මනෝරාණිගේ පපුව අස්සෙන් හැම ගැහැනියකගේම හදගැස්ම මට දැනෙනවා - ස්වර්ණා මල්ලවාරච්චි



තවරාන රතු තිලකය නළලත ඈ බලා හිඳින සඳ මා නොදකින ඈ දකින අනන්තය දෙස

ඩොක්ටර් මනෝරාණි සරවනමුත්තු

මම ඔබේ දෑස් මත ලියවෙන සහස් සුවහස් සංසාර කල්ප කාලාන්තරයක අක්ෂර වියමනෙහි සැරිසරමි. ඒ අක්ෂර පිරිසිඳ වරෙක කවියක් ලියනු වස් රිද්ම රිදුමක් සොයා යන්නට මට අවැසිය.

තවත් වරෙක නිහඬව නිසොල්මන්ව මම මටම තුරුල් වී, මට මා සමඟම සල්ලාපයක් වෙනුවෙන් තත්ත්පර අවැසිය.

වචන නැති තත්ත්පරයන්ට මම කවදත් පෙම් බඳිමි. හිතුවක්කාර සාරි පොට සීරුවට දරන උරහිසෙහි ලොවකටම නොකියා සඟවාගත් වගකීම් සමුදාය පතුලෙහි නිදන්ගත කඳුළක ඉසියුම්ම සුසුම් ස්වරයෙහි හදගැස්ම

ඩොක්ටර් මනෝරාණි සරවනමුත්තු

ඉඳින් මම හඳුනමි.

ඉඳින් මම කියවමි.

ඉඳින් මම සොයා යමි.

මක් නිසාද යත් ඔබේ හදගැස්මෙහි න්‍යෂ්ටියම සොයා යන ඇසිල්ලක මට ඔබේ ආඩම්බරකාර එපමණකටම ස්නේහවන්ත මහා රළු එපමණකටම අසීමාන්තික ළතෙත් වූ ගැහැනු පපුවක් හමුවන හෙයින්මය.

සම්, මස්, ලේ, නහර, ඇට මිඳුළු විනිවිද ඩොක්ටර් මනෝරාණි සරවනමුත්තු ඔබේ ළය ලෙයට දැනෙන සිතුවිලි අංශුමාත්‍රයක් අස වුව මා හද සැලෙනා සංවේදනාත්මක සංධ්වනිය මම විවරණය කරන්නේ


ඔබේ ළය තුළ

ඔබේ හදගැස්ම තුළ

ඔබට අහිමි වූ ඔබේ සියල්ලක්ම තුළ

ඔබට ආත්මීය වූ ඔබේ ආත්මය තුළ

මේ දෙරණ සරා ඇවිද ගිය මේ පොළොවේ මෙතෙක් උපන් සහ මේ පොළොව තුළ මෙතෙක් නූපන් හැම ගැහැනියක්ම ජීවත් වන වග, හුස්මක් ගන්නා වග, මට දැනෙන නිසාමය.

ඩොක්ටර් මනෝරාණි සරවනමුත්තු

ඔබ මෙලොව ඉපදුණු සහ මෙතෙක් මෙලොවට නොපැමිණි සෑම ගැහැනියකගේම සංකලනයක් වග, අමුතුම සම්මිශ්‍රණයක් වග, මට ලියා තියන්නට සිත් වෙයි.

ආදරවේදයක අකුරු සංසරණයක අසීමිත දිශානතීන් තුළ ආදරයේත් ප්‍රේමයේත් හෘද භාව ලීලා ඉඳින් ඔබ මුදාහල අපූරුව

ඩොක්ටර් මනෝරාණි සරවනමුත්තු

ඉඳින් දන්නා තරමටම නාඳුනන

නාඳුනන තරමටම හඳුනන ඔබට මම පෙම් කරමි.

ඒ මා තුළ වග ගැහැනියද ඔබ තුළ හුස්මක් ගන්නා නිසාමය. මට හමුවූ සහ හමුනොවූ සියලු ගැහැනුන් ඔබේ හදගැස්ම හා කවර වෙසෙකින් හෝ අල්පමාත්‍රික අල්පමාත්‍රයකින් හෝ සමපාත වන හෙයිනි.

