තරංග නෙල්සන් ගැන අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ. ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන්ගේ එකම පුතු වන තරංග සිය පියාගේ අඩිපාරේ යමින් රසික හදවත් ආමන්ත්‍රණය කරමින් සිටි. මේ අතර තරංග නෙල්සන් ‘තරංග නෙල්සන් විත් රෙගේ’ නමින් සංගීත කණ්ඩායමක් පටන් අරන්. අලුත් වැඩේ එක්ක සංගීත ලොවේ යන ගමනට ලැබෙන ප්‍රතිචාර ගැන අපි තරංග නෙල්සන්ගෙන් ඇහුවා.
‘තරංග නෙල්සන් විත් රෙගේ’ ඔබේ සංගීත කණ්ඩායමෙන්ම කතාව පටන් ගමු
සංගීත කණ්ඩායමක් පටන් ගන්න එක මගේ හිතේ පොඩි කාලේ ඉඳන්ම තිබ්බ ආසාවක්. අම්මා, තාත්තා ඉන්න කාලෙම පටන් ගන්න හිතුවත් පසුගිය කාලේ ඇතිවුණු පාස්කු ප්‍රහාරය සහ කොරෝනා ප්‍රශ්න ඇතුළු එක එක ප්‍රශ්න නිසා මඟහැරුණා. තාත්තා නැති වුණාට පස්සේ තමයි මම වැඩිපුර ඒ ගැන හිතුවේ. ඇත්තටම ගිය අවුරුද්දේ තමයි සංගීත කණ්ඩායම පටන් ගත්තේ. එහෙම පටන් අරන් කට්ටිය එක්ක එකතු වෙලා පුරුදු පුහුණු වෙලා මේ අවුරුද්දේ තමයි මුල්ම ප්‍රසංගය තිබ්බේ.
අපි ඒ මුල්ම ප්‍රසංගය ගැන විස්තර කියමු?
ඔව්. මේ මාසේ දෙවැනිදා වෙන්නප්පුව,
කඩවත වෙරළ ක්‍රීඩාංගණයේදී අපි මුල්ම ප්‍රසංගය පැවැත්වුවා. ඉතා හොඳ ප්‍රතිචාර අපේ කණ්ඩායමට ලැබුණා. ඒ එක්කම චැනල්වලින් අපිට ඇරයුම් ලැබුණා. මේ සැරේ සියත නාළිකාවේ වැලන්ටයින් දවසේ ප්ලේ කළෙත් මගේ ‘තරංග නෙල්සන් විත් රෙගේ’ සංගීත කණ්ඩයම. ඒ වගේ තව ඇරයුම් ලැබෙනවා.
පසුගිය කාලේ විදෙස් සංචාර කිහිපයකටම සහභාගී වුණා නේද?
ඔව්. ස්වීඩන්, නෝර්වේ, ෆිල්න්ලන්ඩ් සහ ඉතාලි ගියා. ආසයි කියන්න ඉතින් ඒ රටවල තාත්තට ආදරේ කරන ගොඩක් අය ඉන්නවා. තාත්තාගේ ගීත මගේ හඬින් අහලා ගොඩක් සතුටු වෙනවා. ඒ අයට ආයෙම තාත්තාව මතක් වුණා කිව්වා. ඒ වගේ දේවල් ඇහෙද්දී ගොඩක් සංතෝසයි. තරුණ අය ගොඩක් ඇවිත් හිටියා. විශේෂයෙන්ම ඉගෙනීම්වලට විදෙස්ගත වෙලා ඉන්න තරුණ පිරිසගෙන් හොඳ ප්‍රතිචාර ලැබුණා.
දිගටම තාත්තාගේ සින්දු විතර ද කියන්නේ?
දැනට නම් තාත්තාගේ සින්දු ටික තමයි ගායනා කරන්නේ. ඒ එක්කම මගේම ගීත කිහිපයක් කරන්න මම බලාපොරොත්තුවෙන් හිටියා. නමුත් කාර්යබහුලකම එක්ක මට ඒ වැඩ ටික ඉවර කර ගන්න බැරිව ගියා. මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් මම බලාපොරොත්තු වෙනවා මගේ ගීත කිහිපයක් සහ කණ්ඩායමේ ගීත කිහිපයක් එළිදක්වන්න.
අපි සංගීත කණ්ඩායමේ සාමාජිකයන් ගැනත් මතක් කරගෙන යමු?
කණ්ඩායමේ සාමාජිකයන් දස දෙනෙක් ඉන්නවා. ඒ වගේම ගීත ගායනා කරන්න තුන්දෙනෙක් ඉන්නවා. අචල තිවංක (ගායක), චාමික මධුෂාන් (ගායක), අවිශ්ක දුලංජන (ගායක), යොහාන් සුලක්‍ෂණ (ලීඩ් ගිටාර්), රනිඳු අනූපම (බේස් ගිටාර්), ජයරංග රුක්‍ෂාන් (ඔක්ටපෑඩ්), සංදීප ධනංජන (ඩ්‍රම්ස්), නිමේෂ් නදීශාන් (රිදම් ගිටාර්), කවිඳු සචින්ත (කී බෝඩ්), ගාමිණී පෙරේරා සහ උපුල් නිශාන්ත (කළමනාකරු).
