දුලීකා “ලෝරන්ස්ගේ මනමාලි” වෙනුවෙන් කී පාරක් මනමාලි වුණාද?
“ලෝරන්ස්ගේ මනමාලි” ට දැන් අවුරුදු දහයක් ඉවරයි. මේ වෙනකොට මම එක්දහස් තුන්සිය හතළිස් අටක් මනමාලි වෙලා තියෙනවා. ඊට වඩා වැඩි මිසක් අඩුවක් නැහැ. පහුගිය ඉරිදා පිළියන්දල දර්ශන වාර දෙකක් වේදිකාගත වුණා. ඒක අතිශය සාර්ථක දර්ශන වාර දෙකක් වුණා. ඒක විශාල ශාලාවක්. ඒ ශාලාව පිරෙන්න ප්‍රේක්ෂකාගාරයක් තිබුණා. වේදිකා නාට්‍යයට ඒ තිබුණු කැමැත්ත තාම අඩුවක් නැතුව පවතින එක ගැන මට සතුටුයි. මේක පවුලේ ඕනෑම කෙනෙකුට නැරඹිය හැකි ඉතාම සරල සුන්දර වේදිකා නාට්‍යයක්.
“ලෝරන්ස්ගේ මනමාලි” හුදෙක් වේදිකා නාට්‍යයක් පමණක් නෙවෙයි. එහෙම නේද?
ඔව්... “ලෝරන්ස්ගේ මනමාලි” ඔස්සේ අපි එදා ඉඳන් අද දක්වා බොහෝ දේවල් කරනවා. ප්‍රේක්ෂකයන්ගෙන් මුදල් අය කරලා නාට්‍යයක් පෙන්නලා අපි ඔවුන්ට සිනහව, පමණක් ලබා දෙන්නෙ නැහැ." ලෝරන්ස්ගේ මනමාලි මගින් විශේෂයෙන් දරුවන් වෙනුවෙන් බොහෝ දේවල් අපි කරනවා. ඔවුන් වෙනුවෙන් නොමිලේ අධ්‍යාපන වැඩසටහන්, දරුවන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය පොත පත ඇතුළු අවශ්‍ය අනෙකුත් දේවල් ලබා දෙනවා. කලාකරුවන් ඇගයීම, සම්මාන උළෙලවල් පැවැත්වීම සිදු කරනවා. මේ හැමදේම “ලෝරන්ස්ගේ මනමාලි” නිසා අපිට එකතු වුණු ප්‍රේක්ෂක ආදරයත් එක්කයි අපි කරන්නෙ. මේක සොබාදහමේ ආශිර්වාදයත් තියෙන නාට්‍යයක්. ඒ නිසා තාමත් ලෝරන්ස්ගේ මනමාලිට මිනිස්සු ආදරෙයි.
ලෝරන්ස්ගේ මනමාලි බිහිවෙන්නෙ කොහොමද?
ඒක බිහිවෙන්නෙ සුජීවගෙයි මගෙයි මුණගැසීමත් එක්කයි. සුජීවට නාට්‍යයක් කරන්න ඕනෑ වුණා. අපි නාට්‍ය පිටපත් කිහිපයක්ම හෙව්වා. හේමන්ත ප්‍රසාද් අපේ හොඳ යාළුවෙක්. හේමන්ත අයියා වතුර කැපීම සම්බන්ධයෙන් කෙටි නාට්‍යයක් ජල මණ්ඩලයට කරලා තිබුණා. ඒ කෙටි නාට්‍ය හේමන්ත අයියා සුජීව එක්ක එකතුවෙලා දීර්ඝ නාට්‍යයක් බවට පත් කළා. ඒ විදිහටයි ලෝරන්ස්ගේ මනමාලි බිහිවෙන්නෙ. නාට්‍යයේ නම “ලෝරන්ස්ගේ මනමාලි” විය යුතුයි කියලා මම යෝජනා කළා. ඒ නමට මම ආසා කළා.
පහුගිය කාලයේදී ලෝරන්ස්ගේ මනමාලි පේන්න හිටියේ නැහැ නේද?
