අහසේ අසිරියද, පොළවේ මහිමයද, අරුණෝදේ තණ පතක්, නීල වර්ණ සේද සළුව සිසාරා පාව යන දුහුල් වළාකුලක් ඇගේ වටකුරු මුහුණ සිප ගනී. ඇගේ ගෝලාකාර මුහුණ පුරා දිස්වන්නේ චමත්කාරජනක සුන්දර දසුනකි.එකවරක් දකින මුහුණ දේවතාවක් දකින්නට කිසි කෙනෙකු මැළි නොවන්නේ ඇගේ නීලනුවන් නෙතු සගල නිසාය. ආකර්ෂණීය රූප ස්වභාවය නිසාම ඇගේ නිර්මාණශීලීත්වයට කලා ක්ෂේත්රයේ වැඩි ඉඩකඩක් ලැබුණි. විවිධ නිර්මාණවල විවිධ චරිත හරහා ඇගේ නම කියවිම ප්‍රේක්ෂකයාට අරුමැසියක් විය. අටුවා ටිකා ටිප්පනි කෙසේ වෙතත් ඇය දක්ෂ රංගන ශිල්පිනියකි. ඇගේ නිල්වන් නෙත් ප්‍රභාස්වරයක් ගෙන එන බව ඈ තරමක පැකිළීමකින් වුවද පිළිගන්නේය. පසුගිය දින සුසුම් රස්තියාදුව සහ වියලි ටෙලි නාට්‍යය හරහා කතා කළ චරිතයක් බවට පත්වූ ඇය සුරාජි ප්‍රනාන්දුය. මේ ඈ පිළිබඳ සරසවිය සමඟ කළ කතාබහයි.
කලා ක්ෂේත්රයට පිවිසීම සිදුවන්නේ සුන්දරම කාලයක නේද?
ඇත්තටම ඔව්. මගේ ගමන සිදු වෙන්නේ සුන්දර විදිහටයි. මීගමුවේ සිට තාත්තාගේ රැකියාවේ ස්වභාවය නිසා අපි සියලු දෙනාම බලන්ගොඩ පදිංචියට යනවා. ඉන්පසු අධ්‍යාපන කටයුතු අවසන් වන තුරුම බළන්ගොඩයි ජීවිතයේ හරි අඩක්ම ගෙවා දමන්නේ. කුඩා කාලයේ සිටම මට කලාවත් සමඟ ගමනක් යන්න ඕන කියලා ලොකු බලාපොරොත්තුවක් තිබුණා. ඒ ගමන වෙනුවෙන් බලංගොඩ ශාන්ත ඇග්නස් බාලිකා විදුහලේ (බළංගොඩ කොන්වන්ට්) අධ්‍යාපනය හදාරන කාලයේදී විවිධ කලා කටයුතු සඳහා මම දායක වුණා. ඒ හරහා ආපු ගමනේදී නැවත මිගමුවේ පදිංචියට ආවට පසුව සංජය ගුණවර්ධන සහ ටිකිරි රත්නායකයන්ගේ නිර්මාණ දෙකකට දායක වෙන්න අවස්ථාව ලැබුණේ. මතක මං පෙත සහ ස්වරාංජලීයි ඒ නිර්මාණ. එදා ඒ රංගනය වෙනුවෙන් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාරත් සමඟ මම නව මාවතක් කරා ගමන් ආරම්භ කරා. මේ වන විට විවිධ චරිත හරහා සැහෙන නිර්මාණ සංඛ්‍යාවකට දායක වෙලා තියෙනවා.
පසුගිය දිනවල ප්‍රේක්ෂක ප්‍රතිචාර හොඳටම ලැබුණා නේද?
