පාදක වුණේ සත්‍ය කතාවක්-අකිල සඳකැලුම්



 ඔහු ප්‍රේක්ෂක ආදරය නොමඳව දිනාගත් රංගන ශිල්පියෙක්. උදයකාන්ත වර්ණසූරියගේ “හිරිපොද වැස්ස” සිනමා නිර්මාණයෙන් තම රංගන සිහිනය සැබෑ කරගනිමින් එකල පුංචි තිරයට නැතිවම බැරි රංගන ශිල්පියෙක් බවට පත් වුණු ඔහු ටෙලි නාට්‍ය හතළිහකට වැඩි ප්‍රමාණයකට තම රංගන දායකත්වය සපයා තිබෙනවා. මද විරාමයකින් අනතුරුව ඔහු නැවැතත් ප්‍රේක්ෂ‍යා සොයා එන්නේ තම කුළුඳුල් නිර්මාණය වන හදගැස්ම සමඟයි. අද හදගැස්ම හා එක් වන්නේ ප්‍රවීණ රංගන ශිල්පී සහ අධ්‍යක්ෂ අකිල සඳකැලුම්. 


මේ දවස් ගෙවී යන්නේ කෙසේද?


මේ දිනවල මම ‘හදගැස්ම’ චිත්‍රපටය සමඟ කාර්යබහුල ජීවිතයක් ගත කරනවා. ඉතින් එහි ප්‍රචාරක කටයුතු සමඟ කාලය ගෙවී යනවා. ඉතින් හදගැස්ම සමඟ මේ දවස් ගෙවී යනවා.


ඔබේ කුළුඳුල් සිනමා නිර්මාණයට මේ දිනවල ප්‍රේක්ෂකයාගෙන් ලැබෙන ප්‍රතිචාර ගැන කියනවා නම්?


ඇත්තටම හදගැස්ම චිත්‍රපටයට ඉතා හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. පසුගිය කාලය පුරාවටම මගේ රසික රසිකාවියන්ගෙන් මට බැනුම් අහන්න සිදු වුණා. ඔයා ඇයි අපිව රැවැට්ටුවේ, ඇයි දැන් රඟපාන්නේ නැත්තේ කියා ඔවුන් මගෙන් විමසුවා. මම රඟපාන්නෙ නැතිව සිටීම ගැන ඔවුන් මට දෝෂාරෝපණය පවා කළා. පසුගිය කාලයේ මම විරාමයක් අර ගත්තා ඒකට සමාවෙන්න. මම හිතෙන්නේ ඒ හැම දේටම පිළිතුර ඔවුන්ට හදගැස්මෙන් ලැබිලා තිබෙනවා. ඔවුන් මේ දවස්වල හදගැස්ම ආදරයෙන් වැලඳ ගන්න බව අපිට පෙනෙන්න තිබෙනවා.


හදගැස්ම නිර්මාණය වුණු අයුරු සහ තිර පිටපත රචනා වුණු ආකාරය ගැන කතා කරමු?


සත්‍ය කතාවක් ඇසු‍රින් තමයි මම මේ චිත්‍රපටයේ තිරපිටපත රචනා කළේ. විවිධ ශානරයන්ට අයත් චිත්‍රපට කිහිපයකටම මම වරින් වර තිරපිටපත් රචනා කළා. ඒ නිර්මාණ යුදමය, දේශපාලනික වැනි ශානරවලට අයත් වුණු චිත්‍රපට. මෙවැනි චිත්‍රපටයක් මේ මොහොතේ නිර්මාණය කිරීම එතරම් සුදුසු නැහැ. එවැනි නිර්මාණයක් කරන්න නම් අපි විසල් පිරිවැයක් දැරිය යුතු වෙනවා. ඒ වගේම ලංකාව තුළ සිටින්නේ සීමිත ප්‍රේක්ෂකාගාරයක් සහ සීමිත සිනමාශාලා ප්‍රමාණයක් විතරයි. මේ මොහොතේ මේ කර්මාන්තය සෙමෙන් හිස ඔසවන බවක් පෙනෙන්න තිබෙනවා. ඉතින් ඉතා ප්‍රබල කතාවකින් යුතු චිත්‍රපටයක් නිර්මාණය කළොත් හොඳයි කියලා මම සිතුවා. මම මේ තිරපිටපත රචනා කළේ ජැක්සන් ඇන්තනී මහතාව මේ චිත්‍රපටයට යොදා ගැනීමෙන් අදහසින්.  නමුත් අපේ සහ කලාවේ අවාසනාවකට ඔහු අප අතරින් වෙන් වුණා. ඉන් අනතුරුව මේ චිත්‍රපටයේ රඟපාන්න මම අර්ජුන කමලනාත් අයියට කතා කළා. ඉතින් ඔහු මෙහි තිබෙන කතාවට කැමැති වුණා වගේම එය නිෂ්පාදනය කරන්නත් කැමැති වුණා. ඔය ආකාරයට තමයි මේ චිත්‍රපටයෙහි වැඩකටයුතු ඇරඹෙන්නේ.


