ඇය පමුණුවිල රෝමානු කතෝලික පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබුවා ය. ඉංග්‍රීසි භාෂාව ඉතා හොඳින් ඉගෙනගත් ඇය වයස අවුරුදු 13 දී සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට එයින් සමත් වූවාය. කැලණිය ගුරුකුල විද්‍යාලයට ඇතුළත්ව ඉංග්‍රීසි මාධ්‍යයෙන් සිය අධ්‍යයන කටයුතු ඉතා සාර්ථකව කරගෙන ගිය ඇය ඉගෙනීමෙහිත්, කාර්යයෙහිත් ඉතා දක්ෂ කාර්යශූරියකි.
පාසල් අවසාන විභාගය නිම කිරීමත් සමඟම පෞද්ගලික ආයතනයකට සම්බන්ධව එහි දෙවසරක ඇවෑමෙන් කොළඹ ෆෝඩ්ස්රෝඩ් ගිණුම්කරණ ආයතනයට එක් වන්නේ එහි විගණකවරියක ලෙසිනි. පුරා වසර තිහක් එම වෘත්තියෙහි ඉතා දක්ෂ ලෙස සේවය කර වර්ෂ 1985 දී එයට සමු දී සිනමා ක්ෂේත්රයට වෘත්තීය රංගන ශිල්පිනියක ලෙස එක් වූවාය. උප්පැන්න යනු ලේඛනයක් මිස සැබෑවක් නොවේ යැයි ඇයගේ අව්‍යාජ සිනහව දැනටමත් ඔප්පු කර අවසන්ය. චරිත නිරූපණයකදී ඇය දක්වන රංග කෞෂල්‍ය, අපූරු රංග ප්‍රතිභාව පමණක් නොව කඩිසර බව උප්පත්ති වයස හා කිසිසේත් සම නොවේ. තවමත් ඇය කාර්යබහුල රංගවේදිනියකි. මේ දිනවල සාරංග මෙණ්ඩිස්ගේ “කල්පනා” චිත්‍රපටය, මාරියෝ ආනන්දගේ නිර්මාණයක, දෙවැනි ඉනිම, චන්දන ධර්මප්‍රියගේ “ශ්‍රී ගරාජ්” වැනි නිර්මාණ රැසක රූගත කිරීම්වලත්, සිරස ගුවන්විදුලි නාට්‍යයක රංගනයේත් ඇය නිරතව සිටින්නීය. හඬකැවීම් ආදියෙහි ද ඇය නිරත වන්නීය. ඒ සෑම අවස්ථාවක්ම ඇය සතුටින් ගෙවන්නී ය.
“සතුටින් ඉන්න ප්‍රධානම හේතුව මම අතීතය ගැන සිතමින් පසුතැවෙන්නේවත්, අනාගත සිහින මවමින් ඉන්න කෙනෙක්වත් නොවන නිසා වෙන්න ඇති. මේ මොහොතේ මට ලැබෙන දේ මොකක් වුණත් මම ඒ දේ සතුටින් භාරගෙන මගේ උපරිමයෙන් රඟපානවා. ළඟ ඉන්න හැමෝම එක්ක සුහදව ඉන්නවා.”
