සෝෂල් මීඩියාවෙන් ඉදිරියට පැමිණි ශිරෝෂිමා

 



ශිරෝෂිමා බණ්ඩාර අපිට මුණගැහෙන්නෙ සෝෂල් මීඩියා තුළ ඉන්න කන්ටෙන් ක්‍රියේටර් කෙනෙක් විදියට. ශිරෝෂිමාගේ වීඩීයෝ නම් ඔබත් දැක ඇති. ඒ නිසාම ඇය ගැන විස්තර දැන ගන්නත් කැමති ඇති, ඒ හැමෝම වෙනුවෙන් තමයි රසඳුන මේ කතාබහ.


මුලින්ම කියන්නකො ශිරෝෂිමා බණ්ඩාර කියන්නේ කවුද?


එහෙම විශේෂයෙන් කියන්න දෙයක් නැහැ. මම සාමාන්‍ය පවුලකින් එන සාමාන්‍ය විදියට ජිවත් වෙන කෙනෙක්.


කවදද කොහොමද මේ කන්ටෙන් ක්‍රියේටිව් වැඩ මුලින්ම පටන් ගත්තෙ?


මුලින්ම කන්ටෙන් කරන්න ගත්තේ 2021 ටික්ටොක් එකට. ඊට පස්සේ ෆේස් බුක් පේජ් කිහිපයකින් මගේ ටික්ටොක් අරගෙන දාලා තිබ්බා. ඒකත් එක්ක තමයි මගේ වීඩියෝ වයිරල් වෙන්න ගත්තේ.


මේ වෙද්දි ලැබෙන ප්‍රතිචාර කොහොමද?


බොහොම සතුටුදායක ප්‍රතිචාර තමයි අහන්න ලැබෙන්නේ. කලාතුරකින් එහෙන් මෙ‍ෙහන් එන නරක ප්‍රතිචාර තියෙනවා. ඒවා ලොකුවට ගණන් ගත යුතු නැහැ කියලයි මගේ විශ්වාසය. ලැබෙන හොඳ ප්‍රතිචාර එක්ක මා වටා එකතු වෙලා ඉන්න ෆෑන් බේස් එක ගැන මට සතුටුයි. එයාලා කමෙන්ට් එක දෙන්නේ එයාලගේ හදවතින්මයි කියලා මට දැනෙනවා. මේ ලැබෙන ප්‍රතිචාවලට මම ඇත්තටම ආදරෙයි.


හිතුවද මේ තරම් පිරිසක් ඔබ වටා එකතු වෙයි කියලා


මේ වගේ පිරිසක් මා වටා එකතු වෙයි කියලා බලාපොරොත්තුවෙන් නෙවෙයි මම මේ දේ කරන්න පටන් ගත්තේ. කන්ටෙන් කරන්න ඕනේ සහ මෙහෙම කළා නම් හොඳයි කියලා හිතුණේ මම පාසලේ දී නාට්‍යය හා රංග කලාව ඉගෙන ගන්න කාළේ. ඒ එක්කම පාසල් කාලයේ තරගවලින් ජයග්‍රහණ ලබා ගත්තා. ඒ නිසා මට ඕනේ වුණේ මගේ යම් කිසි දක්ෂතාවක් තියෙනවා නම් අනිත් අය එක්කත් බෙදා ගන්න. පාසලේ අය විතරයි මගේ හැකියාවන් දැක්කේ. ඒ නිසා සෝෂල් මිඩියා හරහා මගේ හැකියාවන් දක්ෂතා බෙදා ගන්න තමයි උත්සාහ කළේ.‍;


පාසල් ගියේ කොහෙද, ඒ කාලෙත් පාසල් වේදිකාවේ එහෙම හිටිය ද?


මගේ පාසල කඩවත මහාමායා බාලිකා විද්‍යාලය. මම බොහොම ගෞරවයෙන් කියනවා මට රංගනය කියන දේට හැකියාව තියෙනවා සහ අනෙකුත් දක්ෂතා හඳුනා ගත්තේ මගේ පාසල තුළින්. පාසල් කාලයේ ඉඳලා ආසාවක් තිබ්බා නර්තනය සහ රංගනය වැනි කලාත්මක දේවල් වලට. පාසල් වේදිකාවේත් ඉඳලා තියෙනවා. එතනින් එහාට පාසල් අතර තරගවලට ගිහින් ජයග්‍රහණ ලබලා තියෙනවා. ඒ ගැන මට නැවත නැවත මතක් කරද්දීත් සතුටුයි.