ඩොක්ටර් මනෝරාණි සරවනමුත්තු

රාණි... ඒ ඔබේ ආත්මීය සිනමාමය සංකථනයයි... ඒ ආත්ම සංකථනය ගැඹුරෙහි හුස්මක් ගන්නා ඇය සිංහල සිනමාවේ සුගන්ධවත් ශෘංගාර කුසුමයි.

ඇය – ස්වර්ණා...

ස්වර්ණවත් මුද්‍රාවක් සිංහල සිනමාව තුළ ලියවූ - ලියමින් හිඳින ස්වර්ණා මල්ලවආරච්චි ඇයයි.


ස්වර්ණා... ඔබට ඔබේ ජීවිත කාලය තුළ හුස්මක් ගනිමින් සිටි ඇය – ඩොක්ටර් මනෝරාණි සරවනමුත්තු හමුවුණා. මට ඩොක්ටර් මනෝරාණි සරවනමුත්තු හමුවන්නේ සිනමාවේදී අශෝක හඳගම අධ්‍යක්ෂණය කළ රාණි සිනමා වියමන තුළයි. ඒ ඇයට හුස්මක් දෙන ඔබ සමඟ. මට කියන්න ඔබට ජීවමානව හමුවූ ඩොක්ටර් මනෝරාණි සරවනමුත්තුමද අපිට රාණි හිදී හමුවන්නෙත්?

ඔබට රාණි හිදී හමුවන්නේ මනෝරාණිගේ ඇත්ත දේවල්, මගේ දේවල් සහ අශෝක හඳගමගේ දේවල්. ඒ තමයි මට දෙන්න තියෙන අවංකම ඇත්තම පැහැදිලිම සහ නිවැරදිම උත්තරය.


ඒ උත්තරයට මට හේතු කියන්න?

ඇත්තටම ජීවත් වූ චරිතයක් නිර්මාණය කරද්දී පවා ඒ චරිතය ගැන අධ්‍යක්ෂවරයාගේ හිතේ මැවෙන රූපයක් තියෙනවා. ඇත්තටම ඩොක්ටර් මනෝරාණි සරවනමුත්තු ලෝකයා විසින් හඳුනා ගන්නේ රිචඩ් ද සොයිසා කියන අද්විතීය මාධ්‍යවේදියා නිසා. ඇය රටක් වටින පුතෙක් බිහිකළ අම්මා කෙනෙක් වග ලෝකයම හඳුනා ගන්නේ රිචඩ් ලෝකයට අහිමි කිරීමෙන් පසුවයි. මට මගේ ජීවිතයේ හතර වතාවක් මනෝරාණි මුණගැසුණා. චිත්‍රපටයක් තුළ මනෝරාණිට පණ දෙන්න මම අවුරුදු විසි අටක් තිස්සේ බලාගෙන හිටියා. මම හීන දැක්කා. මගේ හීනය හැබෑ වුණා. ඒත් රාණි තුළදී ඒ මනෝරාණිට මගේ ගුණ සුවඳ වගේම අධ්‍යක්ෂවරයාගේ ගුණ සුවඳ සහ සිතුවිලි සංකලනයත් මුහුවෙනවා. ඒක හැමදාම ඕනෑම අධ්‍යක්ෂවරයෙක් අතින් සිදුවෙන සිද්ධාන්තයක් ලෙසයි මම දකින්නෙ. අධ්‍යක්ෂවරයෙක්ට පුළුවන් තම සිතැඟි අනුව තම දැක්ම, දෘෂ්ටිය සහ කියවීම අනුව තමන්ට රිසි සංකලනයක් තුළ චරිතයක් ඉදිරිපත් කරන්න. ලෝකයේ ජීවත් වන පුද්ගලයෙක්ගේ චරිතයක් ගත්තත්, ජීවත් වූ සැබෑ පුද්ගල චරිතයක් ගත්තත්, නවකතාවක් පාදක කරගෙන සිනමාමය චරිතයක් ගොඩනැඟුවත් සිනමා අධ්‍යක්ෂවරයා තම මුහුව ඒ හැම චරිතයකටම පෙරලා වත් කළා.


ඔබට හමුවූ ඩොක්ටර් මනෝරාණි සරවනමුත්තු කොයි විදිහේ ගැහැනියක්ද?