කිරිබත්ගොඩ උපන් ඇයගේ පවුලේ ඇයත් සමඟ සහෝදර සහෝදරියන් හත් දෙනෙක් විය. ඇය කුඩා කල ජීවත් වූ නිවස පිහිටා තිබුණේ කොළඹට නුදුරු කිරිබත්ගොඩ වුවත් එවකට එය ගැමි පරිසරයකි. විශාල වූ ගෙමිදුලේ තිබූ ගස් අතු මත, පලතුරු ගස් වටේ දුව පැන, නැවුම් පලතුරුවල රස විඳිමින් ඉතාම දඟකාර, ආස්වාදනීය, කෙළිදෙළෙන් ළමා විය ගෙවූ බව ඇය සිහි කළා ය. කැලණි ගඟේ දිය දහරා ඇයට හොඳට හුරුය. ගඟ හරහා පිරිමි ළමුන් හා හරි හරියට පීනා යන්නට ඇය හපනියකි. කෙළිලොල් දඟකාරකම් කිසිවිටෙකත් ඉගෙනුමට බාධා කර නොගත් ඇය ගුවන්විදුලියට සම්බන්ධ වන්නේ වර්ෂ 1955 දී ය. එවකට ඇය පාසල් ශිෂ්‍යාවකි. පාසලේ ද බොහෝ කලා කටයුතුවලට නැතුවම බැරි ශිෂ්‍යාවක වූ බැවින් පාසලේ ජනප්‍රියත්වයක් ඇයට ලැබුණි. ඇයගේ දක්ෂතා හඳුනාගෙන සිටි පාසල් ගුරුවරයෙක් ගුවන්විදුලියට ආධුනිකයින් බඳවා ගැනීම සම්බන්ධයෙන් තිබූ දැන්වීමකට අයදුම්පතක් සකස් කර නෙතලිට ගෙනැවිත් දී ඒ සඳහා යොමු කරවා තිබුණි. සම්මුඛ පරීක්ෂණ තුනකින් පසු ඇය ගුවන්විදුලියේ “ඒ” ශ්‍රේණියට තේරිණි.
“එදා ඉඳලා ගුවන්විදුලියේ විවිධ වැඩසටහන්වලට මම සම්බන්ධ වුණා. නාට්‍යවලට, කවි, විරිඳු ගායනාවලට ඉදිරිපත් වුණා. එච්. ඩී. විජේදාසයන්ගේ ‘විහිළු තහළු’ වැඩසටහනට මුලින් ම සම්බන්ධ වුණා. ඊට පස්සේ තමයි ‘මුවන්පැලැස්ස’ නාට්‍යයේ ‘බිනරි’ චරිතය ලැබුණේ. ‘බිනරි’ නිසා මාව ගොඩාක් ජනප්‍රිය වුණා. ඒ නාට්‍යයේ ‘උක්කු බණ්ඩා’ චරිතය රඟපෑවේ වොලී නානායක්කාරයි. අපි දෙන්නා ඊට කලින් කැලණිය දළුගම කතෝලික දේවස්ථානයේදී දැක කතා බහ කර තිබුණා. නමුත් ගුවන්විදුලියට සම්බන්ධ බව දැනගෙන හිටියේ නැහැ. ගුවන්විදුලියේදී අපි දෙන්නා මුණ ගැහුණාට පස්සේ කතා බහ වැඩි වුණා. හිතවත්කම් වැඩි වුණා. ඒක ආදරයක් බවට පත් වුණා. අපි දෙන්නාම කතෝලික නිසා පවුල් දෙකේම වැඩිහිටියන්ගෙන් අපට කිසිම විරුද්ධත්වයක් වුණේ නැහැ. විවාහ වෙද්දි මට වයස අවුරුදු 27 යි. එයත් කලාවට සම්බන්ධ නිසා මම දිගටම කලා වැඩ කළා. මම දිගටම රැකියාවටත් ගියා. වැඩ ඉවරවෙලා එන ගමන් ගුවන්විදුලියට ගිහින් ඒ වැඩත් කරලා තමයි ගෙදර ගියේ. අපි දෙන්නාට දරුවෝ පස් දෙනෙක් ලැබුණා. වැඩිමල් දූලා දෙන්නා රේණුකා සහ ශාමිකා. ඊට පස්සේ පුතා රවී. බාල