දිනක්ෂි ප්‍රියසාද් ගැන අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ. මෑත කාලයේ බිහි වූ නිර්මාණ අතර වඩාත් කතාබහට ලක්වෙන චරිතයක් වුණු දිනක්ෂි 2025 වසර පටන් ගන්නෙම රිදී තිරයට ආ අලුත්ම සිනමා නිර්මාණයෙන්. ඒ හර්ෂ උඩකන්දගේ රෝස ආදරේ තුළින්, ඒ නිසා ඒ ගැන වගේම කලාවේ අලුත් තොරතුරු ගැන කළ සොඳුරු කතාබහයි මේ...
අලුත් අවුරුද්දේ රිදී තිරයෙන්ම වැඩ පටන් අරන් තියෙන්නේ...
හර්ෂ උඩකන්ද අයියාගේ රෝස ආදරේ චිත්‍රපටය ජනවාරි 3 ඉඳන් තිරගත වීම් ආරම්භ වුණා. ඒ ගැන හරිම සතුටුයි. රෝස ආදරේ කියන්නේ ආදරේ පිරුණු චිත්‍රපටයක්. ආදරේට ඉතින් හැමෝම කැමැතිනේ. ආදරේ කරන ආදරේ විඳින හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා රෝස ආදරේ බලන්න. මම නිසල මල්ලි පැතුම් රුක්ෂාන් ඇතුළු ඔයාලා හැමෝම ආදරේ කරන බොහෝ දෙනෙක් රංගනයෙන් දායක වෙනවා. මේක නිකම්ම නිකම් ආදර කතාවක් නෙවෙයි. ආදරේට එහා ගිය ත්‍රාසය භීතිය කුතුහලය මේ හැමදෙයකින්ම පිරුණු ලස්සනට ගලාගෙන යන ලස්සන සින්දුත් තියෙන කතාවක්.
2024 දිනක්ෂිගේ රංගනයේ හැරවුම් ලක්ෂයක් වුණු වසරක් නේද?
මම හිතන්නේ 2024 දී විකාශය වූ ටේක් කෙයාර් නාට්‍යය එක්ක තමයි ගොඩක් කතාබහ ඇති වුණේ. සමහර දේවල් වලට අපිට ඉවසගෙන බලාගෙන ඉන්න වෙනවා. මම රංගනයට ඇවිත් අවුරුදු 16ක්. ඒ කාලේ පුරාවටම ඉගෙන ගත්තු දේවල් අත්දැකීම් එකතු කරලා දැන් මට රංගනය හරහා ඒ දේවල් කරන්න පුළුවන්කම ලැබෙනවා. මේ කාලයේ හොඳ ප්‍රතිචාර ලබනවා පිරිමි ළමයි නාට්‍යයට. සිවා අන්කල් එක්ක මම කලිනුත් වැඩ කරලා තියෙනවා. සිවා අන්කල් කවදත් මාව එකිනෙකට වෙනස් වූ චරිත කරන්න පොලඹවනවා.
2025 දී සිනමාවට වැඩි ඉඩක් දෙයිද?
මේ වෙද්දී කරපු නිර්මාණ කිහිපයක් එන්න තියෙනවා. රෝස ආදරෙන් පසුව තේජා ඉද්දමල්ගොඩ මහතා කරපු ක්ලැරන්ස් විජේවර්ධනගේ ජිවිත කතාව ගැන චිත්‍රපටය එන්න තියෙනවා. ඒ එක්කම රයිගම් සමූහ ව්‍යාපාරය නිෂ්පාදනය කළ චරිත් අබේසිංහ අධ්‍යක්ෂණය කළ මිස්ටර් මිසිස් චිත්‍රපටය එන්න තියෙනවා.
සමාජ මාධ්‍යය තුළ සක්‍රිය චරිතයක්, ඒ හරහා ලැබුණු වටිනාකමකුත් ඇවිත් තියෙනවා නේද?