ඇය ඉතාමත් ප්‍රතාපවත්, ශක්තිමත් පෞරුෂත්වයක් තිබුණු, හරිම ලස්සන ගැහැනියක්.


ඇය හමුවීමේදී ඔබ ඇයට දුන් පොරොන්දුවක්ද ඔබ රාණි තුළින් ඉටු කළේ?

ඔව්... මීට අවුරුදු විසි අටකට පෙර මම ඇයට දුන් පොරොන්දුවක් තමයි මම මේ ඉටු කළේ.


ඒ පොරොන්දුව ඉටු කරන්න හෝ ඉටුවෙන්න වසර විසි අටක් තරම් දිගු කාලයක් ගතවීම ඔබට සුබවාදීව හෝ අසුබවාදීව දැනෙන විදිහක් තියෙනවද?

මට මගේ රාණි වෙන්න අවුරුදු විසි අටක් ගතවීම නැත්නම් මනෝරාණිට වෙච්ච පොරොන්දුව ඉටු කරන්න අවුරුදු විසි අටක් තරම් දිගු කාලයක් ගතවීම මම දකින්නෙ ඉතාමත් සුබවාදී දෙයක් විදිහටයි. ඒ කාලේ මම ඒ චරිතය නිරූපණය කළා නම් ඒ වයස අනුව ඒ චරිතයේ බාහිර ස්වරූපය මා තුළ ගොඩනංවන්න වේෂ නිරූපණය පැත්තෙන් විශාල කාර්යයක් කරන්න වෙනවා. ලොකු මහන්සියක් දරන්න වෙනවා. ඒත් මම ඒ චරිතය කළේ සුදුසුම කාලයේ. දෙවියන් වහන්සේගෙන් ඉල්ලන දේවල් උන්වහන්සේ අපට ලබා දෙන්නේ එය ලබාදිය යුතු සුදුසුම කාලය තුළ වග මම විශ්වාස කරනවා. ඉතින් දෙවියන් මට හොඳම විදිහට හොඳම කාලයේදී එය ප්‍රදානය කරලා මම මනෝරාණිගේ චරිතය නිරූපණය කළේ මට ඇය හමුවෙද්දි සිටි ඇගේම වයසේදි. ඒ සියල්ල සිදුවූ ආකාරය හරි සුන්දරයි වගේම හරි සුබවාදීයි.


දඩයම චිත්‍රපටයේ රත්මලීගේ රංගනය රාණි චිත්‍රපටයේ මනෝරාණි සරවනමුත්තුගේ රංගනයට දෙවැනි වූ වග ඔබ කියනවා. ඒ ඔබේ හෘද සාක්ෂිය. ඒ ඔබේ විචාරය. ඒ හෘද සාක්ෂියට සහ විවාරයට හේතු කියන්න?

මම කිසිදු වෙසෙකින් දඩයම චිත්‍රපටය පහත හෙලනවා නෙවෙයි. මම මනෝරාණිගේ චරිතය නිරූපණය කරන තුරු මට මා රඟපෑ රංගනයන් අතුරින් හොඳම චරිතය වුණේ රත්මලීගේ චරිතයයි. සුද්දිලාගේ කතාවේ මගේ රංගනය, හංස විලක් හි මිරැන්ඩා, සාගර ජලයෙහි හීන් කෙල්ල, අනන්ත රාත්‍රියෙහි පියුමි, කැඩපතක ඡායා හි නන්දා, ඇගේ ඇස අග මහාචාර්යවරයාගේ බිරිඳ, සත්සමුදුරේ සෝමා, හන්තානේ කතාවේ සුබා, මේ වගේ චරිත රැසක් අතුරින් මෙතුවක් මගේ ප්‍රියතම සහ හොඳම රංගනය ලෙස මා සැලකුවේ දඩයමෙහි රත්මලීගේ රංගනයයි. ඒත් රාණි හි මනෝරාණි මා වෙනස් කළා. මෑතකදී අවුරුදු දහයකට විතර පසු මම දඩයම බැලුවා. ඒ බැලුවේ ප්‍රේක්ෂකයෙක් විදිහට. රත්මලී කියන්නෙ ප්‍රසිද්ධ චරිතයක් නෙවෙයි. ඇගේ පින්තූරයක් පවා දකින්න තියෙන්නෙ එක පින්තූරයක් වගේ. රත්මලී කියන්නෙ තමන් ආදරය කරන පිරිමියා තමන් අත්හරිද්දි, තමන්ට ද්‍රෝහි වෙද්දි ඒ පිරිමියා මත්තෙම වැළපෙන ගැහැනියක්. ඒත් මනෝරාණි කියන්නෙ රටක් වටින පුතෙක් ලෝකයට දුන්න, ඒ පුතු තමාට අහිමි කිරීමේ වේදනාවෙන් දැවුණු, ඒ වේදනාව අම්මාවරුන්ට දරුවන් අහිමි කළ ජඩ පාලනයකට එරෙහිව හඬ නගන්න වේදිකාවක් කරගත්ත ප්‍රතාපවත් ගැහැනියක්. මනෝරාණි සරවනමුත්තු කියන්නේ එවන් අම්මාවරුන් වෙනුවෙන් ආත්ම පරිත්‍යාගයෙන් කැපවුණු ගැහැනියක්. ඉතින් වටින්නේ රත්මලීද? මනෝරාණිද? ගැහැනියක් ලෙස වටින්නේ රත්මලීද? මනෝරාණිද?


