ගැහැනු යාළුවො ඕනේ තරම් ඉන්නවා හැබැයි ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැහැ -ඉඳුවර සූරියබණ්ඩාර


ඉඳුවර සූරියබණ්ඩාර අපිට මුලින්ම සමීප වෙන්නේ ‘පාර දිගේ’ හි ජූඩ් ලෙසින්. ඉන්පසු ‘සර්කර්ස්කාරයෝ’ ටෙලි නාට්‍යයෙන් ප්‍රේක්ෂකයින් අතරට ආවා. හැබැයි නළුවෙක් වෙන්න කලින් ‘අග්නි පියාපත්’හි සංගීත අධ්‍යක්ෂණය

ක‍ෙළත් ඉඳුවර සූරියබණ්ඩාර. මේ දිනවල තිරගත වන ‘ගෞතම බුද්ධ මාතා’ චිත්‍රපටයෙනුත් ඉඳුවර සූරියබණ්ඩාර දැක ගන්න පුළුවන්. මේ කාලයේ ඉඳුවර සූරියබණ්ඩාර එංගලන්තයේ සිනමාව ගැන වැඩිදුර ඉගෙන ගන්න නිසා පුංචි තිරයෙන් නම් දකින්න ලැබෙන්නේ නැහැ. මේ දවස්වල ලංකාවට ඇවිත් ඉන්න නිසා රසඳුන සමඟ කළ කෙටි කතාබහයි මේ.


ඉඳුවර මොකද වෙන්නේ මේ දවස්වල


මේ දවස්වල ලංකාවට ආවේ පොඩි නිවාඩුවකට. මම එංගලන්තේ සිනමාව පිළිබඳ උපාධියක් කරනවා. මම ගිය සැප්තැම්බර්වල ගියේ. ඒ නිසා අවුරුදු තුනක කාලයක් එහෙ ඉන්න වෙනවා.


එංගලන්තේ අධ්‍යාපන ක්‍රමය කොහොමද?


ඇත්තටම හොඳයි. මෙහෙ අධ්‍යාපන ක්‍රමයට වඩා හාත්පසින්ම වෙනස් සහ නිදහස තියෙනවා. ඉගෙනීම සිදු කරන අතරේ රැකියාවක් කරන්නත් පුළුවන්. ඒ එක්කම එහේ තාක්ෂණික පැත්තෙන් හැමදේම දියුණුයි. මෙහෙ සිනමාවට වඩා එහෙ සිනමාව ගොඩක් ඉදිරියෙන් තියෙන්නේ. ඒ නිසා මේ මාස තුනක කෙටි කාලයකට ලද අත්දැකීමත් මරු.


සිනමාවේ විවිධ පැතිකඩ තියෙනවනේ. කවුරු වෙන්නද වැඩිදුර ඉගෙන ගන්නේ?


ඔව්. අපේ උපාධිය තුළ හැම අංශයක්ම කවර් වෙනවා. මම ගොඩක් ෆෝකස් කරන්නේ අධ්‍යක්ෂණය සහ සිනමා කැමරාකරණය පැත්තට. ඉතින් කවදාහරි අධ්‍යක්ෂවරයෙක් වෙන්න තමයි මගේ අදහස.


ඉඳුවර ලංකාවෙන් යද්දී ජනප්‍රිය නළුවෙක් වෙලා හිටියේ, මේ අවුරුදු තුන තුළ රංගනයට සමුදීලා ද?


රඟපෑම පැත්තෙන් මගේ නම හදාගෙන එද්දිම තමයි මට වැඩිදුර ඉගෙන ගන්න එංගලන්තයට යන්න සිද්ධ වුණේ. පොඩි රිස්ක් එකක් අරගත්තා. මගේ අදහස තියෙන්නේ මම එහේ ඉගෙන ගන්න දේවල් එක්ක ඒ දැනුමත් එක්ක මෙහෙ ඇවිත් මගේ රංගන කටයුතු කරන්න. ඒ එක්කම ඉස්සරහට සිනමාව පැත්තෙන් වැඩ කරන්න ආසයි. ලංකාවේ හොඳ සිනමා නළුවෙක් වෙන එකත් මගේ එක අරමුණක්. ඉස්සරහටත් රඟපෑමේ වැඩ ටිකක් කරගෙන යනවා. ඒ දේවල් ඉදිරියට බලාගන්න පුළුවන් වෙයි.


