සප්ත ස්වර මැද ඉපිද හැදී වැඩී ඉන් ඔබ්බට ගොස් රංගනය තම ජීවිතය කරගත් නළුවෙකි ඔහු. දශක ගණනාවක් පුරාවට මෙරට කලාව තුළ රංගන ශිල්පියෙක් මෙන්ම පූරකවරයෙක් වශයෙන්ද තම පෞරුෂත්වය විදහා පාමින් අති විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත් ඔහු පිළිබඳව මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්වන්නේ ඉරගිනි මද්දහනේ බණ්ඩාරගේ චරිතය හේතුවෙනුයි. නමින් ධනංජය සිරිවර්ධන වූ ඒ සොඳුරු කලාකරුවා සමඟ කළ සංවාදයයි මේ.
ඉරගිනි මද්දහනේ බණ්ඩාරගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර ගැන කියලම කතාව ආරම්භ කරමු?
ලලිත් රෝහිත එදිරිසිංහ තමයි මට මේ චරිතයට ආරාධනා කරන්නේ. අපි මේ ටෙලි නාට්‍යයේ වැඩ කටයුතු ආරම්භ කළේ ඉතාමත් අසීරු කාලයකදී. පෝලිම්වල ඉඳලා තෙල් ගහගෙන එහෙම බොහොම දුෂ්කරතා මධ්‍යයේ ආරම්භ කරපු ටෙලි නාට්‍යයක්. තරංගා දිසානායකගේ කඳුළු කුණාටුව පොත ඇසුරින් නිර්මාණය වුණු මේ ටෙලි නාට්‍යයට අපි සියල්ලම කැප වුණේ මෙහි විශේෂ යමක් දුටු නිසා. බණ්ඩාර කියන චරිතය රාගය මූලික කරගත් සෙල්ලක්කාර ගති පැවැතුම් තිබෙන චරිතයක්. ඒක මට පිටපත කියවද්දිම දැනුණා. එහෙම වුණත් මම මේ චරිතය භාර ගත්තේ මේ තුළින්
ප්‍රේක්ෂකයන්ට යමක් දිය හැකි බව වැටහුණු නිසා. ලලිත් රෝහිත එදිරිසිංහ සමඟ මම කලිනුත් වැඩ කරලා තිබෙනවා. ඒ ඔහුගේ පළමු ටෙලි නාට්‍ය වුණු බ්‍රහ්ම මුහුර්තයේ. ඔහු දක්ෂ පුවත්පත් කලාවේදියෙක්, විශාල දැනුමක් තිබෙන හොඳ සාහිත්‍යවේදියෙක්. ඔහුගේ සහාය වගේම, කැමරාකරණය, වේශ නිරූපණය වගේම මේ සඳහා දායක වුණු සියල්ලගේ මහන්සියෙන් අපි ඉතාමත් හොඳ නිර්මාණයක් කරලා තිබෙන බව ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරවලින් හොඳට වැටහෙනවා.
හොඳ ටෙලි නාට්‍ය විකාශය කරන්න නාලිකා බිය වෙන්නේ ඇයි?
ඒක වෙන්නේ ලංකාවේ ඕඩියන්ස් එක කියවා ගන්නා ආකාරය මත. ලංකාවේ කොටස් සියයට වැඩි මෙගා ටෙලි නාට්‍ය කියලා එක කොටසක් තිබෙනවා. ඊට වඩා වෙනස් ප්‍රාසාංගික ටෙලි නාට්‍ය කියලා තව කොටසක් තිබෙනවා. එතැනදී නාලිකා නිර්මාණ තෝරා ගන්නේ මේක ඕඩියන්ස් එක භාර ගනීද කියන සැකය මත. නමුත් ලංකාවේ ප්‍රේක්ෂකයන් ඒ විධියට අවතක්සේරු කරන එක වැරැදියි. ඔවුන්ට හොඳ දෙයක් දුන්නොත් ඔවුන් ඒක වැලඳ ගන්නවා. ලංකාවේ ප්‍රේක්ෂකයන්ගේ රසඥතාව මොට වෙලා තිබ්බට ඒක නැති වෙලා නැහැ. ටෙලි නාට්‍යවල තියෙන ඉතාම සියුම් තැන් පවා
ප්‍රේක්ෂකයන් ග්‍රහණය කරගන්න ආකාරය දැන් දැන් අපිට දැකගන්න පුළුවන්. ඔවුන්ට ඒ නිර්මාණවල තිබෙන ගැඹුර අවබෝධ කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඉතිං මම නාලිකාවලින් ඉල්ලනවා ප්‍රාසාංගික නිර්මාණ සඳහාත් ඔවුන්ගේ බෙල්ට් එක වෙන් කරන්න කියලා. මොකද අපිට ඒ ප්‍රේක්ෂකයා බොහොම වැදගත්. ඔවුන් ආවට ගියාට නිර්මාණ වැලඳගන්න, නරඹන පිරිසක් නෙවෙයි. මෙරට රූපවාහිනි නාලිකා ගුණාත්මක ටෙලි නාට්‍ය වෙනුවෙන් සති අන්තයේ හෝ ඉඩක් වෙන් කරනවා නම් ඒක ටෙලි නාට්‍ය කලාවේ අනාගත වෙනුවෙන් කරන විශාල මෙහෙවරක් වේවි.