ඩොක්ටර් මනෝරාණි සරවනමුත්තුගේ චරිතය ඔබ රඟපාන්නෙ නෑ. මට දැනෙන්නෙ එහෙම. ඔබ ඒ චරිතයේ හදගැස්ම සමඟ ආත්මීය හුස්මක් ගන්නවා. මට හැඟෙන්නෙ එහෙම. කොහොමද එතරම්ම ඔබ චරිතයක් හා ඉසියුම් සහ සූක්ෂම ලෙස ඔබ බැඳෙන්නෙ?

අශෝක හඳගම කියන දැවැන්ත සිනමා අධ්‍යක්ෂවරයාගේ අධ්‍යක්ෂණය වගේම තව හේතු කිහිපයක් ඒ බැඳීමට හේතු විදිහට තියෙනවා. මනෝරාණි සරවනමුත්තු ගැන මගේ කියවීම සහ ගැඹුරින් ඇයට මට සන්නිවේදනය වීම තවත් හේතුවක්. ඒ වගේම ලයිකා වගේ නිෂ්පාදන සමාගමක් නිෂ්පාදක දායකත්වය දැරීම, එහි ලාංකික සම්බන්ධීකාරක ලෙස ක්‍රියා කළ ජානකී විජේරත්න හමුවීම, ඇයගේ කැපකිරීම, චන්න දේශප්‍රිය වැනි ඉතා දක්ෂ නිර්මාණශීලී කැමරා අධ්‍යක්ෂවරයෙක් හමුවීම, අති දක්ෂ ඇඳුම් නිර්මාණ ශිල්පියෙක්, වේෂ නිරූපණ ශිල්පියෙක් හමුවීම, මේ ආදී මේ චිත්‍රපටය හා බැඳුණු සියලු දෙනාගේ දායකත්වය ඉතා විශිෂ්ටයි. ඒ සියල්ලම මනෝරාණි චරිතය ඒ විදිහට ගොඩනංවා ගැනීමට හේතු වුණා. ඔවුන් සමඟ කටයුතු කළ ඔවුන්ගේ කණ්ඩායම් ලබාදුන් දායකත්වය සහ සහයෝගයත් ඒ ආකාරයෙන්ම හරි විශිෂ්ටයි. ජානකී මාව දැකලා තිබුණේ දඩයම චිත්‍රපටයේ එක රූප රාමුවකින් විතරයි. ඒ රූප රාමුව දැකලා ඇයට මම ඇය කැමතිම නිළිය වුණාලු. ඉන්පසු ඇය මම රඟපෑ චිත්‍රපට හොයාගෙන බලලා තිබුණා. ඒ වගේම රවීන්ද්‍ර ගුරුගේ කියන ප්‍රවීණ චිත්‍රපට සංස්කරණ ශිල්පියාට, වේෂ නිරූපණය කළ ප්‍රියන්ත දිසානායකට, ඇඳුම් නිර්මාණය කළ අකිල අකුරගොඩට, ඇත්තටම මට සමාවෙන්න එක නමක් හරි සඳහන් කරන්න බැරි වුණානම්, මේ නිර්මාණය වෙනුවෙන් දායකත්වය දැක්වූ හැම කෙනෙක්ටම මම කිරුළු පළඳිනවා. සනත් ගුණතිලක, බිමල් ජයකොඩි, අශාන් ඩයස්, සෞම්‍ය ලියනගේ, සම්පත් ජයවීර, රෙහාන් අමරතුංග, අනුසුයා සුබසිංහ, මයුර කාංචන, රිතිකා කොඩිතුවක්කු, සජිත ඇන්තනී, මේ වගේ රංගවේදීන් රැසක් රාණි චිත්‍රපටයේ රඟපානවා. මේ හැම කෙනෙක්ගෙන්ම ලැබුණු සහයෝගය වචනයෙන් කියන්න බැරි තරම්. මෙතනදි එක නමක් හෝ මට කියන්න නොහැකි වුණා නම් මම ඒ වෙනුවෙන් සමාව අයදිනවා.


