ඔවුහු රිදී තිරය මත එකිනෙකා ඇනකොටා ගත් වීරයා සහ දුෂ්ඨයා වූහ. නමුත් තිරය පිටුපස සැබෑ දිවියේ මහත් සෙනෙහසින් බැඳුණු සහෘදයෝය. ශ්‍රී ලාංකික සිනමාවේ සිහින කුමරා “විජය කුමාරණතුංග” තිස් හත්වැනි ගුණ සමරුවට සමගාමීව ක්ලීටස් මෙන්ඩිස් නම් විශිෂ්ට රංගධරයා සමඟ කෙරෙන සොඳුරු අතීත ආවර්ජනයයි මේ.
ශ්‍රී ලාංකික සිනමාවේ නොමැකෙන නාමයක් සනිටුහන් කළ විජය කුමාරණතුංග ගැන වචනයක් කතා කරමු?
ලංකාවේ සිනමාවට දායාද වුණු ඒ නම, ඒ රූපය, නැවතත් සිනමාවේ කිසිම කෙනෙකුගෙන් දකින්න ලැබෙන්නෙ නෑ කියලා මට විශ්වාසයි. එතුමා නැතිවුණාට පස්සේ බොහෝ දෙනෙක් විජය කුමාරණතුංග වෙන්න උත්සාහ කළා. හැබැයි විජය කුමාරණතුංග කියන්නෙ එක්කෙනයි. ඒ රූපය විතරක් නෙවෙයි, ඔහුගේ කටහඬ, ගතිගුණ, රටට කරපු සේවය, සිනමාවට කරපු සේවය, ඒක කවදාවත් අමතක කරන්න බෑ. අද ඉපදෙන දරුවටත් කාලයකදී විජය කුමාරණතුංග කියන නම, ඔහුගේ ගතිගුණ ගැන අසන්න ලැබේවි. විජය කුමාරණතුංග මැරුවට ඔහු කරපු සේවය, ඔහුගේ නම, ඔහුගේ හොඳ ගතිගුණ, වගේම ලැබෙන ආදරය නැති කරන්න පුළුවන් වෙලා නැහැ. අද වගේම මතු අනාගතයේදීත් ශ්‍රී ලංකාව තුළ “විජය කුමාරණතුංග” කියන නාමය නැති කරන්න කිසිම කෙනෙකුට බැහැ. අපේ රටේ දක්ෂ කලාකරුවෝ බොහොමයක් හිටියා. නමුත් විජය කුමාරණතුංග කියන්නෙ වෙනම කෙනෙක්. ඔහුගේ ප්‍රතිරූපය, පෞරුෂයත් එක්ක ඒ ගොඩනැගුණු ආදරය, ඒ බැඳීම නැති කරන්න බැහැ. විජය කුමාරණතුංග කියන්නෙ පුදුම මනුෂ්‍යයෙක්. අද වෙනකොට එයා ජීවත් වෙලා හිටියා නම් රටේ තියෙන බොහොමයක් ගැටලු විසඳන්න පුළුවන්කම ඔහුට තිබුණා. ඇත්තටම එදා ඔහුව මරන්න හේතු වුණෙත් ඔහු තුළ තිබුණු මානව දයාව, දක්ෂකම සහ දේශප්‍රේමීත්වයයි.
වසර තිස් හතකට පෙර සිදුවූ ඒ අමානුෂික ඝාතනය ගැන පණිවුඩය ලත් අවස්ථාව ඔබට දැනුණේ කොහොමද?