සමාජ මාධ්‍යය ගිණුම් මම ආරම්භ කළේ ෆේස්බුක් හඳුන්වා දුන් කාලේදිම, ඉන්ස්ට්‍රාග්‍රෑම්, යූටියුබ් සහ ටික් ටෝක් හඳුන්වා දුන් කාලේදිම වගේ. එතකොට සමහර අය සමාජ මාධ්‍යයට ඇවිත් තිබ්බෙත් නැහැ. මොකද ගොඩක් අය ඒවායේ නෙගටිව් පැත්තමනේ දැක්කේ. මම එහෙම නැහැ. මම ඒ දේවල් මුල ඉඳන්ම වැලඳ ගත්ත කෙනෙක්. ඒ නිසා මම කවදත් සමාජ මාධ්‍යය හරි නැහැ මම ඒ දේවල් කරන්නේ නැහැ කියන තැන හිටියේ නැහැ. ඒ වගේම අපි මේ ක්ෂේත්‍රයේ දිගටම ඉන්නවා නම් අලුත් පරම්පරාව එක්ක අපි ඉන්න ඕනේ.
අනිත් පැත්තෙන් අමතක කරන්නම බැහැ දිනක්ෂිගේ විලාසිතාවන්, කාවද ෆලෝ කරන්නේ...
මම හරි ආසයි ලස්සනට අඳින්න. මම පොඩි කාලේ ඉඳන්ම දැක්ක දෙයක් තමයි අපේ අම්මි ලස්සනට මැච් කරලා අඳින විදිය. අම්මි තමයි අපේ පවුලේ අයගෙන් මුලින්ම එන ෆැෂන් කරන්නේ. නේල් ආට්ස්, කොණ්ඩ විලාසිතා වුණත් එයා කරන විදිය අපි දකිනවා. ඇඳුමක් ඇන්දත් ඒකට ගැළපෙන්න කරාබු, සපත්තු, හෑන්ඩ් බෑග් ගන්නවා. තාත්තිත් එහෙමයි. ඒ පුරුද්ද වෙන්න ඇති මටත් ඇවිත් තියෙන්නේ.
දිනක්ෂි පසුගිය කාලේ මහත් වෙලා හිටියා, දැන් ආයෙම සුපුරුදු ගාණට ඇවිත් තියෙනවා නේද?
ගොඩක් අය කියනවා දැන් ඉන්න ගාන හොඳයි කියලා. පසුගිය කාලේ මහතට හිටියේ බබා හම්බුණාම මහත් වීමත් එක්ක තමයි. ඒක ඉතින් සාමාන්‍ය දෙයක්. කිලෝ 46 ඉඳන් කිලෝ 73 දක්වා ඒ කාලයේ බර වැඩි වුණා. බබා ලැබුණට පස්සේ ඒ ඇතිවුණු වෙනස්කම් එක්ක මම ඒ කාලය එන්ජෝයි කළා. ඒ හැර මම මහතයි කියලා ප්‍රශ්නයක් කරගත්තේ නැහැ. පසුව බබාට මාස තුනක කාලයක් යද්දී වර්ක්කවුට් කරන්න ගත්තා. හැබැයි මගේ ඇති වුණු මහත අඩුවෙන්න අවුරුදු එකහාමාරක් විතර ගියා.
පුංචි දෝණි සාරණ්‍යාට රඟපාන්න කතා කළොත් අවස්ථාව දෙනවද?
එහෙම ලොකු අකැමැත්තක් නැහැ. වැඩේ මොකක්ද කියලා බලලා තීරණයකට එන්න පුළුවන්. එයා දැන් ඉස්කෝලේ යනවා. ඉස්කෝලේ යන්නත් ආසයි වගේම ඉගෙන ගන්නත් දක්ෂයි. ඒ නිසා ඒ වැඩ පාඩු වෙනවාට අපි කැමැති නැහැ. දෙයක් කරත් එයාගේ වැඩ පාඩු නොවෙන විදියට තමයි හැමදේම තීරණය වෙන්නේ. අනාගතයේදී නම් එයා මොන ක්ෂේත්‍රය තෝරා ගනීද කියන්න දන්නේ නැහැ. එයා කැමැති දෙයක් කරන්න අපි අපේ සහයෝගය දෙනවා.