණා. පුදුමාකාර විදිහට දැනුණා. ඇතැම් ප්‍රේක්ෂකයෝ බස්වලින් බැහැලා ඇවිත් ලොකු බ්‍රදර් එක්ක සෙල්ෆි ගහන්න පොරකද්දි මං පැත්තකට වෙලා බලාගෙන හිටියා. ඒ හැම තැනදිම ලැබුණු ප්‍රතිචාර ගැන පුදුමාකාර සතුටක් දැනුණා. මං එක්ක කතා කරපු ප්‍රේක්ෂකයින්ගෙන් මං බලාපොරොත්තු වුණේ තිර රචකයෙක් විදිහට ප්‍රතිචාර වුණත් ඔවුන් අභීට දක්වපු ප්‍රතිචාරත් හරිම ඉහළයි. සමාජ මාධ්‍යවල ලැබෙන ප්‍රතිචාරවලට වඩා සජීවීව ලැබෙන ප්‍රතිචාර හිතට දැනෙනවා වැඩියි. ඉතාම නුදුරේදී පාට කුරුල්ලෝ ලොකු බ්ලාස්ට් එකක් වීමට නියමිතයි.


බුද්ධිකගේ ආදරණීය බිරිය නයෝමි පෙරේරා කියන්නෙත් ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ප්‍රේම රස්තියාදුව, බඹරෙක් ඇවිත් සහ සිත නිදි නෑ ටෙලි නිර්මාණත් සමඟින් මේ දිනවල කාර්යබහුල වී ඇති බව පවසමින්ම ඇය අප හා කතාබහට එක්වූවාය.


නයෝමි මේ දවස්වල බුද්ධිකත් එක්ක ප්‍රේම රස්තියාදු ගහනවා නේද? කොහොමද අවස්ථාව ලැබෙන්නෙ?


ප්‍රේම රස්තියාදුවට මුලින්ම තෝරගෙන තිබුණේ මාව. මගේ හිටපු ප්‍රේමවන්තයා සහ සැමියා විදිහට තව චරිත දෙකක් මා වටා තිබුණා. සැමියා විදිහට ඉන්නේ විරාජ් පෙරේරා කියලා දැනන් හිටියත් ප්‍රේමවන්තයා කවුද කියලා දැනන් හිටියේ නැහැ. කොහොම හරි අන්තිමට බුද්ධිකම අරන් තිබුණා. අපි කොමර්ෂල්වල, ටෙලි චිත්‍රපටවල එකට දායක වෙලා තිබුණත් ටෙලි තිරයේ ප්‍රධාන චරිතවලින් අපි දෙන්නා එකට සම්බන්ධ වුණු පළමු අවස්ථාව මේක.


කොහොමද ඒ අත්දැකීම?


ඒක ටිකක් අපහසු අත්දැකීමක් වුණා. එයා මට අතහැරුණු මගේ හිටපු ප්‍රේමවන්තයා. මට වෙනින් කෙනෙක් එක්ක විවාහ වෙන්න වෙනවා. ඇත්තටම මෙයාව මට අතහැරුණොත් කියන සිතුවිල්ල ඇවිත් ඇත්තටම මං සංවේදී වුණ නිසා ඒ අවස්ථා හරිම තාත්විකව ආවා. ගොඩක් දෙනෙක් කතා කරලා ඇහුවා කොහොමද ඔය දෙන්නා ඔහොම රඟපාන්නෙ කියලා. ඒ හැඟීම එයාලටත් දැනිලා තිබුණා.


ප්‍රේම රස්තියාදුවේ ඔබේ සැමියා වෙන්නේ විරාජ් පෙරේරා. එක පැත්තක සැබෑම සැමියා ළඟ තියාගෙන වෙන කෙනෙක් එක්ක ඉන්න ලැබුණු අවස්ථාව කොහොමද දැනුණේ?


