කලාව එක්ක ජීවිතේ පටලවාගත්තෙ නැහැ-අභිලාෂි සන්තුෂ්කි

 


සිංහබාහු චිත්‍රපටයෙන් කලා ක්ෂේත්‍රයට ආපු අභිලාෂි සන්තුෂ්කි පාවී එන්න ආසයි ටෙලි නාට්‍ය ඔස්සේ මේ වෙද්දි පුංචි තිරයට පිවිසිලා ඉන්නවා. ඉතින් අභිලාෂි රිදී තිරයෙන් පුංචි තිරයට පැමිණීම ගැන ඇයගේ අහන්න අපි හිතුවා.




රිදී තිරයෙන් පුංචි තිරයට ආවේ ඇයි?




සිංහබාහු චිත්‍රපටයෙන් ලබපු අත්දැකීම්වලින් පස්සෙ මට ආසාවක් ඇති වුණා ටෙලි නාට්‍යයවලට සම්බන්ධ වෙන්න. විශේෂයෙන් රංගන පරාසය තව පුළුල් කරගෙන චරිතාංග නිළියක් විදිහට ඉදිරියට යන්න ඕන. ඉතින් ඒ වෙනුවෙන් පුංචි තිරයේ පාවී එන්න ආසයි ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණා.



ධනුක ඩිල්ෂාන් එක්ක පුංචි තිරයේ රඟපාන අත්දැකීම මොනවගේද?




ධනුක අයියා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ නළුවෙක්. මගේ වැරැදි අඩුපාඩු මගඇරගෙන චරිතය හරියට කරන්න ධනුක අයියගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඉතින් දනුක අයියා වගේ දක්ෂ නළුවෙක් එක්ක රඟපාන්න ලැබුණ එකට මට ගොඩක් සතුටුයි.




රංගනය දිගටම වෘත්තීයක් විදිහට කරගෙන යන්නද අදහස?




ඔව්. පුංචි කාලෙ ඉඳලා පාසල් වේදිකාවට සම්බන්ධ වෙලා රංගනය ප්‍රායෝගිකව හැදෑරුවා. පාසල් කාලයෙන් පස්සෙ කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් වන සචිත්‍ර රාහුබද්ධ යටතේ රංගනය හැදෑරුවා. ඉතින් පුංචි කාලෙ ඉඳලා මගේ ඉලක්කය වුණේ රංගන ශිල්පිනියක් විදිහට ක්ෂේත්‍රයේ පැවැත්ම හදාගෙන ඉදිරියට යන්න.


වැඩිපුර කැමැති සිනමාවටද? ටෙලි නාට්‍යවලටද?




මම වැඩිපුර ප්‍රමුඛත්වය දීලා තියෙන්නෙ සිනමාවට.සිංහබාහු චිත්‍රපටයෙන් පස්සෙ තවත් චිත්‍රපටයක රංගනයෙන් දායක වුණා. ප්‍රේක්ෂකයන්ට ඒ චිත්‍රපටය ලබන අවුරුද්ද මුල් කාලයේදි නරඹන්න පුළුවන්. තවත් අලුත් චිත්‍රපට දෙකක රූගත කිරීම් මේ වෙද්දි කරගෙන යනවා. ඉතින් ඒ අතරතුර ඉඩ තියන කාලය තමයි ටෙලි නාට්‍යවලට වෙන් කරලා තියෙන්නෙ. සිංහබාහු චිත්‍රපටයෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා වගේම අභියෝගවලට මුහුණ දුන්නා. ඉතින් ඒ ලබපු පන්නරයෙන් සිනමා නිළියක් විදිහට ඉදිරියට යන්න තමයි මගේ බලාපොරොත්තුව.




ක්ෂේත්‍රයට ඇවිත් කෙටි කාලයක් ඇතුළත සිනමා නිර්මාණ වැඩිපුර ලැබෙන්න අභිලාෂිගේ රූපය බලපෑවා කිව්වොත්...




නිළියක් වෙන්න මූලිකවම බලපාන්නෙ රංගන හැකියාව කියලයි මම විශ්වාස කරන්නෙ. හැබැයි රංගන හැකියාව එක්ක රූපයත් එකතු වුණාම නිළියක් වෙන්න අමතර සුදුසුකමක් වෙනවා. ක්ෂේත්‍රයේ ඉන්න අනිත් නිළියන්ට වැඩිය ස්වභාවික තලෙළු පාට සමක් ක්‍රේල් කොණ්ඩයක් සහිත වෙනස් රූපයක් මට තියනවා. ඒ නිසා නිර්මාණවලට තෝරගන්නකොට රංගන හැකියාව වගේම මගේ රූපය ගැනත් නිර්මාණකරුවො සලකා බලනවා ඇති.





