මට කරන්න පුළුවන් ඕනෑම චරිතයක් භාර ගන්න සූදානම් - සිත්මි ගගනි

 



යොවුන් ළමා රංගන ශිල්පිනී සිත්මි ගගනි ටමාෂා අමතක නොවන චරිත කීපයකින් ප්‍රේක්ෂකයා ආකර්ෂණය කර ගැනීමට සමත් වූ ශිල්පිනියකි. ඒ අතරින් චලෝ නාට්‍යයේ “සුද්දී” චරිතය ඔබට මතක ඇති.


ඩෙටෝල්, ඇන්කර්, ටියාරා වැනි මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාර සන්නාම රැසකටම වෙළඳ දැන්වීම් රංගනයෙන් දායක වී ඇත. අනාගත රංගන ක්ෂේත්‍රයට සුභාවිත සලකුණක් තැබිය හැකි බවට මේ වන විටත් ඉඟි පෙන්වන සිත්මි ගගනි යොවුන් තාරකාව සමඟ පිළිසඳර මෙසේ අරඹමු.


ඇය මූලික අධ්‍යාපනය කුළුපන තක්ෂිලා ප්‍රාථමික විද්‍යාලයෙන්ද. ද්විතීයික අධ්‍යාපනය හොරණ තක්ෂිලා මහා විද්‍යාලයෙන්ද ලබා ගත්තාය. මේ වන විට ඇය උසස් පෙළ හදාරනුයේ හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේය. කුඩා කල සිටම ගගනිට නර්තනය සහ රංගනය සහජයෙන්ම පිහිටා තිබේ.


ජාතික තලය දක්වාම පාසල නියෝජනය කරමින් නර්තන හා රංගන අංශයෙන් ජයග්‍රහණ ලබා ගැනීමටද ගගනි සමත්ව ඇත. රංගනයේ නිරත වන නිසා රංගනය පිළිබඳ උසස් අධ්‍යාපනය ලබා ගැනීමටද ඇය බලාපොරොත්තු වේ. ගුවන් සේවිකාවක් වීම ඇයගේ මූලික බලාපොරොත්තුව වන අතර ඒ සමඟ රංගනයේ නිරත වීමට ගගනි සැලසුම් කරන්නීය.


මගේ පවුලේ අප්පච්චී, අම්මා, අක්කා, නංගී මමයි ඉන්නේ. අම්මා තමයි මාව ෂූටින් එක්ක යන්නේ. එයාගේ හීනයක් තමයි මාව රංගන ශිල්පිනියක් විදියට දකින එක. මගේ අක්කා සහ නංගිත් කලා ක්ෂේත්‍රයට සම්බන්ධයි. අම්මගෙයි තාත්තගෙයි කැපවීම නිසා තමයි අද මම රංගනය අතින් යම් තැනක ඉන්නවා නම් ඉන්නේ. ඉස්කෝලේ ටීචර්ලා, යාළුවෝ හැමෝම මට ආශීර්වාද කරනවා. ඒ වගේම මට ෂූටින් ගියාම මඟ ඇරෙන නෝට්ස් යාළුවෝ දෙනවා. මගේ විනෝදාංශය තමයි පොත් කියවන එකයි නර්තනයයි.


ගගනිගේ පළවෙනි රංග නිර්මාණය මොකක්ද ?


සමන් කුමාර ලියනගේ මාමගෙ “පාලි” ටෙලි නාට්‍යයට තමයි මම මුලින්ම සම්බන්ධ වුණේ. ඒ 2017 වසරේ. අක්කයි මමයි දෙන්නම ඒ නාට්‍යයට දායක වුණා. රේණු කියල ගැමි ළමයෙකුගේ චරිතයක් තමයි මට කරන්න තිබුණේ.


මට කරන්න පුළුවන් විදියේ ඕනෑම චරිතයක් භාර ගන්න මම සූදානම්. නමුත් මට වැඩිපුර ලැබිලා තියෙන්නේ ගැමි චරිත.


පාලි ටෙලි නාට්‍යයෙන් පස්සේ ඔබට ලැබුණු නිර්මාණ ගැන කතා කරමු .


