වෙනස් චරිත ලැබෙන එක ඇත්තටම ‍හොඳයි -සුහන්දි උපෙත්මා

 


පුංචි තිරය තුළ සිය රංගන ප්‍රතිභාව අපූරුවට විදහාපාමින් රසික හදෙහි ලැඟුම් ගත් ඇය සුරූපී නවක රංගන ශීල්පිනයක්. මේ දිනවල විකාශය වන ‘සින්ධු’ ටෙලි නාට්‍යයේ සින්ධුගේ චරිතයට පණ පොවන ඇය නමින් ‘සුහන්දි උපෙත්මා වෝසදී’ මෙවර හදගැස්මට ඇය එක් කළ අපූරු කතාබහයි මේ. මේ දිනවල ඔබේ අලුත් වැඩකටයුතු කොහොමද?


මේ මාසයේ අලුත් ටෙලි ඩ්‍රාමා දෙකක් ටෙලිකාස්ට් වෙන්න නියමිතයි. හෙට සිට සිරස නාළිකාවේ ‘රස රහසක්’ ටෙලි නාට්‍ය විකාශය වනවා. ඊට අමතරව හිරු නාළිකාවේ තවත් ටෙලි නාට්‍යයක් විකාශය වීමට නියමිතව තිබෙනවා. ඉතින් ඒ ටෙලි ඩ්‍රාමාස්වල ෂූටිං කරගෙන ඉන්නවා.


මේ දිනවල ඔබ වැඩිපුරම ප්‍රතිචාර ලබන ටෙලි නාට්‍ය නිර්මාණයේ චරිතය ගැන කතා කරමු?


සින්ධු ටෙලි නාට්‍යයේ ‘සින්ධුජා’ ගේ චරිතයට තමයි ගොඩක් ප්‍රතිචාර ලැබෙන්නේ. සින්ධුජා කියන්නේ පොහොසත් පවුලක තරුණියක්. නමුත් ඇය විශ්වවිද්‍යාලයට ඇවිත් හරිම සාමාන්‍ය ගැමි තරුණියක් විධියට තමයි ඉන්නේ සින්ධුජා ආදරය කරන්නේ ඇය නැවතිලා ඉන්න බෝඩිං ගෙදර ‘පවන්’ කියන තරුණයාට ඒ දෙන්නගේ ආදර කතාවක් එක්ක තමයි කතාව ගලාගෙන යන්නේ.


ඔබේ රංගන කුසලතා වැඩි දියුණු කර ගැනීමට අනුගමනය කරන විශේෂ ක්‍රම මොනවාද?


මම නිතරම වොයිස් ට්‍රේනින් කරනවා. මගේ කටහඬ හරි සිහින් කට හඬක්. ඉතින් වොයිස් ට්‍රේනින් කරලා තමයි ටිකක් හරි මේ කටහඬ හදාගෙන තිබෙන්නේ. ඒ වගේම ෆිල්ම්ස් බලනවා. ඉතින් ඒ දේවල් එක්ක මගේ හැකියාවන් ඔපමට්ටම් කරගෙන යනවා.


විවිධාකාර චරිත නිරූපණයට ලැබීම රංගන ශිල්පීන්ට ක්ෂේත්‍රයේ රඳා පැවැත්මට කොතරම් වැදගත් වනවාද?


ඇත්තටම විවිධාකාර චරිත නිරූපණයට ලැබීම ගොඩාක් හො‍ඳයි. අපිව එකම වගේ චරිතවලින් නිතරම දකින්න ලැබුණම ප්‍රේක්ෂකයන්ටත් එපා වෙනවා. නමුත් විවිධාකාර චරිතවලට රංගන දායකත්වය ලබාදීමට පුළුවන් නම් ප්‍රෙක්ෂකයෝ හරි ආශාවෙන් බලාගෙන ඉන්නවා. ඉදිරියට තවත් වෙනස් චරිතවලින් දකින්න ලැබෙයි කියන බලාපොරොත්තුව රංගන ශිල්පියකුට හෝ ශීල්පිනියක් රඳවා ගන්න පුළුවන් විවිධ චරිතවලට පණ පොවද්දී.


ඔබේ කර්ලි කොණ්ඩය රංගන දිවියේදී ඔබට ආශීර්වාදයක් වූ ඇවස්ථා තිබෙනවාද?


