දිනෙන් දින විවිධාකාර චරිත ඔස්සේ වෙනස් හැඩ මවමින් රසික ආදරය නොඅඩුව දිනා ගත් ඔහු දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහුගේ කඩවසම් පෙනුමත් ආකර්ෂණීය රංගන කුසලතාවත් කලා ලොවට එක් කරන්නේ අමුතුම ආලෝකයක්. ඔහු නමින් චානුක ප්‍රබුද්ධ.
මේ දිනවල ඔබේ අලුත් වැඩකටයුතු ගැන කතා කරමු?
දැනට මම රංගන දායකත්වය ලබා දෙන ටෙලි නාට්‍යය කිහිපයක්ම විකාශය වනවා. ඒ වගේම චිත්‍රපට දෙකකට විතර රංගන දායකත්වය ලබා දුන්නා. එක් චිත්‍රපටයක් මේ දවස්වල තිරගත වනවා. ඒ තමයි මන්දාරා චිත්‍රපටය. ඉතින් මේ දිනවල ගොඩාක්ම කාර්යබහුලයි. ටෙලි නාට්‍යය කිහිපයකම රූගත කිරීම් එක දිගටම තිබෙනවා. ඉතින් මට මගේ පෞද්ගලික වැඩකටයුතුවත් කරගන්න වෙලාවක් නැති තරම්. නමුත් මම ආසාවෙන් ඒ දේවල් කරනවා.
ඒ වගේම ආදරයෙන් මතක් කරන්න ඕනෑ මායාවී ටෙලි නාට්‍යයේ සංකල්පගේ චරිතය ප්‍රේක්ෂකයෝ ආදරයෙන් වැලඳගෙන තිබෙනවා. ඒ වගේම විසේකාරී ටෙලි නාට්‍යයේ මම ඇක්ට් කරන කැරැක්ටර් එකත්, සින්ටෝ ටෙලිනාට්‍යයේ ප්‍රභූගේ කැරැක්ටර් එකත් ආදරයෙන් වැලඳගෙන තිබෙනවා. ඉතින් ඒ චරිත මම වෙනස් වෙනස් විධියට හොඳින් කරගෙන යනවා.
මේ දිනවල විකාශය වන මායාවී ටෙලි නාට්‍යයේ සංකල්පගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර ගැන මතක් කළොත්?
ඇත්තටම ලැබෙන ප්‍රතිචාර ගොඩක් හොඳයි. සකූගේ කතාවේ මාලකගේ චරිතයෙන් පසුව ඒ හා සමානවම ප්‍රතිචාර මායාවී ටෙලි නාට්‍යයේ සංකල්පගේ චරිතයට ලැබෙනවා. ඇත්තටම මම නිහතමානීව සතුටු වනවා. ටෙලි නාට්‍යයේ තිර රචක මහේෂ් රත්සර මද්දුම ආරච්චි මහත්මයාව මතක් කරන්න ඕනෑ. ඒ වගේම අධ්‍යක්ෂතුමා සඳුන් රාජකරුණා මහත්මයාවත් මතක් කරන්න ඕනෑ. ඒ දෙදෙනාගේ සුසංයෝගයෙන් තමයි සංකල්ප කියන කැරැක්ටර් එක හැදෙන්නේ. මට මුලින්ම ආරාධනාව ලැබුණෙත් මහේෂ් සර්ගෙන්. ඉතින් මට කතා කළාම මම දෙපාරක් හිතන්නේ නැතිව භාරගත්තා.
ඒක ලොකු අභියෝගයක්. හැමදේම ගැන අධ්‍යයනය කරල තමයි ඒ කැරැක්ටර් එක කරන්න ඕනෑ. බලන් ඉන්න කෙනකුට හිතෙන්න පුළුවන් මේක හරි ලේසි කැරැක්ටර් එකක් කියලා. ඇත්තටම එහෙම නැහැ. අමාරුයි. මොකද ඒ කැරැක්ටර් එක බැලන්ස් එකේ රඟපාන්න ඕනෑ. එක මට්ටමකින් චරිතය රැගෙන යන්න ඕනෑ. කාලයක් රඟපාපු නිසා මම හිතනවා කැරැක්ටර් එක මගේ ඇඟේ තිබෙනවා කියලා. ඇත්තටම ඒ ගැන සතුටුයි. මම ඉතින් හැමෝටම ආරාධනා කරනවා මායාවී බලන්න කියලා.
