ලෝකයක් සුන්දර වන්නේ ළමා මුවඟින් නැඟෙන සිනා හඬින් බව කාටත් නොරහසක්. කාර්යබහුල දිනයක විඩාබර හැන්දෑ වරුවක ටෙලි තිරයේ දඟකාර, හැඩකාර පොඩිත්තන්ගේ දඟකාරකම් කියන්නෙම කොයි කාගෙත් මනසට සුවයක් ගෙන දෙන්නක්. මේ දිනවල විකාශය වන “නෙලුනි” ටෙලි නාට්‍යයේ “සමදරා” චරිතය කාගේත් ආකර්ෂණය දිනා ගන්නේ නිරායාසයෙන්. මෙවර හදගැස්මේ රිද්මයට අපූර්වත්වයක් එක් කළ “සමදරා” පණපොවන ඇය නමින් සනුදනා සුවම්ගි කෝට්ටගොඩ.
මේ දිනවල දුව මොකද කරන්නේ?
මේ දිනවල පාසලේ තුන්වැනි වාර විභාගයට හොඳින් පාඩම් කරමින් තමයි ඉන්නේ. ඒ අතරතුරේ නෙලුනි ටෙලි ඩ්‍රාමා එකේ රූගත කිරීම්වලටත් යනවා. ඉතින් ඉගෙනීමේ කටයුතුයි රංගන කටයුතුයි දෙකම සමබරව හොඳින් කරගෙන සතුටින් ඉන්නවා.
සමදරාගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ටෙලි නාට්‍යයේ රඟපාන අනෙක් ළමා චරිතවලට වඩා වැඩිමහලු “අක්කා“ කෙනකුගේ චරිතයක් තමයි සමදරාගේ චරිතය. ඉතින් හරිම අහිංසක අනෙක් සහෝදර සහෝදරියන්ට වැරැදි දේවල්වලින් ඈත් වෙලා හොඳ දේවල් කරන්න කියලා දෙන චරිතයක්. යහළුවන්ගෙන්, නෑදෑයන්ගෙන් වගේම ස්කූල් එකේ ටීචර්ලාගෙන් හොඳ ප්‍රතිචාර ගොඩාක් ලැබෙනවා. යූ ටියුබ්වල බොහෝ අය කමෙන්ට් කරනවා. සමදරා හරි ලස්සන අහිංසක චරිතයක් කියලා.
දුව, මුලින්ම රංගනයට සම්බන්ධ වුණේ කොහොමද?
මුලින්ම මම ජාතික රූපවාහිනියේ වාසුළිය කියන වැඩසටහනට සම්බන්ධ වෙලා තිබුණා. ඒ වෙද්දී නම් මට අවුරුදු තුනයි. අම්මා මට අදටත් මතක් කරන්නේ එදා ඒ වැඩසටහනේදී කැමරාවට මුහුණ දෙනකොට මම හොඳටම ඇඬුවාලු. නෙලුනි ටෙලි නාට්‍යය තමයි මම රංගන දායකත්වය දුන් පළමු ටෙලි නිර්මාණය. ඉතින් රොෂාන් වෙල්ලප්පුලි මාමාටත්, මහේෂ් කරුණාරත්න මාමාටත් ගොඩාක් ස්තූති කරන්න ඕන.
දුවට රංගනයට අමතරව තිබෙන වෙනත් දක්ෂතා ගැනත් කියමුද?
මට ගායනය සහ වාදනය හැකියාව තිබෙනවා. ඒ වගේම නිවේදන කටයුතුත් පුළුවන්. නර්තයටත් මම දස්කම් දක්වනවා. මම ඉන්දියාවේ තිබුණු නර්තන තරගාවලියකිනුත් ජයග්‍රහණය ලබා තිබෙනවා. “Tridhara International Dancing Compitition India” කියන තරගාවලියෙන් තමයි මම ප්‍රථම ස්ථානය දිනා ගත්තේ. ඊට අමතරව පද්‍ය ගායනා, ජන ගායනා, නර්තන තරග සමස්ත ලංකා මට්ටමින් ජයග්‍රහණ හිමිකරගෙන තිබෙනවා.