නවක අධ්‍යක්ෂවරයෙක් නිෂ්පාදකයෙක් සොයා ගැනීමේදී මුහුණ දිය යුතු අභියෝග මොන වගේද?


මම මීට කලින් තිරපිටපත් කිහිපයක්ම රචනා කළා. ඒ වගේම චිත්‍රපට කිහිපයක්ම නිර්මාණය කරන්න උත්සාහ දැරුවා. නමුත් ලංකාව තුළ නවක අධ්‍යක්ෂවරයෙක්ට නිෂ්පාදකවරයෙන් සොයා ගැනීම ලෙහෙසි පහසු නැහැ. ලංකාව තුළ ගොඩක් අය චිත්‍රපට කරන මුවාවෙන් වංචාවන් සිදු කරනවා. ඔවුන්ට මේ ක්ෂේත්‍රය පිළිබඳව, කලාව පිළිබඳව ප්‍රායෝගික හෝ න්‍යායික දැනුමක් නැහැ. නමුත් ඔවුන්ට හොඳට කතාබහ කරන්න වගේම ආයෝජකයන්ව රවටා ගන්න හොඳ හැකියාවක් තිබෙනවා. ඔය ගැටලුව නිසා ලංකාවේ නවක අධ්‍යක්ෂවරු බොහෝ ගැටලුවලට මුහුණ දෙනවා.


රංගන ශිල්පියෙක් වීම අධ්‍යක්ෂවරයෙක් වීමට කළ බලපෑම ගැන කියනවා නම්?


රංගන ශිල්පියෙක් ලෙස ඉදිරියට යන එක තමයි මගේ සිහිනය වුණේ. මම මැරෙනකම්ම රඟපානවා. කාලයක් යන විට මා තුළ රංගනයට අමතරව තවත් දක්ෂතා තිබෙනවා කියලා මම සොයා ගත්තා. ඉන් අනතුරුව මම අධ්‍යක්ෂණය ගැන හැදෑරුවා. ඒ වගේම ස්වයං අධ්‍යයනයක යෙදුණා. ඊට පසුව මම විවිධ අත්හදා  බැලීම් සිදු කළා. මම රංගන ශිල්පියෙක් ලෙස වසර ගණනාවක් පුරා ලබපු අත්දැකීම් මට ලොකු වාසියක් වුණා. මට නළු නිළියන්ව මෙහෙය වන විට මට ඔවුන්ට රඟපාලම පෙන්වන්න පුළුවන්. ඒ වගේම මට ඔවුන්ට ඒ දෙය මනා ආකාරයට පැහැදිලි කරලා දෙන්නත් පුළුවන්. මේ නිසාම මට අවශ්‍ය  අයුරින් රංගන ශිල්පීන්ගෙන් රංගනය උකහා ගන්න මට හැකියාව ලැබුණා. මම අධ්‍යක්ෂවරුන් විශාල ප්‍රමාණයක් සමඟ වැඩ කළා. ඔවුන්ගෙන් මට ලැබුණු අත්දැකීම් මා තුළ තිබෙනවා. එය මගේ අධ්‍යක්ෂ කාර්‍යයට විසල් පන්නරයක් ලබා දුන්නා කියා මම සිතනවා.


මේ චිත්‍රපටය තුළ බැඳීම් ගැන විසල් අයුරින් කතාබහ කරනවා ඔබ මෙය දකින්නේ කෙසේද?