එකම විධියේ චරිතවලට කොටු නොවී විවිධාකාර චරිත නිරූපණයට ලැබීමේ අත්දැකීම් ගැන කතා කරමු?
ආදරවන්තයා කියන චරිතයටම කොටුවෙන්න කිසිසේත්ම මම කැමැති නැහැ. මම ආශා කරන්නේ චරිතාංග රංගන ශිල්පියෙක් වෙන්න. මම කැරැක්ටර්ස් කරන්න පුළුවන්ද කියලා අත්හදා බැලීම් කරන්න ආසයි. මම ආයාචනා ටෙලි නාට්‍යයේ ලෝයර් කෙනකුගේ කැරැක්ටර් එකක් කළා. ඒකත් ලොකු අභියෝගයක්. ලෝයර් කෙනෙක්ගේ භූමිකාවක් කරන්න පහසු නෑ. ඒ වගේ වෙනස් වෙනස් චරිත තමයි මම ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙන්නේ. චරිතාංග රංගන ශිල්පියකු වීම තුළ තමයි අපිට සහ ප්‍රේක්ෂකයාට අපේ රංගන පරාසයන් දකින්න පුළුවන් වෙන්නේ. අද වන විට මම කරපු දේවල් එක්ක මම හිතනවා මට වෙනස් වෙනස් චරිත කරන්න පුළුවන් කියලා. මට ඒ කන්ෆිඩන්ට් එක තිබෙනවා.
නිරූපණ ක්ෂේත්‍රයෙන් කලාවට පැමිණි ඔබට කෙටි කාලයක් ඇතුළත පුංචි තිරයෙන් රිදී තිරයට අවස්ථාව ලැබෙනවා නේද? ඒ ගැන කතා කරමු?
මට ඉතාම කෙටි කාලයකින් සිනමාවේ අවස්ථාව ලැබෙනවා. නමුත් ඊට පසුව ටෙලි නාට්‍යයන්ට සාපේක්ෂව ෆිල්ම්ස් එහෙම ලැබෙනවා අඩුයි. ඒ ගැන මම කියන්න ඕනෑ. සිනමාවේ අවස්ථාව අඩු වෙලා තිබෙන්නේ මාව ටෙලිනාට්‍ය රංගන ශිල්පියකු කියලා ලේබල් කරලා තිබීම නිසා කියලයි මට හිතෙන්නේ. නමුත් මම කියන්න කැමැතියි මම ඒත් රඟපාන්නේ කැමරාවක් ඉස්සරහා. ඉතින් මගේ රංගන දක්ෂතාව තමයි මම පිටතට දෙන්නේ.
ඉතින් ඒක සිනමාවේදී මට ඊට වඩා කරන්න පුළුවන් කියන දේ මම දන්නවා. සමහරු හිතන්නේ සිනමාවට ඕනෑ අලුත් මුහුණු කියලා. ටෙලි නාට්‍යවල හැමදාම ඉන්න රංගන ශිල්පීන් ශිල්පිනියන් ගත්තම මේ නිර්මාණ දුවන්නේ නැහැ කියලා තමයි. නමුත් එහෙම නෑ. මොකද අපිට ආදරය කරන ප්‍රේක්ෂකයෝ අපි ටෙලි නාට්‍යයක රඟපෑවත් සිනමාවේ රඟපෑවත් ඒ නිර්මාණ බලනවා. ඉතින් අපට රඟපාන්න පුළුවන් කියලා දන්නව නම් එතැනදී ඒ තර්කය වැරැදියි. ඉතින් මම හිතනවා ඉදිරියට ටෙලි නාට්‍යවලට වගේම සිනමාවටත් මට ආරාධනා ලැබෙයි කියලා.
