රිදී තිරය මත නිරන්තරයෙන් වීරයාගේ චරිතයට පණ පෙවූ ඔහු, යථාර්ථවාදී සමාජයේද අසාධාරණයට එරෙහිව සටන් වැදුණු අභීත විරුවෙකි. දුක් විඳින ජනතාව ඒ වේදනාවෙන් මුදවාගෙන, නිදහස් නිවහල් ජාතියක් වෙනුවෙන් සිහින මැවූ, ඒ සිහිනවෙනුවෙන් දිවි පරදුවට තබා කටයුතු කළ අපූරු මානව හිතවාදියෙකි. විජය කුමාරණතුංග නම් වූ මේ අසහාය රංගධරයා, ගායකයා, මානව හිතවාදී දේශපාලනඥයා කුරිරු වෙඩි වරුසාවකින් අප අතරින් වෙන් වී ගෙවෙන 37 වැනි වසර මෙයයි.
තවත් බොහෝ කලකට ජනතා හදවත් තුළ අමරණීය වන මේ සොඳුරු මිනිසාගේ ජීවිත කතාව විමසා බැලීමට ‘හදසර’ සමඟ එකතු වුණේ ජීවන් කුමාරණතුංග නම් ප්‍රවීණ රංගවේදියායි.
“ශ්‍රී ලාංකික සිනමාවේ සිහින කුමරා”, විජය කුමාරණතුංගගේ 37 වැනි ගුණ සමරුව පසුගිය 16 වැනිදා පැවැත්වුණා. ඒ ගැන කතා කරමු?
විජය කුමාරණතුංග මහතා ඝාතනයට ලක්වුණේ 1988 වසරේ පෙබරවාරි 16 වැනිදා. ඉතින් සෑම වසරකම පෙබරවාරි 16 වැනිදා විජය කුමාරණතුංග ගුණ සමරු උත්සව රට පුරා පැවැත්වෙනවා. එතුමා සමඟ සිටි සමකාලීන ජ්‍යෙෂ්ඨ කලාවේදීන් සහ දේශපාලනඥයන් පමණක් නොවෙයි, වර්තමානයේ අලුත් තරුණ පරපුර පවා, “විජය කුමාරණතුංග සංස්කෘතික පදනම”, “විජය පදනම” වගේ විවිධ සංවිධාන පිහිටුවා ගනිමින් එතුමාගේ ගුණ සමරු උත්සව පැවැත්වීමට කටයුතු කරලා තියෙනවා. විජය කුමාරණතුංග ඝාතනය වූ කාලයේ ඉපදිලාවත් නැති නව තරුණ පරපුර එතුමා ගැන යම් කියැවීමක් සිදු කරන්න උත්සාහ දරමින් ඉන්නවා.
විජය කුමාරණතුංග තුළ තිබූ මානව හිතවාදී බව සහ කලාවට සිදු කළ මෙහෙවර හේතුවෙන් තරුණ පරපුර ඔහු පිළිබඳව යම් ආකර්ෂණයක් වගේම ගෞරවයක් ඇති කරගෙන තියෙනවා.
විජය කුමාරණතුංග සමඟ ඔබට තියෙන්නෙ ළඟම ලේ බැඳීමක්. ඒ අතීතයේ සොඳුරු මතක ආවර්ජනය කරමු?
විජය කුමාරණතුංග කියන්නෙ මගේ තාත්තාගේ බාල සහෝදරයා. ඒ කියන්නෙ මගේ බාප්පා. අපි සියලු දෙනා මහ ගෙදර තමයි පදිංචි වෙලා හිටියේ. මොකද බාප්පා කුඩා කාලයේදීම අපේ සීයා නැතිවෙලා තිබුණා. එතකොට බාප්පාගේ අධ්‍යාපන කටයුතු ඇතුළු සියලු වගකීම් මගේ තාත්තා තමයි සිදු කර තිබුණේ. මට තවම මතකයි ඒ කාලේ බාප්පට ටිකක් අදින බයිසිකලයක් තමයි තිබුණේ. එතකොට ඔහු කලාවටවත් දේශපාලනයටවත් සම්බන්ධවෙලා හිටියේ නැහැ. නමුත් ගම්වැසියන් සමඟ ඔහුගේ ලොකු බැඳීමක් තිබුණා. ඒ කාලයේදීත් ඔහු ගම්වැසියන්ට යම් නායකත්වයක් ලබා දුන්නා.
