ලාංකේය කලා ක්ෂේත්‍රයේ රසික හදවත්හි නොමියෙන මතක සටහන් තැබූ ඇය සුරූපී දක්ෂ රංගන ශිල්පිනියක්. රංගනයෙන් දායක වන සෑම චරිතයකටම අපූරුවට සජීවීයත්වය ආරෝපණය කරන ඇය සම්මානනීය රංගන ශිල්පිනියක්. ඇය නමින් උදාරි වර්ණකුලසූරිය.
ඔබ පිට පිට සම්මාන ලැබූ දක්ෂ රංගන ශිල්පිනියක්. ලැබුණු අලුත් සම්මානය ගැන මොකද හිතෙන්නේ?
“ඇත්තටම මම මුලින්ම කැමරාවක් ඉදිරියේ පෙනී සිටින්නේ ටී.වී. දෙරණ නාලිකාවෙන්. ඉතින් මෙහි විශේෂත්වය වන්නේ දෙරණ නාලිකාවෙන්ම තමයි මට සිනමාවේ පළමුවැනි හොඳම නිළිය සම්මානය හිමි වන්නේ. උදයකාන්ත වර්ණසූරිය මහත්මයාගේ සිනමාපටයකින් සිනමා නිළියක් විධියට තමයි මම
ක්ෂේත්‍රයට පැමිණියේ. ඉතින් වෘත්තියේ වටිනාම අවෝර්ඩ් එක මට හිමි වන්නේ දෙරණ නාලිකාවෙන්. ඒක මට විශේෂත්වයක්. ඒ කියන්නේ මහ ගෙදර ඉඳන්ම සම්මානයෙන් පිදුම් ලබනවා වගේ දෙයක්. ඉතින් මම දෙරණ නාලිකාවටත් ස්තූතිවන්ත වෙනවා.”
කලාකරුවන් ඇගයුමට පාත්‍ර කරන මෙවැනි සම්මාන උළෙලවල් පිළිබඳව ඔබේ අදහස?
“කලාකරුවන් වන අප සියලු දෙනාගේම වටිනාකම් මහන්සිය ඇගයීමට පාත්‍ර කිරීමට මේ විධියේ සම්මාන උළෙලවල් පැවැත්වීම සම්බන්ධයෙන් ස්තූතිවන්ත වෙනවා. මම හොඳම නිළිය වුණත් නොවුණත් කලාකරුවන් වන අපට ඒක ලොකු ධෛර්යයක්. තව තවත් අපි මහන්සිවෙලා කැපවෙලා අලුත් චරිත නිර්මාණය කරන්නත්, කරන්න ඉන්න චරිත ඔප්නංවා ගන්නත් මේ වගේ සම්මාන උළෙලවල් පැවැත්වීම ලොකු ශක්තියක් වෙනවා කියලා මම හිතනවා. අපිට පොඩි කාලයේ ඉඳන් වුණත් පාසල්වල ත්‍යාග ප්‍රදානෝත්සව වගේ දේවල් තිබෙන්නෙත් අපිව මෝටිවේට් කරන්නනේ.
අපි හැමෝම මිනිස්සු විධියට අපේ වටිනාකම් මහන්සි වන දේවල් ප්‍රේක්ෂකයන්ට දෙන්නේ ප්‍රේක්ෂකයන්ව පිනවන්නයි. ඉතින් ප්‍රේක්ෂක ආදරය දිනාගෙන ඒ සම්මානය මෙවර ලබා ගත්තේ ශලනි තාරකා. ඉතින් ඒ සම්මානයම මට කලින් දෙරණ අවෝඩ්ස් සම්මාන උළෙලේදී ලැබිලා තිබෙනවා. ඉතින් ඒ ප්‍රේක්ෂක ආදරයක් ලබා ගන්න සහ ඔවුන්ගේ ආදරය ප්‍රකාශ කරන්න ප්‍රේක්ෂකයන්ටත් අවස්ථාවක් ලැබෙනවා.ඉතින් මේ වගේ සම්මාන උළෙලවල් පවත්වන එක ප්‍රේක්ෂකයන්ට සහ කලාකරුවන් වන අපට කරන ලොකු මෙහෙවරක්.”
සිනමාවට නව නිර්මාණ රැසක් එකතු වන කාලයක ලාංකේය සිනමාවේ අනාගතය ඔබ දකින්නේ කෙසේද?
