සිනමාව පුංචි කාලේ ඉඳලා තිබුණ හීනයක් – වින්ද්‍යා හාරිස්පත්තුව

 



ඇය තම කුලුඳුල් නිර්මාණයෙන්ම කාන්ස් සිනමා උළෙලට නිර්දේශ වූ සිනමා නිර්මාණයක් කළ අධ්‍යක්ෂවරියකි. එකිනෙකට වෙනස් තේමා අතර සැරිසරන ඇය ත්‍රාසය සහ භීතිය උපදවන සිනමා කෘති නිර්මාණය කරන තැනැත්තියකි. නමින් වින්ද්‍යා හාරිස්පත්තුව වූ ඇයගේ Sixty Nine සිනමා නිර්මාණය පිළිබඳවයි මේ කතාබහ.


ඔබ අධ්‍යක්ෂණය කළ Sixty Nine ළඟදීම තිරගත කරනවා කියලත් ආරංචියි?


Sixty Nine චිත්‍රපටය අපි 2022 වසරේ තමයි රූගත කිරීම් සිදුකළේ. මේක හැමෝටම එකට ඉඳගෙන බලන්න පුළුවන් පවුලේ විනෝදාස්වාද චිත්‍රපටයක් කිව්වොත් හරියටම හරි ඉතින්. මේ සිනමා නිර්මාණය ළඟදීම තිරගත කරන්න තමයි සූදානම් වෙන්නේ.


Sixty Nine නිර්මාණය වුණේ කොහොමද?


මේ චිත්‍රපටයේ කන්සෙප්ට් එක නිර්මාණය වූයේ ලංකාව ඇතුළේ ජීවත්වුණ ජනප්‍රිය චරිතයක් මූලික කරගෙනයි. එතකොට මෙහිදී ආදරය, අසම්මත ආදරය වගේ කාරණා ගැන කතාබහ වෙනවා.



මෙහි පිටපත නිර්මාණය වුණේ කොහොමද?


පිටපත ලියැවුණෙත් මගේ අතින්ම තමයි. මෙවැනි කතාවක් ඕනෑ කියලා මූලික අදහස ලබාදුන්නේ මෙහි නිෂ්පාදක උදාර පල්ලියගුරු. ඊට පසුව තමයි ඒ අනුව කතාව ගොඩනැඟුවේ.


රංගනයෙක් දායක වන පිරිස ගැනත් කතා කළොත්?


මෙහි ප්‍රධාන භූමිකාව නිරූපණය කරනු ලබන්නේ ක්ලීටස් මෙන්ඩිස්. ඊට පසුව ඩිල්රුෆා ප්‍රධාන චරිත නිරූපණයෙන් දායක වෙනවා. ඊට අමතරව හිමායා බණ්ඩාර, ශෂී ඇන්ජලීනා, විරාජ් පෙරේරා වගේම නවක නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙනවා.


නළු නිළියන්ගෙන් ලැබුණ සහයෝගය?


මම කෙටි චිත්‍රපට අධ්‍යක්ෂවරියක් වශයෙන් ඉඳලා දිගු චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන පළමු අවස්ථාව තමයි මෙය. මේක මගේ පළමු දිගු චිත්‍රපටය. නවක අධ්‍යක්ෂවරියක් විදිහට ක්ෂේත්‍රයට පිවිසෙන කොට මට ක්ලීටස් මෙන්ඩිස් අයියාගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. අත්දැකීම්වලින් බහුල කලාකරුවෙක් විදිහට ඔහු මම නවක අධ්‍යක්ෂවරියක් කියලා බලාගෙන ඉඳියේ නැහැ, ලොකු සහයෝගයක් ලබාදුන්නා. ඒ වගේම අනෙක් නළු නිළියන්ගෙනුත් ලොකු සහයෝගයක් ලැබුණා.


Sixty Nine නිර්මාණය කරද්දි නිෂ්පාදක උදාර පල්ලියගුරුගෙන් ලැබුණු සහයෝගය?


නිෂ්පාදකවරයාගෙන් මට නිර්මාණාත්මක නිදහස උපරිම ලබාදුන්නා. ඒක හින්දාම හොඳ නිර්මාණයක් කරන්න පුළුවන් වුණා කියලා හිතනවා.


ඔබ නිර්මාණය කළ කෙටි චිත්‍රපට ගැනත් කතා කළොත්?