එක් එක් නිර්මාණවලට ඕන විදිහට රූපය සහ ඇඟේ හැඩය පවත්වගෙන යන්නෙ කොහොමද?




චිත්‍රපට කීපයක රූගත කිරීම්වලට සම්බන්ධ වෙලා ඉන්න නිසා ඒ චරිතවල ස්වභායට ගැළපෙන විදිහට ඇඟ, රූපය නඩත්තු කරන්න වෙනවා. ඉතින් මේ දවස්වල රූගතකිරීම් කරන චිත්‍රපටය වෙනුවෙන් යෝගා ව්‍යායාම කරලා ඇඟ නඩත්තු කරනවා.




සරාගී සිරුරක් හිමි රංගන ශිල්පිනියක් විදිහට අභිලාෂිව ප්‍රේක්ෂකයො අතර ප්‍රසිද්ධයි...




ස්වභාවික තලෙළු පාට සමක් සහ සිහින් හැඩැති ඇඟක් මට තියනවා. ඒ නිසා සමහර ප්‍රේක්ෂකයො අතර මාව සරාගිනියක් විදිහට ප්‍රසිද්ධ ඇති. ප්‍රේක්ෂකයො මාව සරාගිනියක් විදිහට හඳුන්වන නිසා මමත් කැමතියි ඒ විදිහට පිළිගන්න.



නිර්මාණ භාර ගන්නකොට සැලකිලිමත් වෙන දේවල් මොනවද?




නිළියක් විදිහට මට කරන්න පුළුවන් වටින රංගනයක් තියනවද කියලා වගේම ප්‍රේක්ෂකයන්ට ඒ නිර්මාණයෙන් හොඳ දෙයක් දෙන්න පුළුවන්ද කියලා තමයි නිර්මාණයක් භාර ගන්නකොට වැඩිපුර සැලකිලිමත් වන්නෙ. ඒ වගේම විශේෂයෙන් එක චරිතයකට කොටුවෙන්නෙ නැතුව චරිත ගොඩක් රඟපාන රංගන ශිල්පිනියක් විදිහට රංගනයේ යෙදෙන්න පුළුවන් නිර්මාණ ගැනත් වැඩිපුර සැලකිලිමත් වෙනවා




නිළියක් වුණ එක ගැන පවුලෙ අය මොනවද කියන්නෙ?




පවුලෙ ඉන්නෙ අම්මයි තාත්තයි අක්කයි මල්ලියි මමයි. පුංචි කාලෙ ඉඳලා මම රංගනය පසුපස හඹාගෙන යනකොට පවුලෙ අය තමයි මාව හැමවෙල්ම දිරිමත් කරලා කලා ක්ෂේත්‍රයේ ඉහළට යන්න සහයෝගය දුන්නෙ. දැන් මාව පුංචි තිරයේ සහ රිදී තිරයේ දකිනකොට එයාලට ගොඩක් සතුටුයි. ක්ෂේත්‍රයේ තව ඉදිරියට ගිහින් චරිතාංග නිළියක් වෙන ඉලක්කය ජයගන්න තාමත් එයාලාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.




තිරයේ නම් පෙම්වතියක්. සැබෑ ජීවිතයේදිත් ⁣පෙම්වතියක්ද?




අනේ නැහැ. තාම මම තනිකඩයි. මේ වෙද්දි මම සම්පූර්ණ අවධානය දීලා තියෙන්නෙ රංගන වැඩකටයුතුවලට.




අකිල එක්ක සමීප වැඩියි කියලා පහුගිය දවස්වල කටකතාවක් පැතිරුණා..




සිංහබාහු චිත්‍රපටය වෙනුවෙන් කරපු photo shoot එකක් නිසා තමයි අකිල අයියයි මමයි අතර සමීප සම්බන්ධයක් තියනවා කියලා කටකතා පැතිරුණේ. ඇත්තටම අකිල අයියා කියන්නෙ මගේ සහෝදරයෙක් වගේ කෙනෙක්.




ෙමම සිංහබාහු චිත්‍රපටයෙ රඟපෑවෙ වයස අවුරුදු දාහතේදි. එතකොට අකිල අයියව මට හම්බ වෙන්නෙ ක්ෂේත්‍රයේ ඉන්න දැවැන්තයෙක් විදිහට. අපි දෙන්නා නිර්මාණය වෙනුවෙන් එකට වැඩ කළා මිසක කවදාවත් කලා ජීවිතය එක්ක සෑබෑ ජීවිතය පටලව ගත්තෙ නැහැ.



Previous Post Next Post