හැමෝගෙම හිත්වල නොමැකෙන චරිතයක් වෙන්න ලැබුණොත් ඒ ඇති - සංජු හසරංගා

මේ දිනවල සියත නාළිකාවේ විකාශය වන ලසිත කාරියවසම් අධ්‍යක්ෂණය කර සින්ධු හි සාරන්‍යා කියන්නේ සුන්දර ගොළු යුවතියක්. සාරන්‍යාට ජිවය දෙන්නේ නව පරපුරේ රංගන ශිල්පිනියක් වන සංජු හසරංගා. රසඳුන මේ කතාබහ සංජු හසරංගා සමඟ.


සංජුට, සාරන්‍යා වෙන්න කොහොමද ලැබුණේ?


ලසිත කාරියවසම් අයියා මේ වෙලාවෙ මතක් කරන්න ඕනේ. ඔහු නිසා තමයි මට සාරන්‍යා කියන චරිතෙට පණපොවන්න අවස්ථාව ලැබෙන්නේ. ඔහු බෞද්ධයා නාළිකාවේ රාජකාරි කරන කාලේ, ඒ කියන්නේ දැනට අවුරුදු 5ක වගේ ඉඳන් තමයි ලසිත අයියා අඳුරන්නේ. දවසක් කතා කරලා කිවුවා නංගි අලුත් වැඩක් තියනවා කරමු කියලා. එහෙම තමයි මට මේ අවස්ථාව ලැබෙන්නේ.


සාරන්‍යා කියන්නේ ගොළු චරිතයක් නේ, ඒක අහියෝගයක් වුණා ද?


ඔව් ඒක මට ලොකු අභියෝගයක් වුණා. මේතාක් මට ලැබුණේ ටෙලිනාට්‍යවල සුළු චරිත. තවත් එක් නාළිකාවක ටෙලිනාට්‍යයක ඉංග්‍රීසි ගුරුවරියකගෙ චරිතයක් කරන අතරතුර තමයි මට සාරන්‍යා චරිතය ලැබෙන්නේ. එතකොට ගොළු චරිතයක් ගැන හිතලවත් තිබුණේ නැහැ. කොහොම හරි ඒ අභියෝගයට මුහුණ දෙනවා කියන විශ්වාසයෙන් මම මේ චරිතය භාර ගත්තේ.


මින් පෙර සංජු රඟපෑ නිර්මාණ මොනවද?


ස්වර්ණවාහිනී අක්ශි ටෙලිනාට්‍ය, ස්වර්ණවාහිනී නෙලුනි ටෙලිනාට්‍ය, හිරු එකේ පාටකුරුල්ලෝ, පාවී එන්න ආසයි, ඇස් නාට්‍ය, වගේ විවිධ චරිත කරලා තියනවා.


සංජු ගැන විස්තර කිවුවොත්?


මගේ ගම කොළොන්නාව. පාසල් ගියේ කොළොන්නාව බාලිකා විද්‍යාලයට පසුව ක්ලිෆ්ටන් බාලිකා විද්‍යාලයට ගියා. පවුලේ විස්තර කිවුවොත් මගේ අම්මා, අයියා ,අක්කා ඉන්නවා. මගේ තාත්තා 2020 අවුරුද්දේ නැතිවුණා. මම පවුලෙ බාලයා.


ඔබ පාසල් කාලයේත් කැපී පෙනෙන ශිෂ්‍යාවක් ද?


ඔව්. ඒ කාලයේ නාට්‍ය තරග, නර්තන තරග, ක්‍රීඩා තරග, ඒ දේවලට සහභාගි වෙලා ජයග්‍රහණ ලබලා තියෙනවා.


නිළියක් වෙන්නම ද ආස කළේ?


ඇත්තටම මම ආදරේ කළේ සහ ආස කළේ නර්තනය පැත්තෙන් ඉහළට යන්න. ඉන්පස්සේ නොසිතූ විදිහට වෙ‍ෙළඳ දැන්වීම්වල ඉන්න අවස්ථාව ලැබුණා. එහෙම තමයි මේ ක්ෂේත්‍රයට එන්න ලැබුණේ.


ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවද?


කරපු වැඩ දෙකක් වගේ එන්න ති‍ෙයනවා තව හොඳ එවා ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙනවා.


රංගනයේ දී සීමා තියෙනවද?


මට හොඳයි කියලා හිතෙන සහ මට සාධාරණයක් කරන්න පුළුවන් කියලා මට දැනෙන චරිතයක් නම් මම භාර ගන්නවා.


ඔබ ආදරවන්තියක් ද?


ඔව්.


ඔහු ගැන කියමුද?


ඔහු මගේ ගමනට ශක්තියක් වෙමින් මගේ පිටුපස ඉන්නවා.. දැනට ඒ ඇති නේද..


අනාගත බලාපොරොත්තු මොනවද?


රංගනය පැත්තෙන් ඉහළට යන්න ආසයි. කවදහරි මේ ලෝකෙන් සමුගන්න දවසට හැමෝගෙම හිත්වල නොමැකෙන චරිතයක් විදිහට මතක ඉතිරි කරලා යන්න ලැබුණොත් මට සතුටුයි.





Previous Post Next Post