ජාතික රූපවාහිනියෙන් විකාශය වුණු ප්‍රියන්ත ප්‍රනාන්දුගේ සුසුම් රස්තියාදුව ටෙලිනාට්‍ය කළ රංගනය වෙනුවෙන් ප්‍රේක්ෂකයන් වැළඳ ගන්න චරිතයක් බවට පත්වුණා. ඒ වගේම තමයි ශාන්ත සේනානායක මුලින්ම නිෂ්පාදනය කළ වියළි ටෙලි නාට්‍යයේ චරිතයටද හොඳ ප්‍රතිචාර ලැබුණා. හේරත්ගේ බිරිඳ ලෙස මම රංගනයේ යෙදෙනවා. සරත් චන්ද්‍රසිරිත්, මමත් සමඟ රංගනයේ යෙදෙන අවසන් ටෙලිනාට්‍ය වියළියි. මෑත කාලයේදී විකාශය අවසන් වුණු මේ ටෙලි නාට්‍ය දෙකම මම හරිම ආසාවෙන් කරපු චරිත වුණා. සරච්චන්ද්රසිරිගේ මියයාමත් සමඟ ඔහු වටා “වියළි”සමඟ රංගනයේ යෙදුණු ඒ චරිතයද ජීවත් නොවන චරිත බවට පත්වුණා. ඒවා සාමාන්‍ය තිර පිටපත් රචනාවලදි සිදුවන දේවල්ය. අධ්යක්ෂවරයාට හෝ නිෂ්පාදකවරයාටත් ඒ චරිත ජීවත් කරවන්න ඕන නම් පමණයි චරිතය තිර පිටපත් රචනාව වෙන්නේ.
මේතාක් කරපු චරිතා අතරින් නාමලී නැන්දට කැමතියි ඇයි?
ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වුණු වහින්න මුතු වැස්සක් ටෙලි නාට්‍යයේ මම මෙතෙක් කරපු චරිත අතරින් නාමලී නැන්දට වඩාත්ම කැමතියි. කාලීන ප්‍රස්තුතයක් තුළ ගලාගෙන යන චරිත සමූහයක් එක්ක එකතු වුණා සැබෑ චරිතයක් ලෙස මම දැක්කා. මගේ අම්මට රඟපෑවේ අපේ ප්‍රවීණ රංගන ශිල්පිනී අයිරංගණී සේරසිංහයි. මේ ටෙලි නාට්‍ය ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන විට නාමලී නැන්දා කියන්නේ කවුද කියලා හොයන්න ගොඩක් දෙනෙක් දැඟලුවා. ඒ තරම් ප්‍රේක්ෂකයන්ට ඒ චරිතය කා වැදිලා තිබුණා. මේ චරිතය සියලුම දේවල් රූපගත කිරීම් සිදුවුණේත් කොළඹ අවට ප්රදේශවලයි. නාමලී නැන්දගේ චරිතය වගේම තමයි සිරස නාළිකාවේ විකාශය වුණු ‘සිරිවාසල’ ටෙලි නාට්‍යයේ චරිතයත් සිත් ඇද බැඳගත්ත චරිතයක් බවට පත්වුණා.
ඔබට ලැබුණු නිර්මාණවල චරිත ගැන ඔබ සෑහීමකට පත්වෙනවාද?
මේතාක් මට ලැබුණු නිර්මාණවලදී මට ලැබුණ සියලුම චරිත හොඳ චරිතයි. සමාජය කතා කරන චරිත බවට ඒ සියලු චරිත පත්වුණා. ඒ නිසා ප්රේක්ෂකයන්ගෙන් හොඳ ප්‍රතිචාර මට ලැබුණා. අද වුණත් අධ්යක්ෂවරු චරිත දෙන විට සමාජයට සාධාරණයක් කරන්න පුළුවන් චරිතයක් මට ලැබෙනවා. ඒකත් මම ලබපු පිනක් කියලයි මම හිතන්නේ. රංගන ශිල්පිනියක් ශිල්පියෙක් වුණාට හැමදාමත් එවැනි චරිත ලැබෙන්නෙත් නැති වකවානුවක්ද තියෙනවා. කාලයත් සමඟ සියලු දේ වෙනස් වෙනවා. අපි පරිණත වෙන්න වෙන්න ක්ෂේත්රයේ අපිට ලැබෙන චරිතත් වෙනස් වෙනවා. අපි ඒ දේ අවබෝධ කරගෙනයි අපේ ගමන යන්නේ.
ඔබේ පෙනුමත් එක්ක ඔබට වැඩියෙන් ලැබෙන්නේ ගැමි චරිත නේද?