මට බාප්පා එක්ක බැඳුණු සොඳුරුම මතකයක් තියෙනවා. ඒ කාලේ දැන් වගේ ‘මොබලයිල් ෆෝන්’ වලින් ‘ෆොටෝ’ ගන්න පහසුකම් තිබුණේ නෑ. මම පොඩි කාලේ ගෙදර රණ්ඩු වෙනවා අයියගේ ‘ෆොටෝ’ එකක් විතරක් තියෙනවා, මගේ ‘ෆොටෝ’ එකක් ගෙදර නැහැ කියලා. මම අඬ අඬා ඉන්නකොට බාප්පා මාව බයිසිකලේ එක්කගෙන ගිහින් චිත්‍රා ස්ටුඩියෝ එකෙන් මගේ ‘ෆොටෝ’ එකක් ගත්තා. තවමත් ඒ ඡායාරූපය මා ගාව මතකයක් විදිහට තියාගෙන ඉන්නවා.
ඒ වගේම මගේ තාත්තා අපි කුඩා කාලයේදීම මිය ගියා. ඉතින් පියාගේ අභාවයත් සමඟ මාව සහ මගේ අයියව රැකබලා ගත්තේ මගේ බාප්පා. ඒ කාලයේ බාප්පගේ නාරාහේන්පිට තලකොටුවත්තේ ගෙදර අපිව තියාගෙන සියලු වියදම් දරලා අපේ අධ්‍යාපන කටයුතු ආදී හැමදේම බාප්පා අපි වෙනුවෙන් කළා.
මීට වසර තිස් හතකට පෙර විජය කුමාරණතුංග කුරිරු ලෙස ඝාතනය වූ ඒ දවස ගැන කතා කරමු?
ඒ සිදුවීම සිදුවුණු දවසේ පාන්දර පහයි තිහට විතර බාප්පා ගෙදර දුරකතනයට ඇමතුමක් අරගෙන ඇහුවා, “ජීවන්... කාර් එක ගෙදර තියෙනවද?” කියලා. මට මතක විදිහට හලාවතට හෝ පුත්තලමට ගිහින් එන්න තමයි බාප්පා කාර් එක ඇහුවේ. නමුත් ඒ වෙලාවේ කාර් එක ගරාජ් එකේ හදන්න දාලා තිබුණේ. මම කිව්වා කාර් එක ගරාජ් එකේ හදන්න දාලා තියෙන්නෙ, මම අරගෙන එන්නම් කියලා. ඊට පස්සේ බාප්පා කිව්වා “නෑ නෑ මම එහෙනම් වෙන වාහනයක යන්නම්. ඔයා එකොළහයි තිහ වෙනකොට ගෙදරට එන්න” කියලා. ඒ වෙනකොට මහජන පක්ෂය පිහිටුවලා ඒකෙ ප්‍රචාරණ කටයුතුවලට කටාන ආසනයට අවශ්‍ය පෝස්ටර් අරගෙන යන්නයි තිබුණේ.
මම ඒ සිදුවීම සිදුවුණු තැනට යනකොට, ඊට විනාඩි පහකට කලින් වෙඩි තියලා ඔහුව ඝාතනය කරලා ඉවරයි. ඒක පවුලේ අය විදිහට අපි විතරක් නෙවෙයි, මුළු රටම කම්පාවට පත්වුණු, හඬා වැටුණු සිදුවීමක්. ඒ අසුබ පණිවිඩය කන වැකුණු කාගෙවත් ඇස්වලට කඳුලක් එන්නෙ නැතුව තිබුණේ නැහැ. තමන්ගේ දරුවෙක් මියගියා හා සමානව මව්වරුන් හඬා වැටුණා. මේ රටේ ජනතාවට දින කිහිපයක් යනකම් ඒ ශෝකයෙන් කම්පනයෙන් මිදෙන්න බැරුව හිටියා.
ඔහු අවසන් ගමන් ගියේ ඔබ ඇතුළු හිතවතුන්ගේ කර මතින්. ඒ මොහොත ඔබට දැනුණේ මොන වගේද?