ශ්‍රී සිද්ධාර්ථ ගෞතම ටෙලි නාට්‍යය මගෙ දෙවෙනි නිර්මාණය. බිම්බා කුමරියගේ චරිතය මට තිබුණේ. ඒක මට ලැබුණු ලොකුම අවස්ථාවක්. මං ගැන ගොඩක් අය දැන ගත්තේ ඒ චරිතයෙන්. මේ නාට්‍ය ගැන විශේෂ දෙයක් කියන්න ඕන. මම ටිකක් කුඩා කාලෙදි තමයි මේ චරිතයට සම්බන්ධ වෙන්නේ. නාට්‍යයේ දෙබස් ශෛලිය මට ටිකක් නුහුරුයි. හර්ෂ තෙන්නකෝන් මාමා, දුශේනි, විනූ අක්කලා, ගයාන් මාමා එහෙම මට ලොකු සහයක් දුන්නා. ඒ වගේම එයාල ගොඩක් මාව අගය කලා මොකද මම ඉක්මනටම පොඩි වයසක ළමයෙක් විදියට ඒ චරිතයට හුරු වුණු නිසා. අහස් මාලිගා, මඩොල් කැලේ වීරයෝ, ඇය, චලෝ, අනිච්චාවත සංඛාරා, සිටුවර පුවත කියන නාට්‍යවලට මම ඉන්පස්සේ සම්බන්ධ වුණා. චමීර පතිරගේ මාමගේ සිටුවර පුවත ටෙලි නාට්‍ය ඉදිරියෙදි පැමිණෙන්න නියමිතයි.


මේ ටෙලි නාට්‍ය අතරින් චලෝ නාට්‍යය ඔබට විශේෂයි නේද?


ඔව් අනිවාර්යෙන්ම. මේ නාට්‍යයේ මට ද්විත්ව රංගනයක් තිබුණේ. වලව්වෙ දුවගේ චරිතයත්, ගැමි පවුලේ සුද්දී චරිතයත්. චරිත දෙකේ භාෂාව දෙවිදියක්. ඉරියව් දෙවිදියක්. වලව්වේ දුව වැදගත්, පිළිවෙළකට ඉන්න චරිතයක්. සුද්දී කියන්නේ දඟකාර චරිතයක්. එතකොට ලොකු අවධානෙකින් චරිත දෙකකට මාරු වෙන්න ඕන.


වැඩිපුරම ගගනිට ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණු චරිත මොනවාද ?


ඇය, චලෝ, සිද්ධාර්ථ ගෞතම නාට්‍ය චරිතවලට තමයි ලොකු ප්‍රතිචාර ලැබුණේ. චලෝ නාට්‍යයෙදි මට අමතක නොවෙන සිදුවීමක් වුණා. ඒකේ මේකප් ආර්ටිස් හිටියේ මදාරා කියලා අක්කා කෙනෙක්. මමත් පොඩි නිසා සෙට් එකේ ඉන්න හැමෝටම මම කියනවා මාව වඩා ගන්න කියලා. ඉතින් එයාලා මාව වඩා ගන්නවා. ඔහොම දවසක් මම මදාරා අක්කටත් කීවා වඩා ගන්න කියලා. එයා අතේ තිබුණේ ලක්ෂ ගාණක් වටින ෆෝන් එකක්. මාව වඩා ගන්නකොට එයාට ෆෝන් එක ගැන හිතුණේ නැති නිසා ඒක බිම වැටුණා. සම්පූර්ණ ඩිස්ප්ලේ එකම ගියා. මම ඒ වෙලාවේ ගොඩක් දුක් වුණා මම නිසා නේද එහෙම උනේ කියලා. සෑහෙන්න ඇඬුවා. මාව සනසන්න සෙට් එකේ ඉන්න හැමෝම මහන්සි වුණා.


පුංචි තිරයෙන් රිදී තිරයට එන්න ආසාවක් නැද්ද ගගනිට ?


මම ආසයි. චිත්‍රපටයකට මේ වෙනකොට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදී ඒ වැඩත් බලන්න පුළුවන් වෙයි. ඊට අමතරව තව ටෙලි නාට්‍යකටත් ආරාධනා ලැබුණා. ඕ ලෙවල් එක්සෑම් නිසා අවුරුද්දක් විතර මම වැඩ නතර කරලා තිබුණේ. දැන් තමා ආයෙත් පටන් ගන්නෙ.


ගගනි, මේ කලා ක්ෂේත්‍රයට එන්න ඉන්න ඔයාගෙ බාල පරම්පරාවේ නංගිලා මල්ලිලා වෙනුවෙන් ඔයාට දෙන්න පුළුවන් උපදෙස මොකක්ද ?


නංගිලා මල්ලිලාට කියන්න තියෙන්නේ තමාගේ ළමාකම පරිස්සම් කරගන්න. ඒ වගේම තමන් භාර ගන්න චරිතයට උපරිම සාධාරණයක් කරලා, නම රැකගෙන, රටටත් වැඩදායී නිහතමානී පුරවැසියෙක් වෙන්න උත්සහ කරන්න. ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ට ගරු කරන්න ඉගෙන ගන්න. මම දැකලා තියෙනවා අපේ නංගිලා මල්ලිලා අතරින් ඒ ගුණය ගිලිහිලා ගිහින් තියෙනවා.


කුමුදිකා ඩී. සපුතන්ත්‍රී



Previous Post Next Post