මගේ ජීවිතයේ මම වැඩිහරියක් ගමත් එක්ක බැඳීමක් ඇති මනුස්සයෙක්. එනිසා මගේ ස්වභාවයේ වැඩිපුරම තිබෙන්නේ ගැමි ස්වභාවයයි. එහෙමයි කියලා තිර පිටපත් වලට අනුව ගැමි චරිතම හැමදාම ලැබෙන්නේ නැහැ.මුල් වකවානුවේදි නම් ගැමි චරිත තමයි වැඩි හරියක් තිබුණේ. දැන් ඒ සියල්ලම වෙනස් වෙලා. රංගන ශිල්පිනියකට ඕනෑම චරිතයක් ඉදිරිපත් කරන්නට පුළුවන් විය යුතුයි. චරිතය කුමක් වුවත් සාධාරණයක් චරිතයට ඉටු කරන්න පුළුවන් නම් ඒ චරිතය ප්‍රධාන චරිතද අනු චරිත ද කියලා මම කවදාකවත් හොයන්නේ නැහැ. අද ලෝක නිර්මාණවලදී ප්‍රධාන චරිත කරන අයට වැඩිය අනු චරිත කරන අය ඉස්සරහින් ඉන්නේ. හොඳම නළුවා නිළිය වෙන්නෙත් ඔවුන්මයි. චරිතය ගැන පමණක් හිතන්නේ නැතුව රංගනය ගැන පමණයි හිතන්න ඕනේ. ලෝක ධර්මිතාවය හා නාට්‍ය ධර්මිතාවය ගැන අවබෝධයෙන් මම කටයුතු කරන්නේ. මේ ක්‍රමවේදයන් තුළ මම රඟපාපු ටෙලිනාට්‍ය අතුරින් මගේ සිත ඇද බැඳගත් ටෙලි නාට්‍යයක් ලෙස සිරි වාසල, හිම කවුළුව, සමනලී, කිඳුරංගනා, සුසී, නිල් අහස, ලාබයි ඇපල්, මොනර කිරිල්ලි, වියලි, ඉසිරිභවය, සුසුම් රස්තියාදුව, අහස් මාළිඟා, සිහිනයකි ජීවිතේ යන ටෙලි නාට්‍යවල චරිත ප්‍රේක්ෂකයන් වඩාත් ඇඳ බැඳගත් චරිත බවටත් පත්වුණා.
ක්ෂේත්රයේ හමුවුණ අධ්‍යක්ෂකවරු සිට නිෂ්පාදක කණ්ඩායම් ගැන මොන වගේ ආකල්පයක් ද තියෙන්නේ?
මේතාක් මට හමුවුණු බොහෝ දෙනා දක්ෂ හා නිර්මාණයට සාධාරණයක් කරන්න පුළුවන් කණ්ඩායම් හමුවුණේ. සමහරක් අය ඒ අතර නිර්මාණවලට පමණක් නොව ශිල්පීන්ට ද සාධාරණයක් ඉටු නොකළ අයද සිටිනවා. සමහරක් ශිල්පීන් ක්ෂේත්රයේ තිබෙන දුර්වල තැන් කතා නොකරන්නේ ඉන්පසුව සිදුවෙන අසාධාරණකම් වැඩි නිසයි. මම ආපු ගමනේදී මම වැඩ කරපු සියලු දෙනාම නිර්මාණශීලී පිරිසක් බව කියන්න ඕන.
කලාව කර්මාන්තයක් ලෙස ඉදිරියට ගෙනයන්නට නම් කළ යුතු දේ කුමක්ද?