ගොඩක් අය මගේ කොණ්ඩයට තමයි කැමැති. ඉතින් දන්නේ නෑ ඒ ඇයි කියලා නම්. මම නම් කර්ලි කොණ්ඩයට ගොඩක් කැමැති නෑ මොකද කොණ්ඩය පරිස්සම් කරගන්න ගොඩක් අමාරුයි. නමුත් ඒ කොණ්ඩයට කැමැති බොහෝදෙනකු ඉන්නවා. ගොඩක් චරිත කරද්දී ඒ චරිත රඟපෑමට මගේ කොණ්ඩයත් උදවු වුණා කියලා මම හිතනවා‍. කර්ලි කොණ්ඩ ට්‍රෙන්ඩ් එකක් ආවනේ. ඒ නිසා බොහෝදෙනකු කර්ලි කොණ්ඩයට කැමැති වුණා කියලා මම හිතනවා. නමුත් කොණ්ඩය නිසා ලැබුණ නිර්මාණ තිබෙනවා කියලා හිතන්න අමාරුයි. අද  වනතුරු මගේ රූපයේ ලස්සනකට මට නිර්මාණ ලැබිලා නෑ. මට නිර්මාණයකට ආරාධනා ලැබුණා නම් ලැබුණේ ඒ චරිතය මට කරන්න පුළුවන් ඇති කියලා අධ්‍යක්ෂවරු විශ්වාස කරපු නිසා කියලා තමයි මට හිතෙන්නේ.


මිෂෙල්-සජිත-සුහන්දි සුසංයෝගයෙන් හැදෙන අලුත්ම ටෙලි නිර්මාණය ගැනත් අදහස් දක්වමු?


ඒ නිර්මාණය ඇත්තටම රස රහසක් තිබෙන ටෙලි නාට්‍යයක්. මෙය ඉතාමත් දීර්ඝව විකාශය වන ටෙලි නාට්‍යයක් නොවෙයි. මෙහි මගේ චරිතය ගොඩාක් වෙනස්. ඉතින් මම ආශාවෙන්ම කරපු ටෙලි නාට්‍ය නිර්මාණයක්. සියලුම චරිත එක්ක බැලුවම හරිම රසවත් හරිම වෙනස් නිර්මාණයක් වෙයි කියලා හිතනවා.


තරුණ නවක රංගන ශිල්පිනියක් විධියට සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?


සමාජ මාධ්‍ය කියන්නේ අපට ගොඩක් මිනිසුන් එකට එකතු කරගන්න පුළුවන් තැනැක්. ඒ හරහා අපට කොයිතරම් හොඳ දේවල් බෙදාගන්න පුළුවන්ද? සමාජ මාධ්‍ය හරහා වැරැදි අදහසක් පැතිරුණොත් හරි ඉක්මනට පැතිරෙනවා. හොඳ දේවලුත් ඒ හරහා පැතිරෙනවා. ඉතින් ඒ දේවල් සමහර අවස්ථාවල සමහර අයට හරිම බරපතළ විධියට හානිදායක වෙනවා. ඉතින් මම හිතන්නේ අපි සමාජ මාධ්‍ය භාවිතයේදී අවශ්‍ය දේ රැගෙන අනවශ්‍ය දේ අතහැර දාන්න ඕනෑ කියලා.


ඔබට ලැබෙන රසික ආදරය ගැන මොකද හිතෙන්නේ?


ඇත්තටම අපි ඕනෑම රංගන ශිල්පියකු, ශිල්පිනියක නිර්මාණයක් කරන්නේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන්. ඉතින් ප්‍රේක්ෂකයෝ ඒ නිර්මාණයට ආදරය කරනවා කියන්නෙම අපේ මහන්සියට ඒ ආදරය ආශිර්වාදයක්. රසික ආදරය කියන්නේ හරි අව්‍යාජ, හරි සුන්දර ආදරයක්. රසික ආදරය අපට ගොඩාක් වටිනවා.


ඉදිරි වැඩකටයුතු ගැන මතක් කරමුද?


ඉදිරියට නිර්මාණ පහ, හයක්ම ප්‍රෙක්ෂකයන්ට ලැබීමට නියමිතයි. ඉතින් ඒ වැඩකටයුතුත් එක්ක රංගන ක්ෂේත්‍රයේ දිගටම ඉන්නත් ව්‍යාපාරයක් ආරම්භ කිරීමටත් බලාපොරොත්තුවක් තිබෙනවා. බලමු ඉතින් ඉදිරියට.


රුවිනි අමරකෝන්



Previous Post Next Post