කවුද මේ වීඩීයෝ සඳහා සහයෝගය දෙන්නෙ


මගේ සැමියා. එයයි මායි එකතු වෙලා තමයි මේ වීඩියෝ කරගෙන යන්නේ. ඊට අමතරව පවුලේ අයගෙනුත් සහයෝගය ලැබෙනවා. මට වඩා ලොකු බරක් දරන්නේ මගේ මහත්තයා.


පවුලේ කවුද ඉන්නෙ?


අම්මයි, තාත්තයි, මමයි, නංගියි. දැන් මම විවාහ වෙලා. මම දැන් ඉන්නේ මහත්තයාගේ ගෙදර. එයාගේ අම්මත් අපි එක්කම ඉන්නවා.


පවුලේ අය මුල් කාලේ ඉඳන් මේ වැඩවලට සහයෝගය දුන්නා ද?


ඇත්තෙන්ම ඔව්. ඒ අය තව මෙහෙම කරන්න කියලා අදහස් දෙනවා. කිසිම විරුද්ධත්වයක් තිබ්බේ නැහැ. ඒ නිසා ලොකු හයියක් වුණා.


ශිරෝෂිමා මේ දේවල් වලට අමතරව රැකියාවක් එහෙමත් කරනවද?


මුල් කාලේ රැකියාවන් කිහිපයක් කළා. දැන් ඒ හැම දෙයකින්ම ඉවත් වෙලා සම්පූර්ණයෙන් සෝෂල් මිඩියා වැඩ කටයුතු කරගෙන යන්න තමයි මුල් තැන දීලා තියෙන්නේ.


වැඩියෙන්ම මුලින්ම වයිරල් වෙන්න ගත්ත වීඩීයෝ එක මොකක් ද?


ඒක මම ටික්ටොක් එකට දාපු වීඩියෝ එකක්. පාසල් යන කාලේ ආදර කතාවකට අම්මා දක්වන ප්‍රතිචාර මොන වගේ ද කියන එක සහ පාසල් කාලයෙන් පස්සේ විවාහ වෙන වයස ආවම අම්මලාගෙන් එන බලපෑම් මොන වගේ ද කියන එක.


රඟපාන්න ඇරියුම් ලැබුණොත් භාර ගන්නවද?


අනිවාර්යෙන්ම මම භාර ගන්නවා. මගේ දක්ෂකම් පෙන්වන්න තියෙන අවස්ථාවක් ලැබුණොත් කවදාවත් මම ඒක මඟහරින්නේ නැහැ. මට වෙනස් දෙයක් කරන්න පුළුවන් නිර්මාණයක් ලැබුණොත් මම භාර ගන්නවා. මගෙන් මිදිලා වෙන චරිතයක් කරන්න ලැබුණොත් මම හරි ආසාවෙන් භාර ගන්නවා.


ශිරෝෂිමා ඉන්න සෝෂල් මිඩියා ෆ්ලැට්ෆෝරම් මොනවද?


මම මුලින්ම කරේ ටික්ටොක්, දැන් මම ටික්ටොක් Fb, යූටියුබ් සහ ඉන්ස්ට්‍රග්‍රෑම් කියන හතරේම ඉන්නවා.


දැනට තියෙන බාධා සහ අභියෝග මොනවද?


මේ වෙනකොටත් ගොඩක් අභියෝග පහු කරන් ආවේ. වෙලාවකට ඇති කියලත් හිතෙනවා. ඒත් තවම හස්බන්ඩ් සහ මම මේක අල්ලාගෙන ඉන්නවා. මේ හරහා දෙයක් කරන්න පුළුවන් කියලා හිතෙන නිසා. මම කැමතියි මගේ කන්ටෙන් තව ඩිවලොප් වෙනවට. ඒ හරහා තව පිරිසකගේ දක්ෂකම් අනිත් අය දකිනවට. ඒකට අපි හිමින් හිමින් මේ ගමන යනවා.


අනාගත බලාපොරොත්තු මොනවද?


සෝෂල් මිඩියාවලට පමණක් කොටු නොවී කලා නිර්මාණවලට දායක වෙලා ඉහළටම යන්න තමයි මගේ බලාපොරොත්තුව.


අනුෂා රණසිංහ



Previous Post Next Post