අපේ නිර්මාණ විවිධ ශානරයන් පවතිනවා. ඒ සානරයන් හරියට අවබෝධ කරගෙන නිර්මාණ කළ යුතුයි. නිෂ්පාදනයෙන් පසු එක එක නාළිකා සිනමාවට වගේ සෙන්සර් බෝඩ් එකක් දාගෙන ඇති බව බෝහෝ දෙනා කතා කරනවා. හොඳ නිර්මාණ කොපමණ නිෂ්පාදනය කළත් වැඩක් නෑ මාෆියාවක් ටෙලි නිර්මාණයන්ට ඇතුළත් වෙනවා නම්. මේ සියලු දේවල් අවබෝධ කරගෙන කටයුතු කළොත් ටෙලි නිර්මාණවලට හොඳ ගමනක් ස්ථාපිත වෙනවා. ඒ ඇතිවෙන මාෆියාවන්වලට විධිමත් පියවර ගතයුතුයි.අධ්‍යක්ෂකවරයා, නිෂ්පාදකයා රංගන ශිල්පින් සමඟ නිර්මාණයට දායක වන සියලුම දෙනා ප්‍රේක්ෂකයා ඉල්ලන දේ දෙන්නට නිර්මාණය කළ යුතුයි. ඩිජිටල්කරණය හොඳීන් අවබෝධ කරගෙන අලුත් පරම්පරාවට පැහැදිලි ගමනක් යා යුතුව තිබෙනවා. ලෝකය ස්පර්ශ කරන්න පුළුවන් තැනට අපේ ටෙලි නාට්‍ය නිර්මාණයකළ යුතුයි. ටී බෝයිගේ සිට අධ්‍යක්ෂකවරයා දක්වා ඔවුනොවුන්ගේ කාර්යභාරය හරියට ඉටු කළොත් ටෙලි කර්මාන්තයක් ලෙස ස්ථාපිත කරගන්නට ඉදිරියේදී හැකියාවක් තිබෙයි කියලා මම විශ්වාස කරනවා. ගුණාත්මක බවින් යුතු නිර්මාණයක් අපි හැම වෙලේම ප්‍රේක්ෂකයා වෙත ගෙන යා යුතු බව අවබෝධ කරගත යුතුයි.
වේදිකාව, ටෙලි නාට්‍ය, සිනමාව යන ත්‍රිත්වයෙන් ඔබ වඩාත් නිර්මාණශීලී වෙන්න කැමති?
මගේ ගමන සිදුවන්නේ ටෙලි නාට්‍ය කලාව හරහායි. ඒ ආපු ගමන් මඟත් ඔස්සේ ප්‍රේක්ෂකයා මාව වැලඳ ගන්නේ ටෙලි නාට්‍ය කලාවෙනුයි. වේදිකාවට වැඩි ඉඩකඩක් මට යොදවන්නට කාලය මදි. එනිසා ටෙලි නාට්‍ය කලාවට මම වැඩි රුචිකත්වයක් දක්වනවා. ටෙලි නාට්‍ය කලාවට වැඩි ඉඩක් යෙදවීම නිසා සිනමාවේ නිරත වීමට මට තාම අවස්ථාවක් ලැබිලා නැහැ. ඒත් ඉදිරි නිර්මාණ කිහිපයකට අදහසක් තිබෙනවා. ගොඩක් දෙනෙක් මාව හඳුන්වන්නෙත් ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක් ලෙසටයි.
රංගන ශිල්පිනියන්ට සමාජයෙන් එල්ල වෙන අවලාද වැඩියි නේද?
එක එක්කෙනා කියන කතා අපිට අදාළ වෙන්නේ නැහැ. මම මගේ ගමන ස්වාධීනව ගිය කෙනෙක්. මේ තාක් කල් ක්ෂේත්රයේ කිසිම කෙනෙකු මට අවලාද කරලා නැහැ. අද වනතුරු මට මේ ක්ෂේත්රයේ කවුරුත් නරක යෝජනාවක් අයුතු යෝජනාවක් කරලා නැහැ. දක්ෂතා තියෙන ඕනම කෙනෙකුට විවිධ කතා අවලාද එල්ල වෙනවා. ඒක මිනිස් ස්වභාවය හැටියටයි මම දකින්නේ. කවුරුත් කියන කතා අහලා අපේ හිත් නරක් කරගන්නවාට වැඩිය අපේ දක්ෂතාවයෙන් අපි ගමන යාම වටිනවා. මගේ ජීවිතේට මම සමාජයෙන් කියන කතා කවදාවත් විශ්වාස කළේ නැහැ. ඒ නිසා මගේ ගමන අද මට නිවැරදි දිසාවකට එන්න ලැබිලා තියෙනවා.