මේ චිත්‍රපටය අපි හැමෝගෙම ජීවිතවලට සම්බන්ධයි. ඇත්තටම මේ චිත්‍රපටය තුළ බැඳීම් තුළ තිබෙන ප්‍රබල බව ගැන කතා කරනවා. අපි අපේ ජීවිත කාලය ගත කරන්නේ බැඳීම් සමඟ. මවුපියන් දරුවන් විධියටත්, සහෝදර සහෝදරියන් විධියටත්, බිරිය සවාමිපුරුෂයා විධියටත් ආදී ලෙස මේ බැඳීම් විවිධ ස්වරූප ගන්නවා. මේ බැඳීම් ආරක්ෂා කර ගන්න අපි ගොඩක් කැපකිරීම් කරනවා. ඒ වගේම අපි පරිත්‍යාග කිරීම් කරනවා අභියෝගවලට මුහුණ දෙනවා වගේම ඇතැම් අවස්ථාවල ඇතැමුන්ට ජීවිතයෙන් වන්දි ගෙවීමට පවා සිදු වෙනවා. මේ දෙය හැමෝටම පොදුයි. ඉතින් මේ කතාව ගොඩ නැඟෙන්නේ සහෝදර ප්‍රේමය කේන්ද්‍රගත කරගෙන. අයියා කෙනෙක් සහ නංගි කෙනෙක් අතර තිබෙන සෙනෙහස ගැන මේ චිත්‍රපටය තුළ අපි කතා කරනවා. ලංකාව තුළ මේ තේමාව අනුව නිර්මාණය වුණු නිර්මාණ හරිම සීමිතයි.


වත්මන් සිනමාව පිළිබඳව බොහෝ විවේචනයන් තිබෙනවා. මේ දෙය ඔබ දකින අයුරු ගැන කියනව නම්?


ලංකාවේ සිනමාව විවේචනය කරන පුද්ගලයන් චිත්‍රපටයක් නරඹනවාද කියන එක අපි මුලින්ම සොයා බැලිය යුතුයි. දෛනිකව මත්පැන්, මත්ද්‍රව්‍යවලට වියදම් කරන පිරිස් ඇයි පවුලේ අය සමඟ ඇවිත් චිත්‍රපටයක් නරඹන්නේ නැත්තේ. ඇතැමුන් චිත්‍රපට නොබලා විවේචනය කරන අවස්ථා තිබෙනවා. අපි අපේ දෙය අගය කරන්න ඕන. අපි පිටරට දෙයට වියදම් කරමින් අපේ දෙය විවේචනය කරලා වැඩක් නැහැ. සමාජය තුළ සිනමාව පිළිබඳව දුර්මත තිබුණට ඇත්තටම එහෙම නැහැ. හොඳ නිර්මාණයක් නම් මිනිස්සු එය නරඹනවා. ලංකාව තුළ නිර්මාණය වෙලා තිබෙන්නේ චිත්‍රපට 1400ක් වැනි


ප්‍රමාණයක්. නමුත් ඉන්දියාවේ වසරකට චිත්‍රපට 1400ක් පමණ නිර්මාණය වෙනවා. ඉතින් එවැනි කර්මාන්තයක් සමඟ අපිව සංසන්දනය කිරීම  උචිත නැහැ. ඉන්දියාව තුළ හැදෙන ඇතැම් නිර්මාණවල ගත යුත්තක් ඇත්තෙම නැහැ. ලංකාවේ වත්මන් සිනමාව හොඳ තත්ත්වයක තිබෙනවා. මිනිස්සු චිත්‍රපට නරඹනවා නමුත් තව හොඳ නිර්මාණ හැදෙන්න ඕන. මිනිස්සු සල්ලි දීලා සරල බොළඳ කතාවක් බලන්න එන්නෙ නැහැ. අපි ඒ ගැන නැවැත සිතන්න ඕන. රජයෙන් සිනමාවට මීට වඩා සහාය ලැබෙනවා නම් හොඳයි කියා මම සිතනවා.


ඉදිරි වැඩකටයුතු ගැන මතක් කරමු?


නිර්මාණකරුවෙක් වුණාම තමන්ගේ හිතේ තිබෙන දේවල් සිර කරගෙන ඉඳලා හෝ පොතක ලියාගෙන ඉඳලා වැඩක් නැහැ. ඒවා එළිදක්වන්න ඕන. ඉදිරියේදී මගේ නිර්මාණ කිහිපයක්ම ආදරණීය ප්‍රේක්ෂකයාට දැක බලාගැනීමට හැකි වේවි. තිර රචනයෙන්, අධ්‍යක්ෂණයෙන් වගේම ඉදිරියේදී රංගනයෙනුත් මම ආදරණීය ප්‍රේක්ෂකයා හමුවට ඒමට බලාපොරොත්තුවෙන් සිටිනවා. මගේ ඉදිරි කාලය විශේෂයෙන්ම  අධ්‍යක්ෂණයට සහ රංගනයට මුල් තැනක් දෙන්නත් බලාපොරොත්තුවෙන් සිටිනවා.


ගිහාන් සචින්ත



Previous Post Next Post