මම කෙටි චිත්‍රපට දෙකක් නිර්මාණය කළා. එම කෙටි චිත්‍රපට දෙකම කෑන්ස් සිනමා උළෙල නියෝජනය කළා. පළමු එක තමයි An Anatomist (එම්බාම් කරන්නෙක්) සහ Let him sleep (ලිංගික සංක්‍රාන්තිකයකුගේ කතාවක්) තමයි මම නිර්මාණය කළේ. කෑන්ස් සිනමා උළෙල ඉලක්ක කරගෙන තමයි අපි මේ චිත්‍රපට දෙක නිර්මාණය කළේ.


දැන් කෙටි චිත්‍රපට අධ්‍යක්ෂණයෙන් ඈත් වෙලාද?


ඔව්. කෙටි චිත්‍රපට අධ්‍යක්ෂණයෙන් බොහෝදුරට ඈත්වෙලා කිව්වොත් හරි. මම Sixty Nine චිත්‍රපටයෙන් පසුව ගරා කියලා සිනමා නිර්මාණයක් කළා. එතැනින් පස්සෙ ඇමෙරිකානු ව්‍යාපෘතිය ආරම්භ කරනවා. ඒ හින්දා කෙටි චිත්‍රපට සඳහා තිබෙන කාලය පොඩ්ඩක් විතර අඩු වුණා.


චිත්‍රපට අධ්‍යක්ෂවරියක් වෙන්න හිතුවේ ඇයි?


සිනමා ක්ෂේත්‍රය පුංචි කාලේ ඉඳලා තිබුණ හීනයක්. හැම වෙලාවේම හිතුවේ සිනමාවට සම්බන්ධ වෙන්න ඕනෑ කියලා හිතපු හින්දම අන්තිමේ ඒ ක්ෂේත්‍රයටම වැටුණා.


ගොඩක් තරුණියෝ බලන්නේ රඟපාන්න. ඇයි ඔබ රඟපාන්න කැමැති නැතිද?


මම පාසල් යන කාලේ වේදිකා නාට්‍ය පිටපත් රචිකාවියක් විදිහට වගේම රංගන ශිල්පිනියක් විදිහටත් වැඩ කරලා තියෙනවා. එහිදී සමස්ත ලංකා දක්වා ගිහිල්ලා තියෙනවා. කාලයත් එක්ක මම හිතුවා රංගනයට වඩා වැඩි යමක් අධ්‍යක්ෂණයෙන් කරන්න පුළුවන් කියලා. ඒක හින්දයි මෙතැනට යොමු වුණේ.


චිත්‍රපටයක් කරනවා කියන්නේ ලේසි නැහැ. ඒක ලොකු අභියෝගයක්?


ඔව්. අනිවාර්යයෙන්ම ලංකාව වගේ රටක කාන්තාවකට චිත්‍රපටයක් කරනවා කියන්නේම ලොකු අභියෝගයක්. මොකද චිත්‍රපටයක් කරනකොට රැය, දවාල, අව්ව, වැස්ස කියන කාරණා අදාළ වන්නේම නැහැ. ඉතිං කාන්තාවකට ඒ දේවල්වලට මුහුණදීම ලොකු අභියෝගයක්. මම හිතනවා ඒ අභියෝගය මම ජයගත්තා කියලා.


නවක අධ්‍යක්ෂවරියකට චිත්‍රපටයක් තිරගත කිරීමත් අභියෝගයක් නේද?


පැහැදිලිවම. ලංකාවේ ගොඩක් දක්ෂයන් ඉන්නවා. කාන්තාවකට චිත්‍රපටයක් නිර්මාණය කරන එකත් ලේසි නැහැ වගේම මේ ක්ෂේත්‍රයට එන එකත් ලේසි නැහැ. ඒක සෑහෙන ලොකු අභියෝගයක්. අනික ලංකාවේ සිනමා කර්මාන්තයක් නැහැනේ. ඔය කාරණාවත් එක්ක චිත්‍රපටයක් තිරගත කිරීමත් ලේසි නැහැනේ.


ක්ලීටස් වැනි ප්‍රවීණයෙක්ව Sixty Nine චිත්‍රපටයට සම්බන්ධ කරගන්න හිතුවේ ඇයි?


ඔහු වැනි දැවැන්තයෙක් සම්බන්ධ කරගැනීම අභියෝගයක් කියලා හිතුණේ නැතිනම් ඒක පුදුමයක්. මම වගේ කෙනකුට එවැන්නක් අධ්‍යක්ෂණය කරන්න ලැබීමම සම්මානයක් ලැබුණ වගේ දෙයක්. මොකද ඔහු අත්දැකීම් පරිපූර්ණ චරිතයක්. ඒක මගේ වාසනාව කියලත් හිතනවා. ඔහුගෙන් මේ වැඩේට ලොකු සහයෝගයක් ලැබුණා.


දිනේෂ් විතාන




Previous Post Next Post