ඔව්... සුජීව “සුපර්ණා” නමින් සිනමා පටයක් අධ්‍යක්ෂණය කළා. ඒ කාලෙදි අපි අතිශය කාර්යබහුල වුණා. සිනමා පටය සමාජගත කරද්දීම කොවිඩ් නිසා ලංකාවේ සියලුම සිනමා ශාලා වැහුවා. කාලයකට පස්සේ සුජීව “ගෙවන්නත් බෑ ගෙවන්නෙත් නෑ” නමින් අලුත් නාට්‍යයක් අධ්‍යක්ෂණය කළා. ඒ නාට්‍ය වේදිකාගත කරන තුරු ලෝරන්ස්ගේ මනමාලි නතර කරන්න අපි තීරණය කළා. පහු කාලයේදී නැවතත් ලෝරන්ස්ගේ මනමාලි වේදිකාගත වුණා. අදටත් ඒ නාට්‍යයට විශාල ඉල්ලුමක් තියෙනවා. මුලින්ම ලෝරන්ස්ගේ මනමාලි දර්ශන වාර පනහක් වේදිකාගත කරන බලාපොරොත්තුව අපිට තිබුණා. ඒක අතිශය සාර්ථක වුණා. එතැන් සිට අපේ ඉලක්ක සියල්ල සාර්ථක වුණා.
මේ දිනවල ඊට අමතරව කරන නිර්මාණ මොනවාද?
ඊට අමතරව වෙනත් නිර්මාණ මම බාරගෙන නැහැ. පහුගිය කාලයේදී ප්‍රසන්න ජයකොඩි මහතාගේ “මාතෘ” සිනමා පටය එක්ක සම්බන්ධ වුණා. මට නිර්මාණය කීපයකටම ආරාධනා ලැබුණා. ඔය අතරේ ජාත්‍යන්තර සිනමා පටයකටත් ආරාධනා ලැබුණා. බොහෝ දුරට අප්‍රේල් මාසයේදී එහි රූගත කිරීම් ආරම්භ වේවි. ඉස්සර මම නිතරම වැඩ කළා. විවේකය අඩුයි. වැඩ වැඩියි. දැන් මම විවේකය වැඩි කරලා වැඩ අඩු කරලා තියෙනවා. මම සංචාරය කරන්න හරිම ආසයි. ලෝකය පුරා යන්න මම හරි ආසයි. ඒ නිසා මගේ කාලය ටිකක් වැඩිපුර ඒ වෙනුවෙන් ඉදිරියේදී වෙන් කරාවි.
ගතවුණු කාලයේදී දුලීකාගේ ජීවිතයේ අතිශය දුෂ්කරම කාල වකවානුව ගෙවුණේ කොයි කාලයේද?
ඒ අතිශය දුෂ්කර කාල වකවානුව මගේ මවගේ වියෝවයි. එයා අසනීප වුණා. රෝහල්ගත වුණා. ඒක මට දරාගන්න බැරි වුණා. වියෝව කොයි තරම් දුකක්ද කියලා දැනෙන්නෙ ඒක තමන්ට පෞද්ගලිකව අත්විඳින්න ලැබෙද්දියි. ඒ දුෂ්කර කාලය මම ගත කළා. මම හුඟාක් අයගේ ළඟින් හිටියට මම ළඟින්ම හිටිය අය හරිම අඩුයි. බොහෝ දෙනා මම හරිම ශක්තිමත් කෙනෙක් කියලයි හිතන්නෙ. ඇත්ත.. මට විඳගන්න පුළුවන්. නමුත් අම්මාගේ අසනීප තත්ත්වය, ඒ වියෝව මට විඳගන්න අමාරු වුණා.
මවගේ අවසන් කාලයේදී දුලීකා වැඩිපුර කාලය ගත කළේ ඇයත් එක්කයි?
ඔව්... අම්මා ලෙඩ වුණා කියලා ඇයව, ජීවිතය හැර යන්න සූදානම් කියලා නොදැනෙන්න අවසාන මොහොත දක්වා මම අම්මාව සතුටින් තිබ්බා. මගේ අම්මා ජීවිත කාලය පුරාවට මම වෙනුවෙන් බොහෝ කැපකිරීම් කරපු කෙනෙක්. අම්මයි මමයි බොහෝ දේවල් කතා කරලා තියෙනවා. ඉතාම හොඳ මතකයක් අවසන් මොහොත දක්වාම අම්මාට තිබුණා. මේ සංසාර චක්‍රයේ නැවත අපි හමුවෙනවා නම් මේ තමයි අපේ අවසන් නවාතැන්පොළ, ආයෙ අපි කවදාවත් මුණගැහෙන්නෙ නැහැ කියන මතයේ අපි දෙන්නම හිටියා.