ආපු ගමන් මගේ ප්‍රවීණයන්ගෙන් සහ ආධුනිකයන් සමඟ ක්ෂේත්රයේ නිරතවීම මොන විදිහටද දකින්නේ?
මම ක්ෂේත්රයට එන විට මට ප්‍රවීණයන්ගෙන් හුඟක් ගුරුහරුකම් ලැබුණා. ඔවුන්ගෙන් ලැබුණු ඒ ආශිර්වාදය නිසා තමයි අද මේ තාක් දුරට එන්න ලැබුණේ. ඒ ආපු ගමන ආපස්සට හැරිලා බලන විට හරිම සන්තෝසයි.ඕනෑම කෙනෙකුගේ අධිෂ්ඨානයක් තිබිය යුතුයි තමන්ගේ ගමන කොහොම හරි යනවා කියන එකයි. ඒ ගමනට මට ඔවුන් ගොඩක් ශක්තිමත් වුණා. අද වන විට අපිත් සමඟ කටයුතු කරන ආධුනිකයන්ද දක්ෂතාවයන්වලින් පිරිපුන් පිරිසක්. ප්‍රවීණයන්ගෙන් ගුරුහරුකම් ලබාගෙන හැමවෙලේම තමන්ගේ ගමන් මඟ සකසා ගත යුතුයි.
වෘත්තීමය නිළියක් ලෙස සාධාරණය ක්ෂේත්රය තුළ ඉෂ්ට වෙලා තියෙනවාද?
ක්ෂේත්රය තුළ සාධාරණය ඉෂ්ට වුණු තැනුත් තියෙනවා. ඉෂ්ට නොවුණ තැනුත් තියෙනවා. ඒවා අඩු වැඩි නැතුව තිබීම විශේෂත්වයක්. සමහරක් නිර්මාණවලදී අපි වෘත්තිමය ස්වභාවයෙන් මිදිලා කටයුතු කරන අවස්ථාද තියෙනවා. පසුගිය දවස්වල අවසන් වූ නිර්මාණයකදී රූපගත කිරීම් වලදි දවස් තුනක් අපි නිර්මාණය වෙනුවෙන් කාලය යෙදවූවාට පස්සේ අපිට ගෙවීම් සිදු කරන්නේ එක දවසකට පමණයි. එවැනි දේවල් වෘත්තිමය අතින් අපිට අසාධාරණකම් සිදුවීම බහුලයි.ඉන්පසුව නිෂ්පාදකවරයාගෙන් හා අධ්‍යක්ෂකවරයාගෙන් ප්‍රශ්න කළ විට ඔවුන් හැමවෙලේම එයට සාධාරණයක් ඉෂ්ට වුණාද කියලා කියන්න පමණයි උත්සාහ ගත්තේ. මෙවැනි හේතූන් නිසා ක්ෂේත්රයම බාල්දුවට ලක්වන අවස්ථා තිබෙනවා. ක්ෂේත්රය ගැන අවබෝධයක් තියෙන අධ්යක්ෂවරු නිෂ්පාදකවරු බිහිවිය යුතුයි.
අලුතින් බිහිවෙන හැම ටෙලි නිර්මාණයක්ම මෙගා නිර්මාණ බවට පත්වෙලා නේද?
එය සියයට දෙසීයක් ඇත්ත. ඒත් ප්‍රේක්ෂකයාගේ රුචිකත්වය දැන් මෙගා නිර්මාණවලට වැඩියි. ඒ නිසා අලුතෙන් තිර පිටපත් රචකයන් සහ අධ්‍යක්ෂකවරු මෙගා නිර්මාණ කිරීමට පෙලඹිලා සිටිනවා. ගුණාත්මක බවින් යුතු කාලසීමාවකට යටත් නිර්මාණයක් ප්‍රේක්ෂකයාට රසවිඳීන්නට දුන්නොත් එය ග්‍රහණය කර ගන්න පිරිසක් බිහිවෙනවා.නිර්මාණයේ හොඳ නරක අනුව වර්ගීකරණයකට ලක් කොට කතා කරන පිරිසක් ද අද සිටිනවා. එය නිර්මාණය රසවිඳීම පැත්තෙන් සාධකයක් වෙනවා.ඒත් ප්‍රේක්ෂකයාට ගුණාත්මක බවින් යුතු නිර්මාණ සමාජගත කළ යුතුයි කිය තැන මම ඉන්නේ.