ඒ අවාසනාවන්ත සිදුවීම සිදුවුණේ 1988 වසරේ පෙබරවාරි 16 වැනිදා. එදා තිස්ස අබේසේකර මහත්මයත් සමඟ අපි කණ්ඩායමක් නුවරට එහා ප්‍රදේශයක රූගත කිරීම්වලට ඇවිත් හිටියා. එදා මගේ මිතුරු සුපිරින්ටන්ඩ් කෙනෙක් මට දවල් කෑමට ආරාධනා කරලා තිබුණා. ඉතින් මම මගේ හිත මිතුරු නළුවෙකුත් සමඟ සුපිරින්ටන්ඩ් මහතාගේ ගෙදරට ගියා. අපි කතා කර කර ඉන්නකොට, දවල් දොළහයි ගාණකට ඒ සුපිරින්ටන්ඩ් මහත්මයාගේ නෝනා “අයියෝ විජය කුමාරණතුංග මහත්තයාව මරලා” කියාගෙන කෑගහගෙන ආවා. එහෙම කිව්වට මම ඒක පිළිගත්තේ නෑ. මම හිනා වුණා. ඊට පස්සේ රේඩියෝ එක දාලා බලනකොට තමයි අපිට ඒ පුවත හරියටම ආරංචි වුණේ. ඒ වෙලාවේ මට මොකද වුණේ කියලා මට මතක නැහැ. මමත් මගේ යාළුවත් නැගිට්ටා. ගෙදර අයට මොනවා කිව්වද කියලා මතක නෑ. අපි පුළුවන් තරම් ඉක්මනට රූගත කිරීම් තිබුණු තැනට ආවා. ඒ එනකොට එයාලා මේ කිසිම දෙයක් දන්නෙ නැතුව ඒ රූගත කිරීම් කරමින් හිටියා. මම තිස්ස අයියා ගාවට යනකොට ඔහු අතින් සංඥා කළා. ඔහු ඒ වෙලාවේ දැනගෙන ඉඳලා තියෙනවා. නමුත් රූගත කිරීම් ඉවරවෙලා තමයි අපි පිරිසට මේ ආරංචිය කිව්වෙ. අපි එදාම ආපහු ආවා. ඇත්තටම මට ඒ අවස්ථාව දරාගන්න අසීරු මොහොතක් වුණා. කවුරු කෙරුවත් උන්ට සාප වෙනවා කියලා මම කෑගහලා කිව්වා. එදා අපේ රටට නැතිවුණේ උතුම් මිනිසෙක්.
විජය කුමාරණතුංග සමඟ ඔබට ඇති මතකය ආවර්ජනය කළොත්?
හරි ලස්සන මතක නම් බොහොමයක් තියෙනවා. දේශපාලන වැඩ කටයුතුත් එක්ක විජය හරිම කාර්යබහුලයි. එයා වෙලාවක් කිව්වොත්, හරියටම ඒ වෙලාවට වැඩ කරන කෙනෙක්. “රන්දෙණිගල සිංහයා” චිත්‍රපටයේ රූගත කිරීම් කරනකොට, කුමාරණතුංග මහත්මයා උදේ දේශපාලන රැස්වීම් සහභාගිවෙලා, හරියටම ඔහුට එන්න නියමිත වෙලාවට ආවා. ඒ වෙනකොටත් චිත්‍රපටයේ ඇතැම් රූගත කිරීම්වලට අවශ්‍ය අශ්වයන් වගේ දේවල් සූදානම් වෙලා තිබුණේ නැහැ. චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වුණේ ජීවන් කුමාරණතුංග. ඔහු ඉතින් කේන්ති ගිහින් කෑගහලා, හැමෝටම බැණලා විජයගේ දර්ශනවලට අවශ්‍ය දේවල් සූදානම් කරමින් හිටියා. ඒ අතරතුර විජය මට කිව්වා, ඔහුට තවත් වැඩ කටයුතුවලට යන්න තියෙන නිසා මෙතැන දේවල් තවම ලෑස්ති නැද්ද කියලා අහන්න කියලා. මම ඕක ජීවන්ගෙන් ඇහුවට පස්සේ, ජීවනුත් ඒ හිටපු පීඩනයත් එක්ක, “මේ උඹ මඟුලක් කියනවා. එයාටත් ඉන්න බැරිනම් යන්න කියපන්” කියලා එකපාරට කෑගහලා කිව්වා. ඉතින් එහෙම කෑගහපු එක විජයට ඇහුණා. ඒ වෙලාවේ මට කියාගන්න දෙයක් තිබුණේ නැහැ. විජය අයියා හිනාවෙලා කිව්වා, ජීවන්ට කෙන්ති ගිහින් නේද කියලා. වෙන කෙනෙක් නම් ඒකට කේන්ති අරගෙන ලොකු ප්‍රශ්නයක් ඇති කරන්න තිබුණා. නමුත් විජය කුමාරණතුංග කියන්නෙ ඉතාම නිහතමානී, ඉතාම ඉවසිලිවන්ත පුද්ගලයෙක්. ජීවන් කුමාරණතුංග කියන්නෙ විජය කුමාරණතුංගගේ අයියගේ පුතා. ඔහු ජීවන්ට සැලකුවේ දරුවෙකුට වගේ. වෙන කෙනෙක් නම්, පුතා බාප්පට කෑගැහුවා කියලා අමනාප වෙනවා. නමුත් ඔහු එහෙම කළේ නෑ. ඊට පස්සේ දවසේ උදේ බලනකොට ජීවන්ගේ ඇස්වල කඳුළු. මම මොකද කියලා ඇහුවාම, “මම බාප්පට කෑගැහුවනේ” කියලා ඔහු ඒ සිදුවීම ගැන ගොඩක් දුක් වුණා. ඇත්තටම මම මේ කිව්වේ විජය කුමාරණතුංග ගැන ඉතාමත් පුංචි උදාහරණයක් විතරයි.