එවැනි ප්‍රාර්ථනාවක් කළේ ඇයි?
මම අම්මා ආයෙත් නැවත නැවතත් ඉපදෙනවට කැමැත්තක් නැහැ. නැවත නැවත අපි මුණගැහෙයිද කියලා මම දන්නෙ නැහැ. නමුත් අම්මා මාත් එක්ක ගත කරපු කාලය මම ඉපදෙන මුළු සංසාර කාලයටම ඇතියි කියලා මම විශ්වාස කළා. ඒ ගැන අම්මයි මමයි කතා කරලා තිබුණා. හැබැයි අන්තිම මොහොතේ “මට ඔක්කොම අත්හරින්න පුළුවන්. මට ඔයාව දාලා යන්න ලෝබයි” කියලා අම්මා කිව්වා. ඒ වෙලාවෙත් මම “ඔයා ලෝබ වෙලා යනවා කියන්නෙ ඔයා මාව බැඳගෙන, මම ගැන තණ්හාවක් ඇති කරගෙන යන්නෙ. එයින් ඔයාට නිදහසක් නිවනක් නැහැ. ඒ නිසා මාව අතහරින්න අම්මේ” කියලා කිව්වා.
දුලීකාගේ අම්මා හරි ශක්තිමත් ගැහැනියක්?
ඔව්... හරිම ශක්තිමත් ගැහැනියක්. අපේ අම්මාගේ මරණය වගේ ශක්තිමත් මරණයක් මම දැක්කෙ නැහැ. අවසානයේදී ඇය නින්දට ගියා. ඒ නින්දෙන්ම එයා උදේ පාන්දර මරණයට පත්වුණා. අඩුම ගාණේ අම්මාගේ රෝගය මොකක්ද කියලවත් එයා දැනගෙන හිටියේ නැහැ.
මවගේ වියෝවෙන් රිදුණු හිත හදාගත්තෙ කොහොමද?
හිත හදාගන්න අමාරු වුණා. මම වසර එකහමාරක් විතර නිර්මාණයක වැඩ කළේවත් නැහැ. ඒ වියෝව මට මානසික ආතතියක් බවට පත්වෙලා තිබුණා. අම්මා කරපු වැඩ කටයුතු මට කරන්න අමාරුයි. එයා පිළිවෙලට වැඩ කරපු කෙනෙක්. වෙලාවට ලයිට් බිල්, වතුර බිල්, සේවක පඩි ගෙව්වා. මට අම්මා ගෙව්ව දිනයට ගෙවන්න අමතකයි. ඒ කාලයේදී විශ්‍රාම වැටුප අරගෙන ඒකෙන් කරන්න තියෙන දේවල් කරගෙනයි අම්මා ගෙදර ආවේ. ඒ දේවල් මම අතින් මඟහැරෙනවා.
මේ හැමදේම අතහැරලා කෑගල්ලේ පදිංචියට යන්න හිතිලා නැද්ද?
නැහැ... මම කෑගල්ලේ හිටපු කාලයට වඩා කාලයක් කොළඹ හිටපු කෙනෙක්. හැබැයි කොළඹ ජනාකීර්ණ පරිසරයට මම කැමති නැහැ. මම ගහකොළ තියෙන ගමකට යන්න ආසයි. කෑගල්ල හරි සුන්දරයි. ඒ ඇතුළෙ මගේ මිහිරි අමිහිරි මතක ගොඩක් තියෙනවා. කොහොමටත් අද මම මේ මොහොතේ ජීවත් වෙන කෙනෙක්. බලාපොරොත්තු නැත්තෙ නැහැ. මම කෑගල්ලට ආදරේ වුණාට කෑගල්ලත් එක්ක බැඳීගෙන ඇලීගෙන ඉන්න ඕනෑ නැහැ.
• දිශානි ජයමාලි