දූලා දෙන්නා චන්දි හා ඉන්දි නිවුන් දියණිවරුන්. පුතා රවි ශල්‍ය වෛද්‍යවරයෙක් වුණා. අනිත් දරුවන්ගෙන් වැඩිදෙනෙක් විදේශගතයි. පුංචි කාලේ මගේ අම්මා දරුවන්ව බලා ගත්තා. සේවිකාවන් දෙන්නෙකුත් උදව්වට හිටියා. මේ නිසා දරුවෝ පහක් හිටියා කියලා මගේ වැඩවලට බාධාවක් වුණේ ම නැහැ. ප්‍රවීණ ගුවන්විදුලි නාට්‍ය ශිල්පී ආනන්ද සිරිසේන අධ්‍යක්ෂණය කළ රූපවාහිනී කතා මාලාවක මම රඟපෑවා. ඊට පස්සේ තවත් රූපවාහිනී නාට්‍ය බොහෝමයක රඟපෑවා. ජාත්‍යන්තර රූපවාහිනී නාට්‍ය රැසක හඬ කැවීම් කළා. ඊට පස්සේ සිනමාවටත් සම්බන්ධ වුණා. ඒ අතරතුරේ වේදිකා නාට්‍ය කළා. සමහර දවස්වල ඉරිදාට පිට පළාත්වල වේදිකා නාට්‍ය පෙන්නලා ගෙදර එන්නේ පහුවදා පාන්දරයි. එන්න එන්නම කාර්ය බහුල වෙන්න පටන් ගත්තා. 1985දී මම රැකියාවෙන් ඉවත් වෙලා සම්පූර්ණයෙන්ම රංගනයට පිවිසියා. වොලී නැති වුණාට පස්සේ මම ටිකක් පසු බැස්සා. නිර්මාණවලට යන්න මට හිතක් දුන්නේ නැහැ. නමුත් බාරගත්ත වැඩවලින් ඉවත් වෙන්න මට බැරි වුණා. හිත හදාගෙන ආයෙමත් වැඩ කරන්න පටන් ගත්තා. ලේ කිරි කඳුළු, සංකර, කිං හන්තර්, ගාමණි, නිකිණි වැස්ස, උලත් එකයි පිළත් එකයි, මොටර් බයිසිකල්, ආලෝකෝ උදපාදි, බන්ධනය, හීන හොයන සමනල්ලු, වැලි පවුරු, ගාඩි වගේ චිත්‍රපට රැසක ඊට පස්සේ දිගට ම රඟපෑවා. ආදරණීය චංචලා, ආදරේ අහස තරම්, අසනි වැසි, බට්ටි, දියණියෝ, ගිරිදේවි, ඉංගම්මාරුව, කූඹියෝ, සකලගුරු, සකර්ම වගේ ටෙලි නාට්‍ය රැසක රඟපෑවා. අසනි වැසි ටෙලි නාට්‍ය රංගනය වෙනුවෙන් 2000 වර්ෂයේදී සිග්නීස් සම්මානය හිමි වුණා. ඊට පස්සේ කලා භූෂණ සම්මානත් ලැබුණා. අම්මෝ තව සම්මාන නම් ඕනෑ …නෑ ඕන තරම් තියෙනවා. ඒ හැමදේකටම වඩා රසික ප්‍රජාවගෙන් ලැබෙන ආදරය මට ගොඩාක් වටිනවා.”
ඇයගේ අනූවැනි උපන්දින පසුගිය වසරේ නත්තල් සීතලේ මහා ජයට සමරන්නට මෙරටත්, විදෙස්ගතවත් සිටින දරු මුණුබුරු සියලු දෙනාම පැමිණ තිබිණි. ඔවුන් සියලු දෙනාම මේ ආදරණීය අම්මාට, ආච්චි අම්මාට ඔවුන්ගේ ආදරය නොඅඩුව නිරතුරු ව ලබා දෙන බව ඇය මහත් ආඩම්බරයෙන් කීවාය. නිදහස් හා සැහැල්ලු ජීවන චර්යාව ඇයගේ චරිත නිරූපණයන්හි විශිෂ්ටත්වය, යථාර්ථවත් බව තවදුරටත් ප්රභාවත් කරන්නට මහෝපකාරී වී ඇති බව ඇය කීවා ය.