ප්‍රවීණයන්ගේ උපදෙස් අපිට ලොකු ශක්තියක් – ආලෝකා රාජපක්‍ෂ

 



ආලෝකා ගයාත්‍රි සිනමාවට එන්නෙ වේදිකාව මතින්. ඇය මේ වන විටත් වේදිකා නාට්‍ය කිහිපයක වගේම රහස් කියන කඳු, ගාඩි, නෙළුම් කුලුන වැනි සිනමා නිර්මාණ කිහිපයකටත් තම රංගන දායකත්වය ලබාදීල තියෙනව. ආලෝකා අලුතින්ම සම්බන්ධ වන නිර්මාණය වෙන්නෙ ‘අමුතු දොස්තර’. මේ ටෙලි නාට්‍යය ළඟදීම පුංචි තිරයෙන් ඔබට දැකබලාගන්න පුළුවන්.


කවුද මේ ආලෝකා කියන්නෙ?


මම මුලින්ම ප්‍රියංකර රත්නායක මහත්මයාගෙ නාට්‍ය වැඩමුළුවකට සහභාගි වෙනව. ඉන් අනතුරුව සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් නාට්‍ය හා රංගකලාව පිළිබඳ ඩිප්ලෝමාව ලබාගන්නව. පසුව සෝමලතා සුබසිංහ මහත්මියගේ නාට්‍ය වැඩමුළුවකට සහභාගි වෙනව. එතැනදි මම රංගනය හදාරනව. ඒ අතරතුර මට වේදිකවේ, සිනමාවේ රංගන අවස්ථාවන් ලැබෙනව. ඒ විදිහට තමයි මම රංගන ක්‍ෂේත්‍රයට පිවිසෙන්නෙ. අද වන විට මගේ වෘත්තිය රංගනය.


ඔබ ළඟදීම පුංචි තිරයෙන් දකින්න ලැබෙනව?


‘අමුතු දොස්තර’ ටෙලි නාට්‍යය අපි කළේ ගිය අවුරුද්දෙ. මේ නිර්මාණය අධ්‍යක්‍ෂණය කරන්නෙ කෝරලගේ සමන්. මම දැකල තියෙනව ඔහු වේදිකාවේ රඟපානව වගේම නාට්‍ය අධ්‍යක්‍ෂණය කරනව. සමන් එක්ක මම නෙළුම් කුළුණ චිත්‍රපටයේත් වැඩකරල තියෙනව. අමුතු දොස්තර ටෙලි නාට්‍යයට මට කරපු ආරාධනාව ඔහුගේ අධ්‍යක්‍ෂණය විශ්වාස කරල මම භාරගත්තා.


ඔබේ චරිතයේ ස්වභාවය මොන වගේද?


මට ලැබෙන්නෙ හෙදියකගේ චරිතයක්. ඒක මෙතෙක් මම රඟපෑ චරිතවලට වඩා වෙනස්ම එකක්.


රූගතකිරීම් සිදුකළේ?


අපි රූගතකිරීම් සිදුකළේ මාරවිල ප්‍රදේශයේ රෝහලක. එහි සේවක මහත්ම මහත්මීන් අපිට ඉතාමත් හොඳ සහයෝගයක් ලබාදුන්නා.


නෙළුම් කුලුන චිත්‍රපටය ගැන කතාකළොත්?


ඉලංගෝ සහ හිරණ්‍යා නෙළුම් කුලුන චිත්‍රපටය කළේ අරගලය කාලෙදි. පහසුකම් තිබුණෙ ඉතාමත් අවම මට්ටමක. ඉලංගෝ කොමර්ෂල් ඩිරෙක්ටර් කෙනෙක් හැටියට දැනගෙන හිටියත් මම මුල්ම වතාවට තමයි ඔහුගෙ නිර්මාණයකට දායක වෙන්නෙ. මේ සඳහා සම්බන්ධවෙලා තිබුණෙ ප්‍රවීණ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන්. ඔවුන් සමග මාවත් කාස්ට් කිරීම පිළිබඳව ස්තූතිවන්න වෙන්න ඕන.


අරගලය අතරතුර කළ රූගතකිරීම්වල අත්දැකීම් මොන වගේද?


මේ චිත්‍රපටයේ රූගතකිරීම් සිදුකළේ පාණදුර ප්‍රදේශයේ. යෑම්ඊම් අපහසුතා නිසා අපි එහිම නැවතිලා හිටියෙ. විදුලිබලය තිබුණෙ නැහැ, ඒ නිසා වෙලාවට අපිට ෂූටිං කරගන්න ලැබුණෙ නැහැ. ගෑස් තිබුණෙ නැති නිසා උයාගත්තෙ දරවලින්. ඉන්ධන නැති නිසා ගමනාගමනය ඉතාම අපහසු වුණා. නමුත් නිෂ්පාදන කණ්ඩායම අපිව අපහසුතාවට පත්නොකර වැඩටික කරගෙන ගියා.


