ආදරය වචනවලින් කියාගන්න බැරි අමුතු හැඟීමක්-සචින් ලියනගේ

 


සචින් ලියනගේ ප්‍රේක්ෂක හදෙහි නොමැකෙන මතක රැන්දූ දක්ෂ කඩවසම් රංගන ශිල්පියෙක්. ටෙලිතිරයට, සිනමාවට ආදරණීය මතක එක් කළ ඔහු කලා ලොවට නැවුම් ආලෝකයක්. මෙවර හදගැස්මට මේ සොඳුරු කතාබහ ඔහුගෙන්.


“ප්‍රේම රස්තියාදුව” ටෙලි නිර්මාණයේ ඔබේ චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


“ප්‍රේම රස්තියාදුව” ටෙලි නාට්‍යය විකාශය ආරම්භ වුණා විතරයි. අනෙක් ටෙලි නිර්මාණවලට ලැබුණා වගේ තවම ලොකු ප්‍රේක්ෂක ප්‍රතිචාර නෑ. දැනට සාමාන්‍යයෙන් ප්‍රතිචාර හොඳයි. මේ නිර්මාණයේ මම ගොඩක් වෙනස් චරිතයකට තමයි රංගන දායකත්වය ලබා දෙන්නේ. ඒ දේ නරඹන ප්‍රේක්ෂකයන්ට පෙනෙනවා. ඉතින් ඒ නිර්මාණයේ වැඩ කටයුතු දැනට සාර්ථක විධියට යනවා . අපි ඉස්සරහට ඒ තුළ වෙනස්කම් කීපයක් කරන්න ඉන්නවා සහ ඒ දේවල් එක්ක ඉතින් ලස්සනට වැඩකටයුතු වෙයි.


ක්ෂේත්‍රයට පැමිණ ටික කලකින් ඔබ ජනප්‍රියත්වයට පත්වනවා. ජනප්‍රියත්වය දිගටම රඳවා ගැනීම පහසු නෑ නේද?


එක පාරට ටික දවසකින් ජනප්‍රිය වුණා කියලා කියන්න බෑ. මොකද මම අවුරුදු කුමාරයා තරග දෙකකට සහභාගි වී වෙළඳ දැන්වීම්වල, මියුසික් වීඩියෝවල රඟපෑමෙන් පසුව තමයි ටෙලි නාට්‍යවලට අවස්ථාවක් ලැබුණේ. ඉතින් ඒ සඳහා මම හිතන්නේ අවුරුදු දෙකක් විතර ගත වුණා. එහිදී මට ලැබුණු පළමුවැනි ටෙලි නාට්‍යයේ ලැබුණේ මේන් රෝල් එකක් නෙවෙයි සබ් රෝල් එකක්. ඒ නිර්මාණයට දායක වෙලා අවුරුදු දෙකකට විතර පසුව තමයි මට මේන් රෝල් එකක් ලැබෙන්නේ. ඉතින් මම හිතන්නේ ටික කාලයකින් එකපාරට ජනප්‍රිය වුණා කියලා කියන්න බෑ. මොකද මම බොහෝ කාලයක ඉඳන් මිනිස්සුන්ට පෙනි පෙනී ආපු චරිතයක්. මට හැරවුම් ලක්ෂ්‍යයක් වුණේ සිරස නාළිකාවේ


විකාශය වූ ” කියාදෙන්න ආදරේ තරම් “ටෙලි නාට්‍යය” තමයි. ඇත්තටම මම මිනිස්සුන්ගේ ආදරය ලබාගන්න කියලා ලොකුවට මේන්ටේන් වෙන බොරු දේවල් කර කර ඉන්න චරිතයක් නෙවෙයි. මම සාමාන්‍ය ජීවිතයේදී සාමාන්‍ය විධියට හැසිරෙනවා. මම හිතන්නේ කලා ජීවිතයේදී ප්‍රේක්ෂකයන් වරදක් නොකියන විධියට රඟපානවා. ඉතින් ඒ දේවල් තමයි සාර්ථකත්වයේ රහස. ඒ වගේම මම හැමෝටම ගරු කරනවා සහ මම නිහතමානී කෙනෙක්. මට විශ්වයෙන්, ප්‍රේක්ෂකයන්ගෙන් වුණත් සහයෝගයක් ලැබෙන්නේ ඒ නිසා වෙන්න ඇති කියලා හිතනවා.


ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් හා නවක පරපුර අතර අන්‍යා්න්‍ය බැඳීම ඔබ දකින්නේ කෙසේද?


අපි හැමෝම මිනිස්සු විධියට මිනිස්සුන්ගේ ආකල්ප එක එක විධිය වෙන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් හැලහැප්පීම් මැද්දේ මේ කලාව දෙපාර්ශ්වයම කරගෙන යනවා. මම දකින දෙයක් තමයි වෙලාවකට සමහර නවක ශිල්පීන් ඇවිත් කියනවා ප්‍රවීණයන් සමඟ වැඩ කරන්න ටිකක් අමාරු වුණා කියලා. නමුත් ඇත්තටම එහෙම දෙයක් නෑ. බොහෝ වෙලාවට එහෙම ප්‍රශ්න ඇතිවෙන්නේ සමහර නවක ශිල්පීන් ප්‍රවීණ රංගන ශිල්පීන්ට ගරු කරන්නේ නැතිව ඉන්න බලනවා. නමුත් මම හිතන්නේ ඒ ගරු කිරීම් මගේ අතින් ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන්ට සිදුවෙනවා සහ ප්‍රවීණ ශිල්පීන්ගෙන් කවදාවත් මට වැරැද්දක් වෙලා තිබෙනවා කියලා මම හිතන්නේ නෑ. අපි හැමවෙලාවකම ප්‍රවීණ ශිල්පීන්ට ගරු කරන්න ඕනෑ. මොකද ඒ අය අපට වඩා මේ ක්ෂේත්‍රය තුළ බොහෝ අත්දැකීම් ලබපු පිරිසක්.


ඔබේ රංගන කුසලතා දියුණු කර ගැනීමට ස්වයං අධ්‍යයනයන් සිදු කරනවද?


බොහෝ වෙලාවට මම කරන්නේ චිත්‍රපට නරඹන එක තමයි. ඒ දේවල් ඒ කාලයේ ඉඳන් කළා. ඉස්සර නම් සතියට ෆිල්ම්ස් විසි හතක් විසි අටක් විතර අනිවාර්යෙන්ම බැලුවා. දැන් නම් කාර්යබහුලත්වයත් සමඟ සතියටම ෆිල්ම් පහක් හයක් තමයි බලන්නේ. ඊට අමතරව මම දකින චරිත, කැමැති චරිත බාත්රූම් එකේදී මිර(ර්) එක බලාගෙන රඟපාලා බලනවා. ඒ තමයි මගේ ජීවිතයේ මම හැමදාම කරන අධ්‍යයනය. ඒ වගේම ෂූටින් අතරතුරේ විවේකී වෙලාවට කාර් එක තුළදී මට ලැබෙන දෙබස් වේරියේෂන්ස් පහ හයකින් කියල බලනවා. ඊට අමතරව වෙනත් දෙයක් මම කරන්නේ නැහැ.


වර්තමානයේ ටෙලි තිරයේ හා සිනමාවේ නව හැරවුම් ගැන මොකද හිතෙන්නේ?


මෙහෙමයි, මම දැන් ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු නවයක්. ඉතින් එක එක කාලයේදී එක එක හැරවුම් වෙලා තිබෙනවා. ඉතින් මම හිතන්නේ හැම හැරවුමකම නැවුම් වූ නිර්මාණ බිහිවෙනවා. ඉතින් ප්‍රේක්ෂකයන්ව පිනවන්න පුළුවන් හොඳ නිර්මාණ ටිකක් බිහිවෙලා තිබෙනවා සහ සමහර දේවල්වල හොඳ නරක දෙකම තිබෙනවා.


රංගන ශිල්පියකුට තම ඉදිරි ගමනේ සාර්ථකත්වය වෙනුවෙන් ප්‍රතිරූප නඩත්තුව කොතරම් වැදගත්ද?