විජය කුමාරණතුංග නම් “මානව හිතවාදියා” ඔබ දකින්නෙ මොන වගේද?
විජය කුමාරණතුංග කියන්නෙ ආදරය පිරුණු කෙනෙක්. සාමාන්‍ය මනුෂ්‍යයකුගේ මනුෂ්‍යත්වයට එහා ගිය පුදුමාකාර, අව්‍යාජ, ආදරණීය, උතුම් ගුණාංග ගොඩක් ඔහු ගාව තිබුණා. ඔහු කවදාවත් පහළ මට්ටමට වැටුණු කෙනෙක් නෙවෙයි. කවදාවත් එයා සහෝදර ශිල්පීන්ව වට්ටන්න උත්සාහ කළේ නෑ. එයා ඉන්න මට්ටමටම තමන් එක්ක වැඩ කරන සහෝදර ශිල්පීන්වත් ගේන්න තමයි නිතරම විජය උත්සාහ කළේ. හිඟන මනුස්සයෙක්ව දැක්කොත් එයා බොරුවට හිඟනවද, වංචා කරනවද කියන දේ විජය අයියට අදාළ වුණේ නෑ. කෙනෙක් තමන් වෙතට අතපාගෙන එනවා නම් ඒ මනුස්සයා වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දේවල් විජය අයියා කළා. ඒ මනුස්සයා වංචාකාරයෙක්, හොරෙක් කියලා අපි දැනගත්ත අවස්ථාවලදී කිව්වත් ඔහුගේ පිළිතුර වුණේ, “මොකක් හරි අසරණකමක් ඇතිනෙ ඇවිල්ලා අතපාන්න. ඒවා අපි ගණන් ගන්න නරකයි” කියන දේ. ඒ වගේ මානුෂීය ගතිගුණ පිරුණු කෙනෙක් තමයි විජය කුමාරණතුංග කියන්නෙ.
විජය කුමාරණතුංග අදටත් අප අතර අමරණීයයි. ඔහුගේ පෞරුෂය සහ ඔහුට ලැබුණු ප්‍රේක්ෂක ආදරය ගැනත් කතා කරමු?
විජය කුමාරණතුංග කියන්නෙ මනා දැක්මක් තිබුණු කෙනෙක්. ඔහුට ප්‍රේක්ෂකයන් විතරක් නෙවෙයි, අපි පවා කොච්චර ආකර්ෂණය වෙලා හිටියද කිව්වොත්, චිත්‍රපටවල රූගත කිරීම් අතරතුරදී අපි වෙනම කතා කර කර ඉන්නවා. විජය රූගත කිරීම්වලට ආපු පිරිසත් එක්ක වෙනම කතා කර කර ඉන්නවා. නමුත් අපි කොච්චර වැදගත් කතාවක හිටියත් හැමදෙනාම පාහේ මේ විජය කුමාරණතුංග කියන මනුෂ්‍යයා දිහා දෙපාර, තුන්පාර හැරි හැරී බලනවා. ඒ තරම් ඔහුගේ පුදුමාකාර ආකර්ෂණයක් තිබුණා. පුදුමාකාර ආදරණීය බවක් සහ පෞරුෂයක් තිබුණා. ඇත්තටම ප්‍රේක්ෂකයන් ඔහු වෙතට ආකර්ෂණය වුණේ මේ හේතු නිසයි. ඇතැම් ප්‍රේක්ෂකයෝ කියනවා, “අනේ විජය කුමාරණතුංග මහත්තයා මගේ අතින් ඇල්ලුවනෙ. මට ඒ තරම් දෙයක් නෑ” කියලා. ඒ තරම් ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත්ත කෙනෙක් ඔහු.
ඒ වගේම තවත් කාරණාවක් තමයි චිත්‍රපට නරඹන රසිකයන් මට බණින අවස්ථා ඕනෑ තරම් තිබුණා. “ඔයා විජය කුමාරණතුංග මහත්තයාට විරුද්ධවමයි වැඩ කරන්නෙ. චිත්‍රපටයේ වුණත් අපිට පේන්න බෑ ඔයාව” කියලා ලැබුණු ප්‍රතිචාර බොහොමක් ඒ කාලේ තිබුණා. අපි රඟපාපු චිත්‍රපටවල බොහෝ දුරට මට රඟපාන්න ලැබුණේ දුෂ්ඨයාගේ චරිතය. ඉතින් ඒ චිත්‍රපට බලන ප්‍රේක්ෂක ජනතාවගේ ආදරය විජය කුමාරණතුංගටත්, ඔවුන්ගේ තරහව සහ කේන්තිය මටත් හිමිවුණා.