ගෞතම බුද්ධ මාතා හරහා සමස්ත බෞද්ධ ප්‍රජාවේම බුහුමට පාත්‍ර වුණු චරිතයක් ඔබ රඟ දක්වනවා. ඒ අත්දැකීම මොන වගේද?
මම විශ්වාස කරන දෙයක් තමයි අපි අදහන බෞද්ධ දර්ශනය අපිට ආවේ ආනන්ද හාමුදුරුවන්ගෙන් කියන එක. උන්වහන්සේ තමයි ධර්ම භාණ්ඩාගාරික විධියට මේ දර්ශනය මුඛ පරම්පරාවෙන් ඉදිරියට අරගෙන එන්න කටයුතු කළේ. ඉතිං මම හිතනවා බෞද්ධයෙක් විධියට මට ලැබෙන උසස්ම චරිතය තමයි ආනන්ද හාමුදුරුවෝ කියලා. ඒ චරිතය මට ඒ තරම් වැදගත් නිසා තමයි මම ඒ චරිතය වෙනුවෙන් කැපවෙලා හිස මුඩු කරලා තාවකාලික පැවිදි දිවියට පවා ඇතුළත් වුණේ.රූගත කිරීම් අතරතුර හා පුරා මාසයක්ම මම ඒ වෙනුවෙන් පේ වුණා. මම ඒ සියල්ලම කළේ ආනන්ද හාමුදුරුවන් කෙරෙහි තිබෙන ගෞරවයට. ඉතිං මේ වෙද්දි ප්‍රේක්ෂකයන් චිත්‍රපටය නරඹනවා. ඒ නරඹලා ලබා දෙන ප්‍රතිචාර එක්ක මම විශ්වාස කරනවා මම ඒ චරිතය හරියට කරලා කියලා. ගොඩක් වයසක අය එහෙම ඇවිත් බොහොම සතුටින් මාත් එක්ක කතා කරනවා. සමහර වෙලාවට අත්දෙක එකතු කරලා වඳින්න පවා සූදානම් වෙනවා. ඉතිං ඒවා දැක්කම බොහොම සතුටුයි.
ගායන පසුබිමකින් ඇවිත් ඔබ ඇයි රංගනයට යොමු වුණේ?
මම හිතන්නේ ඒකට උත්තරයත් ඔය ප්‍රශ්නෙම තමයි. මමත් තවත් ගායකයෙක් වුණා නම් කවුරුත් ඔය ප්‍රශ්නය මගෙන් අහන එකක් නැහැ. නමුත් ගායන පරම්පරාවකින් නළුවෙක් බිහිවෙන්නේ කොහොමද කියන එක තමයි විශේෂත්වය. මගේ සීයා, තාත්තා , අයියා නැන්දා හැමෝම බොහොම හොඳින් සංගීතය හසුරවපු අය. නමුත් මගේ සීයා රංගන ශිල්පියෙක්. ඔහු ලංකාවේ පළමු චිත්‍රපටය වන අශෝකමාලා හි රංගනයේ යෙදිලා තිබෙනවා. මගේ ආච්චිත් එහි රංගනයේ යෙදිලා තිබෙනවා. ඒ ජාන කොහේ හරි තිබිලා උඩට එන්න ඇති.
ගායනයට ආසාවක් නැති වෙන්න බැහැ?
ගායනයට මම පට්ට ආසයි. ඇත්තටම අයියා වගේ සිංදු කියන්න පුළුවන් වුණා නම් මම රඟපාන්නේ නැහැ. නමුත් මම ගායනය හදාරලා නැති නිසා ලොකු හැකියාවක් නැහැ. නමුත් අයියා දැන් විදේශගත වෙලා ඉන්න නිසා ඔහුගේ ගීතවල අයිතිය මට ලබාදීලා තිබෙන්නේ. ඇත්තටම ලංකාවට වඩා වෙනත් රටවලට ගියාම නම් මම සිංදු කියනවා. කොහොම වුණත් ගායනය කියන්නේ මගේ ප්‍රධාන ධාරාවේ තිබෙන දෙයක් නෙවෙයි. මම මැරෙනකම්ම නළුවෙක්. හැබැයි මම මැරෙනකම්ම රඟපාන්නේත් නැහැ.