මේ කාලයේත් ඔබව සිනමා තිරයෙන් දකින්න ලැබෙනවා


සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න සර්ගේ ‘ගෞතම බුද්ධ මාතා’ හි රඟපාන්න මටත් අවස්ථාවක් ලැබුණා. මේ මගේ දෙවන සිනමා නිර්මාණය සහ තිරගත වුණු පළමු සිනමා නිර්මාණය. මගේ මුල්ම නිර්මාණය වුණේ මෑතක දී අප අතරින් වියෝ වූ තේජා ඉද්දමල්ගොඩ අන්කල්ගේ ‘සඳ එක් දිනක්’ – ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ ජිවිත කතාව ගැන කරපු සිනමා නිර්මාණය. එහි මම ඩික්සන් ගුණරත්න කියන ලීඩ් ගිටාර් වාදන ශිල්පියාට මම රඟපෑවේ.


‘පාර දිගේ’ තමයි ඉඳුවර ප්‍රේක්ෂකයන් අතරට ආවේ. ඒ සෙට් එකේ යාළුකම් තාම තියෙනවද?


ඔව්. මම මේ සැරේ ලංකාවට ආවමත් 31රෑ අපේ රෝඩ් බෑන්ඩ් එකේ තිබ්බ ප්‍රසංගයකට ගිහින් සින්දු කියලා ආවා. ඒ කියන්නේ සල්ලිවලට නෙවෙයි. ආතල් එකට කට්ටිය එක්ක එකතුවෙලා අලුත් අවුරුද්ද පටන් ගත්තේ. අපි පටන් ගත්ත ඒ බෑන්ඩ් එක තාම හොඳට යනවා. මම මේ වෙද්දී අයින් වෙලා ඉන්නේ. නමුත් වෙලාවක් ලැබුණාම මම ගිහින් සින්දු කියනවා.


එංගලතයේ දී පාර්ට් ටයිම් ජොබ් එකක් කරනවා නේද?


ඔව්. එහෙ ස්ටුඩන්ට්ලා හැමෝම ජොබ් කරනවා. සතියකට දවස් තුනක් විතර තමයි ඉගෙන ගන්න තියෙන්නේ. අනිත් දවස්වල අපිට වැඩ කරන්න පුළුවන්. මගේ වාසනාවකට එහෙ සිනමාශාලාවකම වැඩ කරන්න ලැබුණේ. ඒක අලුත් අත්දැකීමක්. මම ආසයි ඒ අත්දැකීම ලබා ගන්න.


පවුලේ එකම ළමයා ගෙදරින් ගියාම කොහොමද දැනුණේ?


මගේ අම්මා සහ තාත්තා තමයි මට කිව්වේ ගිහින් ඉගෙන ගෙන එන්න කියන එක. එයාලා තමයි මගේ හැමදේම. අදටත් ඒ දෙන්නා තමයි මාව බලා ගන්නේ.


අම්මයි තාත්තයි හැරුණම මෙහෙන් යද්දී මිස් වුණු කෙනෙක් ඉන්නවා නේද?