ඔබ විජය කුමාරණතුංග කියන මානව හිතවාදී දේශපාලනඥයාව දකින්නෙ කොහොමද?
එතුමා අපේ රටේ ඉන්නම ඕනෑ කෙනෙක්. මොකක්දෝ අහේතුවකට, ඔහුගේ නෙවෙයි, අපේ අහේතුවකට තමයි විජය කුමාරණතුංග අපිට අහිමිවුණේ. හැම කෙනෙක්ම වගේ කියනවා ඔහු දේශපාලනයට ගියේ නැත්නම්, නළුවෙක් විදිහටම හිටියා නම්, අදටත් ජීවත් වෙනවා කියලා. නමුත් මම එහෙම කියන්නෙ නැහැ. වැරදි දෙයක් කළා නම් අපිත් බණිනවා, වැරදි දේශපාලනයක් කරලා නිරපරාදේ විනාශ වුණා කියලා. ඔහු දේශපාලනයේදී විශාල සේවයක් රටට කළා. විජය කුමාරණතුංග දේශපාලනය කරනකොට, මන්ත්‍රීවරයෙක් වෙන්න බැරි වුණත්, අපට හිතාගන්න බැරි මිනිස්සු ප්‍රමාණයකට බොහෝ සේවයක් කළා. ඔහු දේශපාලනයට ආවේ ජනතාව ඔහු ගැන තියපු විශ්වාසය පදනම් කරගෙන. ඉතින් විජය අයියා කවදාවත් වැරදි දෙයක් කළේ නෑ. ඔහු නිතරම කළේ හරි දේ පමණයි.
ඔබ විජය කුමාරණතුංගගේ ගීතවලට බෙහෙවින් ප්‍රිය කරන කෙනෙක්. එමෙන්ම ඔබ එතුමාගේ ගීත ගායනා වැඩසටහන් පවත්වනවා. ඒ ගැනත් කතා කරමු?
විජය ජීවත් වෙලා ඉන්නකොට මම එයාගේ හඬ දාලා සින්දු කියනවා. ඒකට විජය අයියා බොහොම කැමතියි. ඒ වෙලාවට එයා මගේ ළඟට ඇවිල්ලා, “ආ දැන් මට මැරුණත් කමක් නෑ. මගේ සින්දු කියන්න කෙනෙක් ඉන්නවා” කියලා හිනාවෙලා හරිම සතුටින් කියනවා. විජය අයියා නැතිවුණාට පස්සේ මම හිතුවා, ඔහු වෙනුවෙන් ඔහුගේ ගීත මම ගායනා කරන්න ඕනෑ කියලා. මම, විජය කුමාරණතුංග ගීත ගායන ප්‍රසංග ආරම්භයේදී කිසිම කෙනෙකුගේ දායකත්වයක් තිබුණේ නැහැ. ජයන්ත කියන මගේ මිතුරා තමයි ඒ වෙනුවෙන් මුදල් වියදම් කළේ. මුලින්ම ප්‍රසංගයක් පටන් ගත්තෙ ටවර් හෝල් එකෙන්. ඊටපස්සෙ BMICH එකේ, ”විජය ගී සර” නමින් ප්‍රසංග පවත්වන්න පටන් ගත්තා. මම මාස ගණනාවක් පුරාවට පුහුණුවීම් කරලා ප්‍රසංගයේදී ගීත විසි දෙකක් ඉදිරිපත් කළා. “විජය ගී සර” ප්‍රසංගයට චන්ද්‍රිකා මැඩම් සහ විජය කුමාරණතුංගගේ මෑණියන් ගෙන්වලා තමයි අපි ඒ ප්‍රසංගය පැවැත්වුවේ. “තව ටික දොහයි මාසයේ අන්තිම වෙන්න” ගීතයෙන් තමයි මම ප්‍රසංගය ආරම්භ කළේ. එහෙම ආරම්භ කරලා සින්දු තුනක් විතර ගායනා කරන විට මම විජය අයියගේ අම්මා දිහා බැලුවා. එතුමිය ගොඩක් අඬමින් තමයි හිටියේ. චන්ද්‍රිකා වැඩම් කතා කරලා විජය අයියගේ අම්මව නැවතත් නිවසට පිටත් කරලා තිබුණා. ඇත්තටම ඒක නම් ගොඩක් සංවේදී අවස්ථාවක්.
• මංගලා පවිත්‍රානි