දැන් දැන් රසිකයා වැඩි වශයෙන් මෙරට කලා නිර්මාණ වැලඳගන්න ආකාරය පෙනෙනවා.
ඒක ඇත්තටම සිද්ධ වුණේ සමාජ මාධ්‍ය හරහා. මීට වසර කිහිපයකට පෙර අති විශිෂ්ට නිර්මාණ බිහි වුණත් සාමාන්‍ය ප්‍රේක්ෂකාගාරයට ඔවුන්ගේ අදහස් කියන්න අවස්ථාවක් තිබුණේ නැහැ. සමාජ මාධ්‍ය හරහා ඔවුන්ගේ අදහස් එළිපිට කියන්න අවස්ථාව ලැබුණා. හැබැයි ඉතිං අපි ඒ අදහස් පෙරළා ගන්න ඕනෑ. එහිදී අපේ අවධානය යොමු කරන්න අවශ්‍ය නිර්මාණාත්මක අදහස් සඳහා පමණයි. මොකද එවැනි අදහස් තමයි ගුණාත්මක නිර්මාණවලට මඟ පෑදුවේ.
සමාජ මාධ්‍ය යම් ආකාරයකින් සමස්ත ලෝකයේම කලාවේ දිශානතියට විශාල බලපෑමක් කළා?
සමාජ මාධ්‍යවලට ලෝකය විවෘත වීමත් සමඟ විකල්ප ධාරාවේ මාතෘකා සමාජගත වීම සිද්ධ වුණා. මේක රූපවාහිනියේ පමණක් නෙවෙයි සිනමාවෙත් සිද්ධ වුණා. සිනමාව තුළ යම් කිසි කල්ලියක් අත්පත් කරගෙන සිටි ආධිපත්‍ය බිඳලා විකල්ප ධාරාවේ සිනමාකරුවන් බිහිවීමට සමාජ මාධ්‍ය විශාල බලපෑමක් ඇති කළා. ඔය කාරණයටත් වඩා සමාජ මාධ්‍ය හරහා කලාවට සිදුවුණු බලපෑම ගැන කතා කරද්දි අලුත් නිර්මාණකරුවන් අලුත් අදහස් එක්ක නිර්මාණකරණයට යොමු වීමත් එක්කම සිනමාවේ ආධිපත්‍ය උසුලාගෙන හිටපු කල්ලිය දෙදරලා යෑම දක්වන්න පුළුවන්. මට හිතෙන විධියට දැන් මේක හොඳ බැලන්ස් එකක යනවා. දැන් ප්‍රවීණයෝ වගේම අලුත් නිර්මාණකරුවන් දෙපිරිසම නිර්මාණ කාර්යයේ යෙදෙනවා. සමාජ මාධ්‍යවලින් ලැබෙන ප්‍රතිචාර නිසාම අලුත් අදහස් සහිත අලුත් නිර්මාණ බිහි වෙනවා වගේම නිර්මාණකරුවන් සාම්ප්‍රදායික රාමුවෙන් එළියට බැහැලා බය නැතුව තමන්ගේ නිර්මාණ ප්‍රේක්ෂකයන්ට සමීප කරන්න උනන්දු වනවා.
අවසන් වශයෙන් මේ වසරේ එන්න තිබෙන නිර්මාණ ගැනත් මතක් කරමු?
ඉදිරියේදී සුරංග අල්විස්ගේ වන් සීරෝ සික්ස් සහ කිඩ්නැප් චිත්‍රපට දෙක නිකුත් වෙන්න තිබෙනවා. වින්දන සහ කල්පන ආරියවංශ අධ්‍යක්ෂණය කළ අලුත් චිත්‍රපටයත් නිකුත් වෙන්න තිබෙනවා. විශේෂම කාරණය තමයි ලෝක අම්මාවරුන්ගේ දිනයේදී නිකුත් කරන්න නියමිත මදර් ලංකා චිත්‍රපටය. අනූෂ සංජීව එදිරිමුණිගේ අධ්‍යක්ෂණයක් ඒක. මගේ රංගන ජීවිතයේදි මම කරපු දුෂ්කරම රංගනයක් තමයි ඒ චිත්‍රපටය හරහා එළියට එන්නේ. එහි ට්‍රේලර් එක දැන් නිකුත් කරලා තිබෙන්නේ. මම හිතනවා චිත්‍රපටය නිකුත් වුණාම අපිට ඒ ගැන බොහෝ දේවල් කතා කරන්න තිබෙයි කියලා.
අක්ෂි මාපා වීරසිංහ