නිෂ්පාදකවරියක් වන්න අදහසක් නැද්ද?
කලාවේ නිරත වන ඕනෑම කෙනෙකුට අධ්‍යක්ෂකවරියක්,නිෂ්පාදකවරිය කගේ භුමිකාවට එන්න කාගෙත් බලාපොරොත්තු තියනවා. මගේ නම් නිෂ්පාදකවරියක් බවට පත්වෙන්න කිසිම අදහසක් මේ තාක් ඇති වෙලා නෑ. හොඳ තිරපිටපතකින් සමාජයට ගුණාත්මක බවින් යුතු ටෙලි නිර්මාණයකට රංගනය ගෙන්නයි මගේ එකම අදහස. මේ ආපු ගමන් මඟ මම වෙනත් නිර්මාණකරුවන් සමඟ ඔවුන්ට ශක්තියක් වුණා.
ජීවිතයේ අපි එකිනෙකාට අපේ දේවල් හුවමාරු කරගත්තොත් අපේ බැඳීම් කිසිවිටෙක කඩා බිඳ දමන්නට බැහැ.
මේ කාලසීමාවේදී අමතක නොවන සිදුවීමක් එහෙම ඇති නේද?
හොඳම දෙයක් තමයි ජීවිතයට සිදු වුණේ. පසුගිය රූපගත කිරීමක් සදහා හම්බන්තොට ප්‍රදේශයට යන අතරතුරේදී රූපගත කිරීමකට ගෙන ගිය නිල ඇදුම් වාගයක් අවසරයකින් තොරව ගෙන ගිහිල්ලා පොලිසියෙන් අල්ලලා දවසක්ම මත්තල පොලිසියේ ඉන්න වුණා. ඒ ටෙලිනාට්‍යයේ නිෂ්පාදක කණ්ඩායම එයට අවසරයක් නොගැනීම නිසා තව පොඩ්ඩෙන් මහා උළු ගෙදර තමයි ළගින්න වෙන්නේ. අපි ගිය සියලු දෙනාටම. අන්තිමේට රූපගත කිරීම් වෙනුවෙන් මුදල් හම්බ වුණෙත් නෑ පොලිසියේ හිටපු එක විතරයි සිදුවුණේ. එවැනි අවස්ථාවල අපේ වෘත්තිමය බවට වත් සලකන්නැති නිෂ්පාදක කණ්ඩායම් තමයි අපිට හමුවන්නේ. අන්තිමේදී වෙනත් වෙනත් කතන්දර කියලා එය මඟ අරිනවා.
අලුතින් එන්න තියෙන නිර්මාණ සහ ඉදිරි වැඩකටයුතු කෙසේද?
මේ දවස්වල ප්‍රියන්ත ප්‍රනාන්දුගේ නවතම ටෙලි නාට්‍යයක රූපගත කිරීම් සිදුවෙනවා. තවත් නිර්මාණ කිහිපයකටම කතා කරලත් තියෙනවා.
මේ නිර්මාණය ඉවර වුණාම පස්සේ තමයි ඊළඟ නිර්මාණවලට මම දායක වෙන්න බලාපොරොත්තු වෙන්නේ. මේ වන විට නිර්මාණ කිහිපයකම වැඩකටයුතු අවසන් වෙලා ප්‍රේක්ෂකයාට නොබෝ දිනකින් රසවිඳීමට අවස්ථාව ලැබෙයි කියලා මමත් බලාපොරොත්තුවෙන් ඉන්නේ. ජීවිතයේ මොන ප්‍රශ්න කම්කටොලු ආවත් තමන්ගේ ගමන ජය කණුව වෙත යනවා කියන එක විතරයි මම දන්නෙ.