දුවගේ පෞද්ගලික විස්තර ටිකක් කියමුද?
මගේ නම සනුදනා සුවම්ගි කෝට්ටගොඩ. අම්මයි, තාත්තයි, අක්කයි, මමයි තමයි මගේ පවුලේ ඉන්නේ. තාත්තා ප්‍රවීණ රූපලාවණ්‍ය හා කේශලාවණ්‍ය ශිල්පී ශාන්ත කෝට්ටගොඩ. මම ඉගෙනුම ලබන්නේ නුගේගොඩ සුජතා විද්‍යාලයේ 7 වැනි ශ්‍රේණියේ මට වයස අවුරුදු දොළහයි.
දුවගේ රංගන කටයුතුවලට පවුලෙන් සහ පාසලෙන් ලැබෙන සහයෝගය ගැනත් මතක් කරමුද?
ඇත්තටම අම්මයි, තාත්තයි, අක්කයි මට ලොකු සහයෝගයක් ලබා දෙනවා. ෂූටින්වලට එක් කරගෙන යනවා වගේම එතැනදීත් මගේ රංගන කටයුතුවලට උපරිම සහයෝගයක් ලබා දෙමින් මට ලොකු ශක්තියක් වනවා. ඒ වගේම ස්කූල් එකේ යාළුවෝ, ටීචර්ස්ලත් මට ගොඩාක් උදවු කරනවා. ස්කූල් එකේ අතපසු වුණු පාඩම්වල සටහන් මට එවනවා. ඒ වගේම ඒ පාඩම් මට නැවැත කියලා දෙනවා.
දුවට රංගන කටයුතු අතරතුරේ හමුවන ප්‍රවීණ නැන්දලා මාමලාගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
මම ගොඩාක් ප්‍රවීණ නැන්දලා මාමලා සමඟ එකට රංගන කටයුතුවලට දායක වෙලා තිබෙනවා. සුසිලා කෝට්ටගේ නැන්දා, ජනක් ප්‍රේමලාල් මාමා, පවිත්‍රා වික්‍රමසිංහ නැන්දා, රොෂාන් පිලපිටිය මාමා වගේ බොහෝ ප්‍රවීණ නැන්දලා මාමලා සමඟ එකට රංගනයේ යෙදෙන්න ලැබීමම මට භාග්‍යයක්. මම නොදන්න ගොඩාක් දේවල් ඒ හැමෝම මට කියලා දුන්නා.
දුවව මුලින්ම ටී.වී. එක තුළින් දුටු අවස්ථාවේ මොකද හිතුණේ?
මට ගොඩාක් සතුටු හිතුණා. මම හරි ශෝක් කියලා මටම හිතුණා. අම්මයි, තාත්තයි ලොකු සතුටකින් එදා හිටියේ. ඉතින් ඒ දවස කවදාවත්ම අමතක වෙන්නේ නැති සතුටුම දවසක්.
ටෙලි නාට්‍යයේ ගැමි පරිසරයට දුව කැමැතිද? ඒ ගැනත් කියමු?
අපි ජීවත් වෙන්නේ නාගරික පරිසරයක. ඇත්තටම ඒ ගැමි පරිසරය හරිම ලස්සනයි. ඇළ දොළවලට, කුඹුරුවලට ගියාම හරිම අමුතුයි. හරිම සැහැල්ලුවක් දැනෙනවා. මට ඒක හුරු නැති අත්දැකීමක්.
දුවගේ අනාගත බලාපොරොත්තුව ගැනත් කියමුද?
මගේ එකම අනාගත බලාපොරොත්තුව තමයි කලාවෙන් ඉදිරියට යන අතරේ විද්‍යාඥවරියක් වීම. ඉතින් මේ වනතෙක් මට මගේ ජයග්‍රහණ වෙනුවෙන් උදවු කළ හැමෝටම ස්තූතියි.
දමිත්‍රි සුබසිංහ අක්කා, අමිල ඉලුක්කුඹුර සර්, පසිඳු නිම්සර අයියා ඇතුළු මට ආදරය කරන හැමෝම මේ වේලාවේ මම ආදරයෙන් මතක් කරනවා.
රුවිනි අමරකෝන්