“දැන්නම් හොඳ කල දසාවක් තිබෙනවා කියලා හිතෙනවා. කොරෝනා වසංගතය කාලයේ සිනමා ශාලාවල් එක දිගට වැසුණා. ඒ කාලයේ අපේ සිනමාවට කණ කොකා හඬලනවා වගේ හැඟීමක් තිබුණේ. ඇත්තටම දැන් සිනමාවේ තත්ත්වය ගැන ගොඩක් සතුටුයි. ප්‍රේක්ෂකයන් සිනමා ශාලාවල්වලට පැමිණෙනවා. ඒ වගේම හොඳ නිර්මාණ කරන්න පෙලඹිලා තිබෙනවා. ඇත්තටම නිෂ්පාදකවරුන්ට ස්තූතිවන්ත වෙනවා. ඔවුන්ට ලාභ ලබන්නට නොහැකි බව දැන දැනත් ප්‍රේක්ෂකයන් පිනවීමට කලාව රඳවා තබා ගැනීමට මුදල් යොමු කිරීම සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ කැපවීමට වගේම ඉවසීමටත් ස්තූතිවන්ත වෙනවා.”
මේ දිනවල තිරගත වන ශ්‍රී සිද්ධා චිත්‍රපටයේ සුමනා දේවියගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
“සරත් වීරසේකර මහත්මයාට ස්තූතිවන්ත වෙනවා මාව මේ චිත්‍රපටයට සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන්. සරත් වීරසේකර මහත්මයාගේ චිත්‍රපටයකට දායක වීමට අවස්ථාව ලැබීම ගැන සතුටු වනවා වගේම ඒ සතුට දෙගුණ තෙගුණ වුණේ කතාවේ තිර පිටපත දැක්කමයි. එය අපේ ශ්‍රී ලාංකේය ප්‍රෞඪ ඉතිහාසයේ සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වුණු නිර්මාණයක්. ස්ක්‍රිප්ට් එක කියවන තෙක් මම දැනගෙන හිටියෙත් නෑ මෙය අපේ රටේ සිදුවුණ සත්‍ය කතාවක් කියලා. ඉතින් ආඩම්බර හිතෙනවා සහ ශ්‍රී ලාංකිකයන් හැටියට අපේ රටේ සිදුවුණ දේවල් ගැන අපි දැනගන්න ඕනෑ.”
විදේශ රටක පදිංචිව ගෙවන ජීවිතයේ ලැබුණු වෙනස් අත්දැකීම් ගැන කතා කරමු?
“මට අවුරුදු විස්සේ ඉඳලා මේ වනවිට අවුරුදු දාසයක් මම සිංගප්පූරුවේ තමයි පදිංචි වී ඉන්නේ. මගේ දෝණි අධ්‍යාපනය හදාරන්නෙත් එහේ. ඉතින් සිංගප්පූරුව හදලා තිබෙන්නේ ලංකාව දිහා බලලා. අපේ රටත් ඒ වගේ ලස්සන වෙනවා නම් ආසයි. ඉතින් සිංගප්පූරුව ඒ තැනට ඇවිත් තිබෙන්නේ අපේ රටටත් පහළ තත්ත්වයක තිබිලා. ඉතින් අද ලෝකයේම බලගතුම පාස්පෝට් එක සිංගප්පූරු පාස්පෝට් එක වෙලා තිබෙනවා. ඒ ආපු ගමන තුළ ආදර්ශයට අරන් තිබෙන්නේ ශ්‍රී ලංකාවයි. ශ්‍රී ලාංකිකයන්ට අදටත් වීසා නැතිව ඒ රට තුළට එන්න අවස්ථාව දීලා තිබෙන්නෙත් ඒ නිසා වෙන්න ඇති. ශ්‍රී ලාංකිකයෙක් හැටියට මට ආඩම්බරයි. මගේ රට දිහා බලල නේ සිංගප්පූරුව මෙහෙම වුණේ කියන හැඟීම දැනෙනවා.”
රසික හදවත් තුළ ආදරණීය චරිතයක් වූ ඔබට රසික ආදරය දැනෙන්නේ කොහොමද?
ඒ ආදරය මම හරිම පැහැපත්ව විඳ දරා ගන්නවා. පෙර පිනක් තිබෙන්න ඇති මේ තරම් ප්‍රේක්ෂක ආදරයක් ලබන්නට සහ ඒ දේ පවත්වාගෙන යෑමට. මම දායක වූ පළමුවැනි ටෙලි නාට්‍යය “බොඳ මීදුම්” ටෙලි නාට්‍ය. මම දායක වූ පළමු ටෙලි නාට්‍යයෙන්ම ජනතාවගේ ප්‍රියත්වයට හිමි ජනප්‍රියම සම්මානයෙන් පිදුම් ලබනවා. එතැනින් පටන් ගත් ආරම්භය තුළ ඊළඟ නිර්මාණයටත් නැවත එකදිගටම සම්මාන හිමි වෙනවා. සිනමාව හා පුංචි තිරය කියන දෙකටම එක හා සමානව ප්‍රේක්ෂකයන්ගේ ආදරය සම්මානයකට එකතු කරලා මට හැම සම්මාන උළෙලකදී වගේම ලැබිලා තිබෙනවා.