අශෝක හඳගම කියන චිත්‍රපට අධ්‍යක්ෂවරයා ඔබ නිර්වචනය කරන්නේ කොහොමද?

මම අශෝක හඳගමගේ චිත්‍රපට දෙකක මීට පෙර රඟපෑවා. ඔහු ඉතාමත් සියුම්, නිර්මාණශීලී, සමාජ අවබෝධයක් තියෙන අධ්‍යක්ෂවරයෙක්. රාණි චිත්‍රපටය මම හිතන්නේ අශෝක හඳගම කියන අධ්‍යක්ෂවරයාට තරම් වෙන කිසිම අධ්‍යක්ෂවරයෙක්ට මේ තරම් සාර්ථකව කරන්න බෑ. මනෝරාණි සරවනමුත්තු කියන චරිතය ඇය ජීවත් වූ සමාජ පන්තිය, ඒ කාලයේ තිබුණු දේශපාලනික පසුබිම, මේ සියල්ල ගැන හඳගමට විසල් අවබෝධයක් තිබුණා. ඇත්තටම ඇහිපිල්ලමකුත් ගහගන්නෙ නැතුව එකම ධාරණයක් තුළ බලාගෙන ඉන්න පුළුවන් චිත්‍රපටයක් හදපු ගෞරවය අශෝක හඳගමට හිමිවිය යුතුමයි. ඒත් සමඟම කිලෝ පනහක් විතර බර කැමරාවක් කරේ තියාගෙන ඉතාමත් වගකීම්සහගත ලෙස තමන්ගේ කණ්ඩායම හසුරුවමින්, සියල්ල නිසි පරිදි සැලසුම් කර ඒ සැලසුම්කරණය නිසාම ඉතාමත් සැහැල්ලුවෙන් හැසිරෙන චන්න දේශප්‍රියටත් මගේ ගෞරවය හිමිවිය යුතුමයි.


විශේෂයෙන් මාධ්‍යයේ හිතමිතුරන් එක්ක රාණි නැරඹූ දා ඒ නරඹා සිනමා ශාලාවෙන් එළියට පැමිණි පළමු මොහොතේ මට හිතුණේ ස්වර්ණා මල්ලවආරච්චි දෙවැනි වතාවටත් ඉපදුණා. සියල්ලන් ඔබව පිළිගත්තේ කුසුමක් ලෙසින්. ඒ මොහොතේ ඔබට දැනුණු හිතුවිල්ල දැන් මට කියන්න?

ඒ ආදරය මේ මොහොතේත් මට දැනෙනවා. හමන සුළඟක පවා දැවටී එන්නේ ඒ ආදරය වග මම විශ්වාස කරනවා. මම දෙවියන්ට යාඥා කරද්දිත් මගේ ආදරය කරන මගේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන්, මම වෙනුවෙන් ලියන, සිනමාවට ආදරය කරන හැම කෙනෙක්ම වෙනුවෙන් ආශිර්වාද කරනවා. හැම මොහොතකම මට දැනෙන, මම විඳින ආදරයට මම ආදරෙයි. එදා ඇත්තටම මම රාණි බලලා එළියට එද්දි දැනුණේ ලෝකයෙන්ම මට දුන්න සම්මානයක් අරගෙන එළියට එන මොහොතේ දැනුණු තරම් සතුටක්. ආදරයක්


• සංජීවිකා සමරතුංග



Previous Post Next Post