කලා ක්ෂේත්‍රයට පැමිණි ගමනේදී ඔබ මුහුණ දුන් අභියෝග ගැන මතක් කරමු?
මට මාව තමයි අභියෝගය. හැමදාම මට මාත් එක්ක තමයි අභියෝග තිබුණේ. ඉතින් එකම අභියෝගය තිබුණේ මගේ රංගන කුසලතාව දවසින් දවස වැඩිදියුණු කරගන්න එක තමයි. ඒ වගේම රංගනය හදාරන එක. මම ඒ අභියෝගයට සාර්ථකව මුහුණ දෙමින් ඉන්නවා. අභියෝගාත්මක චරිත ලැබිලා තිබෙනවා. නමුත් මම තවත් රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් සමඟ අභියෝගයක් ගැන කවදාවත් හිතිලා නැහැ. මම හිතන්නෙත් නැහැ. මේ මගේ ගමන. මගේ ගමන තුළ මම මාව හදාගෙන ඉදිරියට යනවා.
ඔබ ඔබේ රංගන කුසලතා වැඩිදියුණු කර ගැනීමට අනුගමනය කරන විශේෂ ක්‍රම මොනවාද?
ඇත්තටම කියන්න ඕනෑ විදේශ රටවල නම් ඇක්ටිං ස්කූල් කියලා තිබෙනවා. නමුත් අපේ අවාසනාවට ලංකාවේ එහෙම දේවල් හරිම අඩුයි. ඉතින් ලංකාවේ එහෙම එකක් දෙකක් තිබුණත් හරිම අඩුයි. ඒ ඇක්ටින් ස්කූල්වල එක එක දේවල් තිබෙනවා. වොයිස් ට්‍රේනින් තිබෙනවා. ඇක්ටින් කියන දේ ඉගෙන ගන්න පුළුවන් හොඳම විධිය ඇක්ට් කරලම තමයි. මම නම් ඉගෙන ගත්තේ ඇක්ට් කරලම තමයි. ඇක්ටින් ස්කුල් එහෙමත් ගියා. ඒවායින් දෙන
පොයින්ට්ස් ටික අරගන්න පුළුවන්. නමුත් ඇක්ටින් ස්කූල් එකකට ගියා කියලා දවසෙන් සතියෙන් දෙකෙන් මාසෙන් ඇක්ට් කරන්න පුළුවන් වෙන්නේ නැහැ. රංගන පාසල්වල කරන්නේ රංගන කුසලතාවල තිබෙන එක එක පොයින්ට්ස් කියලා දෙන එක. ඒ දේවල් ඉගෙන ගන්න ඕනෑ. ඉතින් ඒවා ඉගෙන ගන්න පුළුවන් රංගන පාසල්වලින් විතරයි. ඒ පොයින්ට්ස් ඉගෙනගෙන අපි ඇක්ට් කරද්දී තමයි ඒ දේවල් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඉතින් එතැනදී ඇක්ට් කරලම තමයි ඒ දේවල් ඉගෙන ගන්න පුළුවන්.
ඔබේ ඉදිරි වැඩකටයුතු ගැන මතක් කරමු?
මේ ටෙලි නාට්‍යය කිහිපයක් සමඟ තමයි මම කාර්යබහුල වෙලා ඉන්නේ. සුනිල් ආරියරත්න මහත්මයාගේ “ගෞතම බුද්ධ මාතා” චිත්‍රපටයේ දේවදත්තගේ චරිතයට රංගන දායකත්වය ලබා දුන්නා. තවත් චිත්‍රපට දෙකකට අවස්ථාව ලැබිලා තිබෙනවා. මගේ ඉගෙනීම් කටයුතු අවසන් කරලා තිබෙන්නේ. ඉතින් ඒ වැඩ කටයුතු තමයි.
රුවිනි අමරකෝන්