ඉතින් ප්‍රේක්ෂකයන්ගේ ආදරය ලබා ගන්න එක අමාරුයි. ඒ ආදරය පවත්වාගෙන යෑම ඊට වඩා අමාරුයි. ඇත්තටම මට මහන්සි වෙලා කරන්න තිබෙන්නේ රඟපාන එකනෙ. ප්‍රේක්ෂකයන්ගේ ආදරය වාසනාවකට ලැබෙන දෙයක් කියලා මම විශ්වාස කරනවා. ලංකාවේ අනන්තවත් දක්ෂ රංගන ශිල්පීන් ශිල්පිනියන් ඉන්නවා. නමුත් ප්‍රේක්ෂකයෝ සමහර අයව හඳුනන්නේ නැහැ. ඒ අතරින් ප්‍රේක්ෂකයන්ගේ ආදරයේ, මතකයේ රැඳෙන රූපයක් බවට පත්වෙන්නත්, ආදරය දිනාගත් චරිතයක් බවට පත්වෙන්නත් ලැබීම වාසනාවක් කියල මම විශ්වාස කරනවා. මම ඇත්තටම ප්‍රේක්ෂකයන්ට ගොඩක් ස්තූතිවන්ත වෙනවා.”
එක පිට එක සම්මාන ලැබුණත් ඔබ එදා වගේම අදටත් රසිකයන් අතර රැඳෙන නිරහංකාර නිහතමානී රංගන ශිල්පිනියක්?
“මම හැමදාම විශ්වාස කරන්නේ අපි පොළොවෙ පය ගහලා ජීවත් වෙන්න ඕනෑ. මම මේ වෘත්තීය ආරම්භ කරපු කාලයේ මම දෙරණට ආවේ බෝලවත්තෙ මගේ ගමේ ඉඳලා කෝච්චියේ පිටකොටුවට ඇවිල්ලා 138 බස් එකේ. මම ඒ දේ අමතක කරලා ප්‍රයිවට් ජෙට් එකේ ආපු විධියට හිටියොත් මගේ ළඟ මේ ඉන්න ප්‍රේක්ෂකයෝ ඉඳීවි කියල මම හිතන්නේ නැහැ. ඒ වගේම වෘත්තීය ජීවිතයේ මට හරි විධියට චරිත නිර්මාණය කරන්න පුළුවන්
චරිත ලැබෙයි කියලා හිතන්නෙත් නැහැ. ඒ වගේම මම මාධ්‍යවේදීන්ට ආඩම්බර වුණා කියලා මගේ පසුපස ඇවිත් ආර්ටිකල්ස් ගනීවි කියලා හිතන්නෙත් නැහැ. මොකද ඔවුන්ට ලැබෙන දෙයක් නැහැනෙ. ඉතින් මම රසිකයන් හා අපව මුහු කරන මාධ්‍යවේදීන්ටත් ස්තූතිවන්ත වෙනවා. සම්මාන ලැබුණා කියලා හෝ ආඩම්බර වීමෙන් හෝ පොළොවෙ පය ගහලා ජීවත් නොවීමෙන් අපට ලැබෙන දෙයක් නැහැ නැතිවෙන දේවල් විතරයි තිබෙන්නේ. ඒ නිසා මම මගේ මුල අමතක කරන්නේ නැතිව ඉන්නවා.”
ඔබේ ඉදිරි වැඩකටයුතු ගැන මතක් කළොත්?
“චිත්‍රපට හතරක් ඉදිරියට තිරගත වීමට නියමිතයි. ජැක්සන් ඇන්තනි මහත්මයාව ආදරයෙන් මතක් කරනවා. ඔහු ජීවතුන් අතර නොහිටියත්. ඔහුගේ මතකයන්, ඔහුගේ දක්ෂතා අපට දායාද කර ගිහින් තිබෙනවා. ඔහු නිෂ්පාදනය කළ පළමුවැනි චිත්‍රපටය “එකගෙයි සොකරි” ලබන අවුරුද්දේ තිරගත වීමට නියමිතයි. ඒ වගේම අති දැවැන්ත නිර්මාණයක් වන “දේවී සම්බුලා” නිර්මාණයත් ඉදිරියට තිරගත වීමට නියමිතයි. ඊට අමතරව ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ “දේවී කුසුමාසන” චිත්‍රපටයත් තිරගත වීමට නියමිතයි. ඉතින් ඒ චිත්‍රපට හතර එන තුරු මග බලාගෙන ඉන්නවා.