එයා මගේ සැමියා වුණාට මගේ හිතේ එයාට කිසිම කැමැත්තක් නෑ. ඒක කොළේකට විතරක් සීමා වුණු විවාහයක්. මං එයාව නිතරම ප්‍රතික්ෂේප කරනවා. අම්මා ඉදිරියේ විතරයි බොරුවට රඟපාන්නේ. මං ආදරේ කරන්නේ, දුක්වෙන්නේ, අඬන්නේ හිටපු ප්‍රේමවන්තයා නිසා. එතැනදි සැමියාට ආදරේ කරන චරිතයක් නොවුණු එක පහසුවක් වුණා. විරාජ් අයියගෙනුත් ලොකු සපෝට් එකක් ලැබුණා ඒ අවස්ථා ගොඩනඟාගන්න.


ප්‍රතිචාර ගැන කතා කළොත්?


ගොඩක් අය අහන්නේ කොහොමද ඔයාල දෙන්නා ඔහොම හොඳට එකට රඟපාන්නෙ කියලා. ඔයාලට හිනා ගියේ නැද්ද? අමාරු වුණේ නැද්ද? කියලා. ටෙලි නාට්‍ය විකාශය වෙද්දි මටත් හිතාගන්න බැරි වුණා කොහොමද අපි එච්චර හොඳට කළේ කියලා. ගොඩක් අය කිව්වා ඔයාගෙ ඇස් දෙකෙන් ඒ වේදනාව හොඳින්ම පෙනුණා කියලා. ඇත්තටම මෙයා නැති වුණොත් කියන හැඟීම මං ඇඟට ගත්තා. එතැනදි නිකන්ම සංවේදී වුණා.


සැබෑ ජීවිතේ ඔබ දෙපළ හරිම ආදරණීයයි. සැමියා සමඟ රණ්ඩුවෙන, තරහ වෙන දර්ශන රඟපාන එක අභියෝගයක් වුණේ නැද්ද?


ඇත්තටම මට තිබුණු ලොකුම අභියෝගයත් ඒකම තමයි. අපි කවදාවත් රණ්ඩු වෙන්නෙ නෑ. එක තැනක බුද්ධිකගෙ කනට ගහන්න තියෙනවා. ඒක කරන්න හරිම අමාරු වුණා. මං පුහුණු වෙද්දිවත් ගැහුවේ නෑ. බුද්ධිකත් දන්නවා මට ඒක කරන්න බෑ කියලා. ඔහු බලකළා මේ වැඩේට ඕන නිසා ගහන්න කියලා. කොහොමහරි හරිම අමාරුවෙන් තමයි ඒක ෂූට් කළේ. එක ෂොට් එකෙන්ම ගත්තා. ආදරේ කරන්නත් පුළුවන්, බණින්නත් පුළුවන් ඒත් ගහන්න බෑ. අපිත් දැනගෙන හිටියෙ නෑ තිරයට අපි දෙන්නා මේ තරම් හොඳට ගැළපෙනවා කියලා. ඒ ගැනත් සෑහෙන්න ප්‍රතිචාර ලැබුණා. හරිම සතුටුයි. මේ දවස්වල වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නෙත් ප්‍රේම රස්තියාදුවට.


රංගනයත් එක්ක බුද්ධිකගේ කාර්යබහුලත්ව තවත් වැඩි වෙලා. ඒ ගැන මොකද හිතෙන්නේ?


මං හැමදාම එයාට කියන්නේ ඔයාට දරාගන්න පුළුවන් තරමට වැඩ භාරගන්න කියලා. එයා මේ කරන දේවල්වලින් මිනිස්සු ලොකු සතුටක් ලබනවා. ඒ හැකියාව එයාට ලැබිලා තියෙන්නේ වාසනාවට. ඒ නිසා ඒක වළක්වන්න මං කවදාවත් උත්සාහ කරන්නෙ නෑ.




Previous Post Next Post