වේදිකාවේ වැඩකටයුතු කොහොමද?


දැනට මම සෝමලතා සුබසිංහ මහත්මියගේ නාට්‍යවල විතරයි වැඩකරන්නෙ.


මෙතෙක් රඟපෑ වේදිකා නාට්‍ය ගැන කතා කළොත්?


සෝමලතා සුබසිංහ මහත්මියගෙ විකෘති, පුංචි අපට දැන් තේරෙයි, වලස් පවුල, කෞෂල්‍යා ප්‍රනාන්දු මහත්මියගෙ දුටු තැන අල්ලනු, නාමල්ගෙ ඔරෙස්ට්‍රස් වැනි නාට්‍යවලට මම රංගනයෙන් දායක වෙලා තියෙනව.


ලැබෙන ප්‍රතිචාර මොන වගේද?


ඇත්තටම වේදිකාවේදී අපිට ප්‍රතිචාර ලැබෙන්නෙ සජීවීවමයි. ඉතින් වේදිකාවේ වැඩකරන්න ආසයි. නමුත් ටෙලි නාට්‍යයකදි අපිට ඒ අත්දැකීම ගන්න බැහැ.


ඔබේ වැඩි කැමැත්ත?


මම මේ ක්‍ෂේත්‍ර තුනටම කැමතියි. ඒ අතරින් වේදිකාව සහ සිනමාවට වැඩිපුර කැමතියි. දැනට මම රහස් කියන කඳු, ගාඩි, නෙළුම් කුලුන සහ තවත් චිත්‍රපට දෙකකට රංගනයෙන් දායක වෙලා තියෙනව.


ගෙදරින් ලැබෙන සහයෝගය?


ඇත්තටම ගෙදරින් මට ඉතාමත් හොඳ සහයෝගයක් ලැබෙනව. ඒ නිසාම මගේ වැඩටික බාධාවක් නැතිව කරගෙන යන්න මට හැකියාව ලැබිල තියෙනව.


ඔබ රැකියාවක් කළ කෙනෙක්?


ඔව්, වෘත්තීයමය රංගන ශිල්පිනියක් වෙන්න කලින් මම මානව සම්පත් කළමනාකරණයට සම්බන්ධ රැකියා කිහිපයක් කළා.


ප්‍රවීණයන් රැසක් සමග වැඩකරන්න ලැබුණ. ඒ අත්දැකීම මොන වගේද?


ඇත්තටම ඒක මට ලැබුණ වටිනා අවස්ථාවක්. වේදිකාවේදි හරි සෙට් එකේදි හරි ප්‍රවීණයන් අපේ අඩුපාඩු කියනකොට ඒවා නිවැරදි කරගෙන තමයි ඊළඟ නිර්මාණයට අපි සම්බන්ධ වෙන්නෙ. ඒ උපදෙස් අපේ ඉදිරි වැඩවලට ලොකු ශක්තියක්.


වේදිකා නාට්‍යත් එක්ක රට වටා යන ගමන මොන වගේ අත්දැකීමක්ද?


ඔව්, ඇත්තටම වේදිකා නාට්‍ය නිසා තමයි රට වටා යන්න අවස්ථාව ලැබිල තියෙන්නෙ. නමුත් විශේෂයෙන්ම කියන්න ඕන, අපේ රට වටා තියෙන රඟහලවල පහසුකම් තව දියුණු කරන්න පුළුවන්නම් ඉතාම වටිනව. ඇතැම් රඟහලවල දැන් තියෙන තත්ත්වයත් එක්ක රංගන ශිල්පීන් වගේම ප්‍රේක්‍ෂකයනුත් ඉතා අපහසුතාවට පත්වෙනව.


ජනප්‍රියත්වයත් එක්ක ඔබ වටා රසික පිරිසක් එකතු වෙනව?


සමහර අය චරිත නිසා මාව හඳුනනව. සමහර අයනම් නැහැ. ආලෝකා ගයාත්‍රි කියන මනුස්සයව හඳුනා නොගන්න තරමටත් මම කැමතියි. ජනප්‍රිය වෙනකොට ප්‍රේක්‍ෂක ආදරය අපිට ලැබෙනව. අපි මේ දේවල් කරන්නෙත් ඔවුන් වෙනුවෙන්. ඔවුන්ගේ ආදරය තමයි අපිට ආශීර්වාදයක් වෙන්නෙ.


මහේෂ් එදිරිසිංහ



Previous Post Next Post