ඒ ගැන නම් මගේ කිසිම අදහසක් නෑ මොකද මම සාමාන්‍යයෙන් ප්‍රතිරූප නඩත්තු කරනවා කියන එක කරන්නේ නෑ. අපි ගොඩාක් නරක විධියට හැසිරෙන මිනිස්සු නම් අපට අනිවාර්යයෙන්ම ප්‍රතිරූප නඩත්තුවක් ඕනෑ. නමුත් මගේ ජීවිතයේ මට ප්‍රතිරූප නඩත්තුවක් අවශ්‍ය නැහැ. මම ගෙවන්නේ හරි සරල ජීවිතයක්. ප්‍රේක්ෂකයෙක් හමුවුණත් මම හරිම සාමාන්‍ය විධියට ගෙදර කෙනකුට වගේ කතා කරන කෙනෙක්. බිම ඉඳගෙන කතා කරන්න පුළුවන් නම් බිම ඉඳගෙන හරි කතා කරලා මම මගේ ගමන යනවා. එතැනින් එහාට මම පවුලේ එක විධියකට ක්ෂේත්‍රය තුළ එක විධියකට හැසිරෙන්නේ නෑ.


ආදරය හා විවාහය ගැන ඔබේ කියැවීම කොහොමද?


ආදරය හා විවාහය කියන දේ ගැන කියැවීම කරන්න තරම් මම හරි වයසක නෑ කියලා හිතනවා. ආදරය නම් මම විඳිනවා සහ ඒ දේ වචනවලින් කියාගන්න බැරි තරම් හරි අමුතු හැඟීමක්. විවාහය ගැන මට තවම හරි අවබෝධයක් නෑ. ආදරය ඇතුළේ දුක, සතුට, විරහව, ඊර්ෂ්‍යාව, ආදරය, කේන්තිය ඒ හැමදේම තිබෙනවා. මම විවාහය ගැන පිටතින් දකින දේ තමයි කෙනකුව ලියවිල්ලකින් ලබා ගැනීම කියන දේ. ඉතින් එතැනින් එහාට ඔවුන් එක පවුලක් වෙනවා.


ඔබ බොහෝ විට වාණිජ ධාරාවේ කලා නිර්මාණ තුළ දකින්න ලැබෙනවා. ඉදිරියේදී කලාත්මක ධාරාවේ නිර්මාණවලත් දකින්න ලැබේවිද?


ඔව්. මමත් ඒ දේ ප්‍රාර්ථනා කරනවා. මමත් හිතන්නේ දැන් මට කාලය හරි කලාත්මක නිර්මාණයක වැඩ කටයුතු කරන්න කියලා තමයි. ආර්ට් වැඩවලට දායක වෙන්න හරි ආශාවෙන් බලාගෙන ඉන්නවා. මම හිතන්නේ තවම මගේ රංගනය හරියට පිටතට පෙන්වන්න හරි තැනක් හම්බවුණේ නෑ කියලා. ඒ වගේම නිර්මාණයකට ආරාධනා ලැබුණොත් ගොඩක් මහන්සි වෙලා හරි ආදරයෙන් ඒ නිර්මාණයේ වැඩ කටයුතු කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. බලමු ඉතින්.


ඔබේ ඉදිරි වැඩකටයුතු ගැනත් මතක් කරමු?


මම රචනා කරන ෆිල්ම් එකක් තිබෙනවා. ඒ ෆිල්ම් එක ගොඩාක් කාලයක ඉඳන් මේ ලියන්නේ සහ දැන් ඉවර වෙන්න ළඟයි. ඉතින් ඒ දේ නිර්මාණයක් විධියට ප්‍රේක්ෂකයන් අතරට ගෙන එන්න බලාපොරොත්තුවක් තිබෙනවා. දැනට ටෙලි නාට්‍යය දෙකත් එක්ක වැඩකටයුතු කරගෙන ඉදිරියට යනවා. ෆිල්ම් එකකටත් ආරාධනා ලැබිලා තිබෙනවා. බලමු ඉතින් ඉදිරියට.




රුවිනි අමරකෝන්

Previous Post Next Post