ජිවිතේ මෙහෙමයි. මම එහෙට ගිය ගමන් හිතුණ් මෙහෙ මාරයි. මේක තමයි රට කියලා හිතුණා. ටික කාලයක් යද්දී මේක නෙවෙයි රට ලංකාව තමයි රට කියලත් හිතුණා. හැබැයි දැන් මෙහෙට ආයෙම ආවම එහෙ හොඳයි කියලත් හිතෙනවා. එක එක වෙලාවට එක ඒවා හිතෙනවා. ඇත්තටම මෙහෙ හොඳයි. මගෙන් අහනවා දැන් ගොඩක් අය එහෙ ද හොඳ මෙහෙ ද කියලා. මම කියන්නේ ලංකාවේ භුමිය හොඳයි ඉන්න කට්ටිය තමයි පොඩ්ඩක් අවුල්. මොකද සිස්ටම් එකක් නැහැනේ. එහෙ භුමිය අවුල් හැබැයි ඉන්න මිනිස්සු සහ සිස්ටම් එක හොඳයි.


ප්‍රශ්නේ මඟ හැරියා නේද? මම ඇහුවේ අම්මයි තාත්තයි හැරුණම මෙහෙන් මිස් වුණු කෙනෙක් නැද්ද කියලා?


අප්පටසිරි… ඇත්තටම එහෙම කෙනෙක් හිටියේ නැහැ. එහෙම හිටියානම් මට යන්නත් අමාරුයිනේ. මට ගැහැනු යාළුවො ඕනේ තරම් ඉන්නවා හැබැයි ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් නම් නැහැ.


එහේ දී විශේෂ කෙනෙක් හමුවෙයි ද?


හමුවෙයි නේද… මම බලනවා එහෙන් කවුරු හරි හමුවෙයි ද කියලා. මොකද එහෙ අය හරි ඕපන් මයින්ඩඩ්. ‍


අනාගත බලාපොරොත්තු මොනවද?


මම ආසයි නළුවෙක් විදියට තව දේවල් ඉගෙන ගන්න. මම ලංකාවෙත් අවුරුදු තුන හතරක්ම රංගනය ගැන ඉගෙන ගත්තා. අපේ ඉන්පාස් ආයතනයෙන් ප්‍රසන්න මහගමගේ සර් යටතේ සහ සෝමලතා සුබසිංහ ආයතනයෙන් ඉගෙන ගත්තා. මම ආසයි එංගලන්තයේ ඇක්ටින් ස්කුල් එකකත් ඉගෙන ගන්න. ඒක ඉගෙනගෙන නවත්තන්න බැහැ. ඒ පැත්තෙන් අනිවාර්යයෙන්ම ඉදිරියට යයි. ඒ ඔස්සේ එහෙ හෝ මෙහෙ රඟපායි. අනිත් පැත්තෙන් ගත්තම ෆිල්ම් මේකර් කෙනෙක් විදියට ජාත්‍යන්තර මට්ටමේ සිනමා නිර්මාණ කිහිපයක් කරන්න. ඒ එක්කම මම සංගීතය පැත්තෙනුත් චිත්‍රපට සංගීතය කියන එකට යොමු වෙන්න ආසයි. තව ප්‍රඩක්ෂන් හවුස් එකක් පටන් ගන්න ආසයි. ඔය වගේ හැමදේම ආර්ට් එකත් එක්ක තමයි තියෙන්නේ.


තව එක දෙයක් අහන්න හිතුණා, තාත්තා දක්ෂ තිරපිටපත් රචකයෙක්, ඉඳුවර ට එහෙම ලියන්න බැරිද?


හොඳ ප්‍රශ්නයක්. මම දැන් පිටපත් තුන හතරක්ම ලියලා අප්පච්චිට පෙන්නලා තියෙනවා. එයාගෙන් ලැබෙන කමෙන්ට් එක දැනට හොඳයි. මම ලියන ඒවා මුලින්ම කියවන්නේ අම්මා සහ අප්පච්චි. මම හිතනවා මට ලියන්න පුළුවන් කියලා. ලියන්න පුළුවන් වෙන විදියකට. ඒක අප්පච්චි ලියන විදියට වඩා ටිකක් වෙනස්. දැනට මම ලියන් යන එකකුත් හොඳ මට්ටමේ තියෙනවා. සමහරවිට ඉස්සරහට ඒක කරන්න ඉඩ තියෙනවා.


 


අනුෂා රණසිංහ



Previous Post Next Post