බාප්පා විදිහටම විතරක් නෙවෙයි, ජාතියක් වශයෙන් අපි ඔහු ගැන ලොකු බලාපොරොත්තුවක් තියාගෙන හිටියා. උතුරේ ජනතාව ඇතුළු සමස්ත රටේ ජනතාව ඔහු ගැන ලොකු විශ්වාසයක් තියාගෙන හිටියා, ඒ කාලේ යුද්ධයට තිරසාර විසඳුමක් සෙවීමට සහ රට වැටිලා තිබුණු තැනින් ගොඩගැනීමේ හයිය වගේම සුදුසුකම් විජය කුමාරණතුංගට තියෙනවා කියලා.
සියලු දෙනාගේම බලාපොරොත්තු වෙඩි උණ්ඩ වැලකින් සුන්වෙලා ගිය මොහොතක් ඒක. ජනතාව පැය ගණන්, දවස් ගණන් පෝලිම්වල දුක් විඳගෙන අවසන් වතාවට ඔහුව බලන්න ආවේ ඔහු ගැන ඔවුන්ගේ හදවත් තුළ තිබුණු ගෞරවය, ආදරය සහ භක්තිය නිසා. ඔහුගේ අභාවය පිරිමහන්නට බැරි පාඩුවක්.
විජය කුමාරණතුංග නම් ඒ සොඳුරු මානව හිතවාදී දේශපාලනඥයා ගැන ඔබගේ අදහස කුමක්ද?
විජය කුමාරණතුංග කියන්නෙ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මානව හිතවාදියෙක්. ඔහු කිසිම වෙලාවක තාවකාලික ජනප්‍රිය බව උදෙසා ගැටලුවලට පැලැස්තර විසඳුම් හොයපු කෙනෙක් නෙවෙයි. ඒ කාලයේ රට තුළ දරුණු යුද්ධයක් පැවතුණා. “බලය බෙදීම තුළ එක්සත් ශ්‍රී ලංකාවක් තුළ තමයි අපිට ස්ථිර විසඳුමක් තියෙන්නෙ”, කියන මතය මුලින්ම ඉදිරිපත් කළේ ඔහු. ඒ නිසාම දේශද්‍රෝහියෙක් කියලා හංවඩු ගහලා, මහ පාරේ මරලා දාන්න තරම් ඔහුගේ විරුද්ධවාදීන් කුරිරු වුණා.
ඔහුගේ සිනමා නිර්මාණ සහ ගීත ගැනත් කතා කරමු?
විජය කුමාරණතුංගගේ රූපය, ඔහුගේ පෞරුෂය, හඬ පෞරුෂය, දක්ෂතාවය එක්ක ඔහු සිනමාව තුළ ඉතාම ජනප්‍රිය වුණා. “ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත” කියන වාක්‍ය බොරු කරපු කෙනෙක් තමයි විජය කුමාරණතුංග කියන්නෙ. ඔහුට නොතිබුණු දක්ෂතාවයක් නැහැ. ඔහුට නොතිබුණු හැකියාවක් නැහැ. ඔහු ගීත රාශියක් ගායනා කළා. චිත්‍රපට ගණනාවකට දායක වුණා. ප්‍රේක්ෂකයන්ගේ හදවත් තුළ නොමැකෙන සලකුණක් ඉතිරි කරන්න ඔහු සමත් වුණා.
විජය කුමාරණතුංග රඟදැක්වූ ‘ක්‍රිස්තු චරිතය’ සමාජයේ බොහෝ කතාබහට ලක්වුණා. ඒ ගැන ඔබේ අදහස?
බාප්පා ක්‍රිස්තු ස්වාමි දරුවන්ගේ චරිතය රඟ දැක්වීම සම්බන්ධයෙන්, දේශපාලනමය වශයෙන් දැඩි විරෝධයක් එල්ල වුණා. කතෝලික සභාව තුළින් පවා දැඩි විරෝධයක් ඇති කිරීමට එවකට හිටපු පාලකයන් ක්‍රියා කළා. ඔවුන් මේ විදිහට දැඩිව විරෝධතා එල්ල කළේ, විජය කුමාරණතුංගගේ දේශපාලන නැගිටීම ඉතා ශක්තිමත් එකක් වෙයි කියන බය සහ සැකය නිසයි. මොන විදිහේ විරෝධතා මතු වුණත් බාප්පා ජේසු ස්වාමි දරුවන්ගේ චරිතය ඉතා සාර්ථකව ඉදිරිපත් කළා කියලා මම හිතනවා.
• මංගලා පවිත්‍රානි