2025 මොන වගේ සැලසුම් ද තියෙන්නේ?
මේ වෙද්දී විදෙස් ප්‍රසංග කිහිපයකටම ඇරයුම් ලැබිලා තියෙනවා. මම ගිය රටවල්වලින් ආයෙමත් ඇරයුම් ඇවිත් තියෙනවා එන්න කියලා. ඒ කටයුතු කරගෙන යන ගමන් මගේ සංගීත කණ්ඩායම එක්ක ගමනක් යන්න සැලසුම් තියෙනවා. විශේෂයෙන් සංගීත ප්‍රසංගවලට සහභාගී වුණාම තනි පුද්ගලයෙක් වශයෙන් මගෙන් ඉල්ලන්නේ තාත්තගේ ජනප්‍රිය ගීත හතරක් නැත්නම් පහක්. නමුත් මගේ කණ්ඩායම එක්ක සහභාගී වෙන ප්‍රසංගවලදී තාත්තගේ ගීත දොළහක් විතර ගායනා කරනවා. බොහෝ වෙලාවට නිතර ඇහෙන්නේ නැති තාත්තගේ පැරණි ගීත ගායනා වෙනවා.
පූර්ණකාලීනව සංගීතය එක්ක ගතවෙන ජිවිතේ කොහොමද දැනෙන්නේ?
උපන්දා සිට සංගීතය එක්කම තමයි ජීවිතේ ගතවුණේ. මම පූර්ණකාලීනව දැන් සංගීතය කිරීම පමණයි වෙනස. නැත්නම් සංගීතය එක්කම තමයි මම ජීවත් වුණේ. තාත්තා රෙකෝඩින් යද්දී මාත් තාත්තා එක්ක යනවා. පාසල් නිවාඩු කාලෙට තාත්තා එක්ක ප්‍රසංගවලට යනවා. අම්මා නැති වුණාට පස්සේ මම තමයි දිගටම ප්‍රසංග වලට තාත්තා එක්ක ගියේ. දැන් තියෙන එකම වෙනස මම ස්ටේජ් එකේ නැගලා සින්දු කියන එක. ඒ නිසා ලැබෙන රසික ප්‍රතිචාර කියන්නේ අමුතුම අත්දැකීමක්. එදා දැක්කේ තාත්තට ලැබෙන ප්‍රතිචාර. අද ඒ ප්‍රතිචාරම මට ලැබෙනවා. තාත්තාට කොච්චර මිනිසුන් ආදරේ කරලා ද කියන එක සහ තාත්තා නිසා ඒ ආදරේ මට ලැබෙන එක මම දැන් සතුටින් විඳිනවා.
පෞද්ගලික ජිවිතේ ගැනත් කතා කරමු?
දෝණි දැන් එක වසරේ. එයා තමයි අපි දෙන්නගෙම ජීවිතය. දෝණි එක්ක ගයනි සහ මම එදා වගේම සතුටින් ජීවත් වෙනවා. මගේ අම්මා ලොකු ශක්තියක් වුණා මගේ තාත්තාගේ ජීවන ගමනට. අද මගේ බිරිඳ ගයනිත් මට ලොකු ශක්තියක් වෙලා ඉන්නවා.
චූටි දෝණිත් සංගීතයට තාල තියනවා නේද?
ඔව් ඔව්. එයා තාත්තගේ සින්දු තාත්තා ඉන්න කාලේ ඉඳන්ම පුළුපුළුවන් විදියට කිව්වා. දැන් ටිකක් ලොකු නිසා එදාටත් වඩා හොඳින් වචන හසුරුවමින් ගයනවා.
දුවත් සංගීතයෙන් ඉදිරියට යනවා දකින්න ද කැමැති?
එහෙමම නැහැ. මටත් තාත්තා කවදාවත් බලපෑම් කළේ නැහැ මේ දේවල් කරන්න කියලා. තාත්තා හැම දෙයක්ම ඉගැන්වුවා. ඒ ඉගෙන ගත් දේවල්වල ප්‍රතිඵල දැන් තමයි තියෙන්නේ. මමත් දෝණිට හැමදෙයක්ම උගන්වනවා. එයා ඉදිරියේදී තෝරා ගනී මොකක් ද කරන්න ඕනේ කියලා. මම වගේම එයත් සීයාගේ සහ එයාගේ තාත්තාගේ ගීතත් ආරක්ෂා කරගෙන එයාගෙම නිර්මාණ කරයි.
ඔබ Tribute to නිහාල් නෙල්සන් ‘ලස්සනට පිපුණු වනමල්’ නමින් ප්‍රසංගයක් කළා. නැවතත් එවැනි ප්‍රසංගයක් කරන්න අදහසක් තියෙනවද?
ඔව්, මගේම බෑන්ඩ් එකත් එක්ක තවත් ප්‍රසංගයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
අනුෂා රණසිංහ